අප රටට ඉමහත් සම්පතක් වු උඩරට පහතරට ප්‍රජාවගේ ජනජීවිතය, ජීවිකාව, ජීවනෝපාය ඇතුළු සමාජ, ආර්ථික, දේශපාලන ව්‍යූහය ශක්තිමත් කිරීම උදෙසා උඩරට හා පහතරට වතු ක්ෂේත්‍රයේ ප්‍රජාව සමඟ අද දින වැදගත් සමාජ ගිවිසුමකට එළැඹීමට හැකි වූ බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ජනාධිපති කාර්යසාධන බලකායක් වෙනමම ස්ථාපිත කර උඩරට පහතරට වතු ප්‍රජාව මුහුණ දෙන ආර්ථික සමාජීය සංවර්ධන හා දේශපාලන ගැටලු ඇතුළු යටිතල ක්ෂේත්‍රයේ තිබෙන්නා වූ ගැටලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන සම්මුතියකට ගිවිසුම් ගත වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී උඩරට හා පහතරට වතු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කර දෙන බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් වතුකරයේ දේශපාලන පක්ෂ සහ නියෝජිතයන් රැසක් සමග සමාජ ගිවිසුමකට අත්සන් තබමිනි.
ලක්ෂ ගණනක් උඩරට හා පහතරට වතු ප්‍රජාව රටේ ජීවනාලියට දායකත්වයක් ලබා දෙන බැවින් ඔවුන් හැමදාම කම්කරු තනතුරේ තබා ගැනීම නොව ඔවුන්ට වගා භූමියේ හා නිවසක අයිතිය මෙන්ම වතු ක්ෂේත්‍රයේ වතු ව්‍යවසායකයන් ලෙස කටයුතු කිරීමේ ඉමහත් අවස්ථාව මේ තුළින් උදා වන බවත් මෙතෙක් කල් දෙවැනි තුන්වැනි පන්තියේ කුඩම්මාගේ සැලකිලි ලැබුණු මේ ප්‍රජාවට වචනයට සීමා වූ සටන් පාඨ නොව කාලවකවානු සහිතව මේ ජනතාව ශක්තිමත් කරන්න පැහැදිලි සමාජ සම්මුතියකට එළැඹුනු බවත් විපක්ෂ නායකවරයා පැවසී ය
දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම් මහතා, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා, මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් මහතා අත්සන් තබන ලදී