කංචන විජේසේකර ඇමතිවරයාට මෙවැනි පනතක් ජනාධිපති නොදැනුවත්ව පාර්ලිමේන්තුවට ගේන්න බෑ
අපි මේ කියන්නේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව නොවෙයි. ජාතික අවශ්‍යතාවයක් පෙන්වූවත් මේවා පිටුපස සල්ලි කැරකීම සම්බන්ධවයි. අධිකරණයේදී දෙන තීන්දුව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට බලපානවා. අධිකරණයෙන් දෙන කොන්දේසිවලට පවා වංගු ගසමින් සම්මත කර ගත් ආකාරය අපි පසුගිය කාලයේ දැක්කා. එහෙම සැකයක් තිබියදී පවා මේ වෙනුවෙන් යා හැකි සියලු තැන්වලටම අපි යනවා. මෙය අවසාන වශයෙන් පවතින්නේ ජනතාවගේ විනිශ්චය හමුවේයි.
ජනාධිපති නොදැනුවත්ව, ඔහුගේ ආශිර්වාදයක් නැතිව කංචන විජේසේකර ඇමතිවරයා මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගන්නත් බැහැ. මෙවැනි කැබිනට් යෝජනාවකට ජනාධිපති අකමැති නම්, ඉවත දමනවා. ඒ වගේම මෙය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්න පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. සමගි ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුත් මෙයට පක්ෂව අදහස් පළ කර තිබුණා.
ප්රශ්නය:
ඔබ පැහැදිලි කරන ආකාරයට මේ පනත එතරම් භයානක නම්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මැදිහත් විය නොහැකිද? ඒ වගේම අධිකරණය ඉදිරියට ගොස් තිබෙනවා නම් මෙය සම්මත කිරීමේ හැකියාවක් තිබෙනවා ද? යි මාධ්‍යවේදියකු නඟන ලද ප්‍රශ්නයකට
සුනිල් හඳුන්නෙත්ති මහතා දුන් පිළිතුරයි
අද (09) උදේ පැවති ජාතික ජන බලවේගයේ ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වන ලද හඳුන්නෙත්ති මහතා සිය අදහස් ප්‍රකාශ කරන ලද්දේ මෙසේ යි.
විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක්
අපේ රටේ බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අපි කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ. රටේත් ජනතාවගේත් අනාගත පරපුරේ අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරමින් නව තාක්ෂණය සහ නව පාරිභෝගික අවශ්‍යතා සඳහා වැඩිදියුණු කරමින් ඉදිරියට යාම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. තව මාස කිහිපයකින් අපේ රටේ ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගන්න ඕනෑ. දැන් පවතින්නේ ජනවරමක් නැති පාලනයක්. අද දවස වෙනකොට පැවති ගෝඨාභය රාජපක්ෂ පාලනය ජනතාව විසින් එළවා දමා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. මේ ඉන්නේ ඉන්පසු පත්කර ගත් ජනවරමක් නැති කැබිනට් මණ්ඩලයක් සහ ජනාධිපතිවරයෙක්. මතු පරම්පරාවට බලපාන විදුලි බල පනතක් බලහත්කාරයෙන් ගෙනත් සම්මත කර ගන්න ඒ කැබිනට් මණ්ඩලයේ විදුලි හා බලශක්ති ඇමතිවරයාට හැකියාවක් තිබෙනවාද?
විදුලි බල ඇමති කංචන විජේසේකර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විදුලි බල පනතට සමස්ත විදුලි බල මණ්ඩලයේම සේවකයන් විරුද්ධ වුවත් සම්මත කර ගන්නා බව කියනවා. ලංකා ඉතිහාසයේ පළමුවරට විදුලිබලය සම්බන්ධයෙන් තොග වෙළඳපොළක් බවට පත්කිරීමේ මූලික උත්සාහය මේ පනතේ තිබෙනවා. විදුලි බලය කියන්නේ මිලදී ගෙන තබාගෙන සිටිමින් පරිහරණය කළ හැකි දෙයක් නොවෙයි. ඒ වගේම විදුලි බලය සම්බන්ධයෙන් ලාභය හෝ පාඩුව තීරණය වෙන්නේ පාවිච්චි කරන මොහොතේ පමණක් නොවෙයි. විදුලි බලය රෝහලකදී, හමුදාවේදී, පොලීසියේදී, කර්මාන්ත ශාලාවේදී, විද්‍යාගාරයේ වැනි ස්ථානවල පාවිච්චි වීම අනුව ලාභ ලැබිය යුතු ක්ෂේත්රයක් නොවෙයි. ජනතාව පරිහරණය කරන අවස්ථාව අනුව ජාතික ලාභයකට එකතු වෙනවා. මෙවැනි අත්‍යවශ්‍ය සේවාවක ලාභය කියන්නේ ඉල්ලුම සැපයුම මත තීරණය වෙන දෙයක් නොවෙයි, ආර්ථිකයේ මර්මස්ථානයක්.
විදුලි බල මණ්ඩලය ඍජුවම මහජන උපයෝගීතා කොමිසමට ගැටගැසී තිබෙනවා. විදුලි බලයේ මිල තීරණය කිරීම සඳහා වාසිය හෝ අවාසිය සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්තේ සිට බලන්නේ මහජන උපයෝගීතා කොමිසමෙන්. නමුත් නීතියෙන් ස්ථාපිත මේ ආයතනයේ නිර්දේශ පවා නොතකා හරිමින් යන යකා කොරහත් බිඳගෙන යන ආකාරයට මේ පනත හදිසියේ ගෙනැවිත් තිබෙනවා. මේ රටේ මහජනතාව හෝ වෘත්තිය සමිති හෝ විදුලි බල තොග වෙළඳපොළක් ඉල්ලා කිසිම තැනක උද්ඝෝෂණය කර නැහැ. කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම, සාධාරණ මිලකට ලබාදීම සම්බන්ධයෙන් පමණයි ඉල්ලීම් කළේ. ජනාධිපතිවරණයක් ඉදිරියේ තබාගෙන මේ පනත සම්මත කර ගත යුතු බව අපි විශ්වාස කරන්නේ නැහැ. විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ජනතාවගේ පැත්තේ සිට කල්පනා කරමින් සිදුකළ යුතුයි. අර්බුදයන්ට විසඳුම් සෙවීමේ ගවේෂණයක් විය යුතුයි. නමුත් දැන් කරන්නේ යන්නේ තුට්ටු දෙකට විදුලි බල මණ්ඩලය විකිණීම සඳහා කටයුතු කිරීමයි.
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලයේ සිටි 2002දී දේශීය ආදායම් බදු, රේගු, සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්කර අධිකාරියක් බවට පත්කරන්න පනතක් සම්මත කර ගන්න උත්සාහ කළා. ඒ වගේම ඛනිජ තෙල්, විදුලි බලය විකිණීම සඳහාත් උත්සාහ කළා. 2003දී විදුලි බල මණ්ඩලය කෑලි අටකට කඩා විකුණා දමන්න පනතක් ගෙනාවා. මහජන උද්ඝෝෂණ, වෘත්තිය සමිති විරෝධය සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ අපි නැගූ හඬ නිසා, ඒ උත්සාහයන් හකුළා ගන්න සිදුවුණා. දැන් ගෙනැවිත් තිබෙන විදුලි බල මණ්ඩල පනත පරාජය කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පවත්වනවා.
බලශක්ති ක්ෂේත්රය කියන්නේ ජාතික ආරක්ෂාවත් සමග ගැට ගැසී තිබෙන ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් ලැබෙන ආයෝජන ඇමතිවරයාගේ සාක්කුව හරහා එනවා නම්, ඒ ප්රතිලාභ වැඩිපුර ලැබෙන්නෙත් ඇමතිවරයාට පමණයි. ඒ නිසා රටේ ස්වෛරීත්වයත් විදුලි බල ක්ෂේත්‍රයත් සම්බන්ධයෙන් බලපාන මේ පනත පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් සම්මත කර නොගන්නා ලෙස අපි අවධාරණය කරනවා. දැනටමත් ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ විද්වතුන් අධිකරණයට ගොස් සිටිනවා. තවත් විවිධ පාර්ශ්ව අධිකරණයට ගොස් තිබෙනවා. අවසාන වශයෙන් සියලු තීරණ ගන්නේ ජනතාවයි. ජන මතයෙන් හෝ ජන බලයෙන් මෙවැනි විනාශකාරී පනත් පරාජය කිරීමට එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.
මේ පුවත්පත් සාකච්ඡාවට
ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂණ, ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජික ආචාර්ය මයුර නෙත්ති කුමාර