හෙට අපෙන් සමු ගන්නා දැඩිමුනි ශාන්ත ගැන මතකයෙන් බිඳක්
ඔහුත් මාත් හෝඩි පොත කියන්නට ඉස්කෝලෙට ඇතුළු කෙරුණේ දේවපතිරාජ බාලිකා විදුහලට යි. ශාන්තත්, මාත් දෙන්නා දේවපතිරාජ බාලිකාවේ හෝඩියෙ පන්තියෙ අසුන් ගත්තේ එක ළඟ ම වූ පුංචි පුටු දෙකක ය. අපි එකේ පන්තියෙන්, දෙකේ පන්තියට සමත්වී, නැත්නම් පාස් වී, ගෑනු ඉස්කෝලෙන් පිරිමි පාසලට, දේවපතිරාජ පිරිමි ඉස්කෝලේ තුනේ පන්තියට මාරු කෙරුණි. දේවපතිරාජ බොයිස්කූල් එකත් ගර්ල්කූල් එකත් අතර පිහිටියේ ක්‍රීඩා පිටිය යි.

තුනේ පන්තියේ දී ද අප දෙදෙනා අසුන් ගත්තේ ඉදිරි පෙළෙහි එක තැන වූ අසුන් දෙකක ය. ඒ අයුරින් පාසලට සමු දෙන තුරු ම ශාන්තත් මාත් ඉගෙන ගත්තේ එක ළඟ පුටු දෙකක ය.
අටේ පන්තියේ දී මම නවකතාවක් ලියුවෙම්. හයේ පන්තියේ පටන් මාර්ටින් වික්‍රමසිංහ වියතාණන් ගේ 'අපේ ගම' කෘතිය කියවීමෙන් පොත් කියැවීමට ගිජුබවක් දැක්වූ මා ඩීමන් ආනන්ද ලේඛකයාගේ නවකතා කියවන්නට හුරුවීම නිසා මා ලියුවේ රහස් පරීක්ෂක කතාවකි. එය 'මාරක ඔත්තුව' නමින් නම් කෙරුණි. එය මොනිටර් අභ්‍යාස පොතක කළා වූ රචනාවකි. ඒ කතාවට අදාළ සිතුවම ඇන්දේ ශාන්ත ය. ඔහු තුළ චිත්රකරණයට පැවතියේ අපූරු දක්ෂතාවයකි.
මා පන්ති මිතුරන්ට නවකතා කෙටිකතා පොත් කියවීමට පුස්තකාලයක් ගෙදර පවත්වා ගෙන ගියෙමි. නිතිපතා පන්ති සගයිනට පොත් තුන හතරක් දීමට ගෙනයමි. දිනෙක මා පාසලට රැගෙන ගිය ඒ නවකතා පොත් කිසිවකු විසින් සොරා ගෙන ය. අපි සරඹ කරන්නට ගියෙමු. පන්තියට ඇවිත් බලන කල පොත්ටික අතුරුදන් ය.
ඒවා සඟවන ලද්දේ හෝ සොරා ගන්නා ලද්දේ හෝ පන්තියේ සිටින 'අයියලා' කීප දෙනාගේ කුපාඩි වැඩක් බව දෙපාරක් හිතන්නට ඇවැසි වූයේ නැත. 'අයියලා' ට පන්තියේ ැම දෙනා ම දක්වන්නේ බයකි. ඔවුන් චණ්ඩියන් නිසා කිසිවකු කටක් අරින්නේ නැත.
මම ඔවුන් දෙස ගිනි දල්වා බලා හිටියෙමි. උන් එකිනෙකා එකිනෙකාට කොඳුරති. මා සැක කළ අයියලා තුන් දෙනා අපට වඩා වසර කිහිපයකින් වැඩිමහල්ලෝ ය. ඔවුන් දෙතුන් පාර අසමත්වීම නිසා දැන් අප හා එක පන්තියේ සිටිති.
''කරුණයයි, සුමනය යි, සේනයි තමා ඔය කුප්පිදු වැඩේ කරන්න ඇත්තේ?" ශාන්ත මට කීවේ ය.
''මං යනවා ප්‍රින්සිපල්ට කියන්න"
''ඒක තමා.. යමං කෝ මාත් එන්නං" ශාන්ත කීවා පමණක් නොව මට දිරියක් ද දුන්නේ ය. අපි විදුහල්පති හමුවට ගියෙමු. පැමිණිලි කළෙමි මම.
තත්පරයකුදු පමාවක් නැතිව පන්තියට ඔහු ආවේ බර අඩි තබමිනි.
''තොපි ඉගෙන ගන්නෙත් නෑ. ඉගෙන ගන්න කෙනකුට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. කවුද මේ පාහර වැඩේ කළේ'' විදුහල්පති රාජකරුණා මහතා හැම ළමයකුගේ ම මුහුණට නෙතු යවමින් විමසුවේ ගෝරනාඩුවක් ද දමමිනි.
අයියලා තුන් දෙනා ගල්ගිලපු එවුන් වගේ ය. විදුහල්පති ඔවුන් වෙත ගියේ ය. ඩෙස්වල ලාච්චු එළියට අදින්නට නියෝග කළේ ය. පොත් තුනක් තුන් දෙනා ළඟ විය.
ඒ වසරාවසානයේ දී අපි පූර්ව ජ්‍යෙෂ්ඨයට සමත් වූ පසු ශාන්තත් මාත් විද්‍යා විෂයන් හැදෑරීමේ ගොඩට එකතුවීමු. අර තුන් දෙනාගෙන් එක් අයකු අපේ ගොඩට පැන්නේ ය.
එදා මට දිරිය දුන්නේ ශාන්ත දැඩිමුනි විතර ය. ඔහු අයුක්තියට අසාධාරණයට එරෙහි වෙන්නට අබමල් රොණක තරම්වත් බියක් නොපෙන්නනකු බව මා පසක් කර ගත්තේ එදා ය.
එදා මෙදා තුර අපි අඹ යහළුවන් වූයෙමු.
අපි දෙදෙනා ම එකම දේශපාලන ප්රවාහයක සාමාජිකයෝ වීමු. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට මා එක්වූයේ ශාන්තට වඩා හවුරුදු කීපයකට පෙර ය. ඔහුගේ නම පක්ෂ ශාඛාවට යෝජනා කළේ ද ම විසිනි.
හැබැයි වසර කීපයකට පසු මම කොමියුනිස්ට් පක්ෂයෙන් ඉල්ලා අස්වුණෙමි. මතකයේ හැටියට ඒ 1982 දී ය. එතැන් පටන් මා දේශපාලන වශයෙන් කිසිදු පක්ෂයක් හා මුසු නොවුණ ද ශාන්ත කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරකම් හි නියැළුණේ ගාලු දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු හැටියට දිවිගමන නිමා කරනා තෙක් ම කැපවීම් කරමිනි.
තර්ක විතර්ක කර ශාන්තත් එක්ක නම් ජයගැනීම ලේසිපාසු නොවේ. ඒ තරමට ම ඔහු සිය මතය තහවුරු කරන්නට කෙසේ හෝ මාවත එළිකර ගන්නෙකි.
ශාන්ත දක්ෂ සිත්තරකු බව යළිත් සඳහන් කරමි. ම විසින් රචිත 'සුදු පිල්ලි' නවකතාවට මෙන් ම 1987 – 89 පදනම් කර ගනිමින් ඒ කුරිරු, බියකරු අති දැවැන්ත මිනිස් ඝාතන පාලක (අ)ධාර්මිෂ්ඨ ජේ. ආර්. - ප්‍රේමදාස ආණ්ඩු සමයේ මෙසිරිලක පුරා පතුරුවා තිබිි දී දකුණ පුරා කරක් ගැසීමෙන් ලද අත්දැකීම් පාදක කරගෙන රචනා කරන ලද ගවේෂණාත්මක කෘතිය 'සුදුකළු භීෂණයේ සෙවණැලි' එළිදැක්වීමේ අවස්ථා දෙකට මෙන් ම, සුදුකළු භීෂණයේ සෙවණැලි කවර නිර්මාණය ද නිමහම් කෙරුණේ ද ඔහු ගේ තෙලිතුඩිනි.

ගාල්ල නාගරික ක්‍රීඩා මණ්ඩපයේ පැවති සුදුකළු භීෂණයේ සෙවණැලි කෘතිය දොරට වැඩුමේ දී ශාලාවත් ගාලු බස්නැවතුම් පොළ අබියස එල්ලන ලද පුවරුත් ඉතා විචිත්‍රවත් සේ සිතුවම් කළේ ඔහු ය.
ධාර්මිෂ්ඨ සමාජයේ වසරක් නමින් ලංකා සමසමාජ පක්ෂයේ නායකයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විසින් ලියන ලද පොත් පිංචක් අපි ගාලු නගරයේ ජනතාව දැනුවත් කරමින් අලෙවි කරද්දී යූඇන්පී මැර බළකායක් කඩා පිනූ අවස්ථාවේ මාත් රූබන් සහෝදරයාත් රැක ගන්නට සෙසු සමසමාජ - කොමියුනිස්ට් සහෝදරයින් රොත්තක් සමඟ අප සොයා ආ හැටි මේ මොහොතේ මට මතකයට නැඟේ.
ඩඩලි සේනානායක ගේ හත් හවුල් ආණ්ඩුව කාලේ හැටේ දසකයේ අග්ගිස්සේ දී කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවති මාතර සිට කොළඹට ගිය පාදයාත්රාවේ දී නුඹ අපේ නිවස පියමං කරමින් සෙස්සන් මෙහෙයවමින් ඉදිරියෙන් ගිය අයුරු අඩසිය වසක් ගත වෙද්දී අද ම හිත ඇඳෙන්නේ විශාල තරුණ පිරිසක් එක්ක නුඹ එහි පෙරමුණේ රාල සේ ගිය සිතුවමකි.
ශාන්තත් මමත් සරත් මුත්තෙට්ටුවේගම සහෝදරයා ගේ කලවාන අතුරු මැතිවරණයට ගාල්ලෙන් ගිය පළමු කණ්ඩායමේ පස් දෙනාගෙන් දෙදෙනෙකි. දේනෙත්ති, සීජීආර් විමසේන හා වසර බෝ ගණනාවකට පෙර දිවංගත වූ රවි සොයිසා සෙසු සහෝදරයින් තිදෙනා යි.
කලවාන අතුරු මැතිවරණයේ දී ශාන්ත වැඩ කළේ අයගම ය. ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ගුණසේකර මහතා ගේ ගම වූ ගවරගිරියේ ඡන්ද කටයුතුවල යොදුණෙමි මම. අවසන් දවස් දෙක ඔහු ද මා හා දේශපාලන කටයුතු කළ නිශ්ශංකට උදව් පිණිස ආවේ බලපිටියේ භාතිය රාජපක්ෂත් කැටිව යි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක අධිනීතිඥ සරත් මුත්තෙට්ටුවේගම සහෝදරයාගේ ජයග්‍රහණය බෝ පැහැදිලි ය.
ඡන්දය දවසෙ අපි තැන් කිහිපයක හිඳ ප්‍රතිඵල අසමින් හුන්නෙමු. සරත් කලවාන මහජන මන්ත්‍රීවරයා සේ ඒ ආසනයේ ඡන්දදායකයින් විසින් තෝරාගෙන ඇත. මාත් ශාන්තත් හිටියේ ගවරගිරියේ වෙල් වණ්ඩියේ ගුණරත්නගේ නිවහනේ ය. ප්‍රතිඵල විකාශනය වෙත්ම අප හුන් නිවස පිටුපස සිට කිසිවකු පලා ගියේ සරත් පරාජයට පත්වූවා නම් අපට කිසියම් අනතුරක් කරන්නට පැමිණ සැඟව හුන් කෙනකු හෝ පිරිසක් බව සක්සුදක් සේ අපට පැහැදිලි ය.
ඊට පසුදා සිට දවස් පහක් පමණ අපට අපේ ආදාරකරුවන් හා හිතවතුන් ආරක්ෂා කර ගන්නට රෑ පහන්වන තුරු මියුගුණැල්ල පිදේශයේ රැඳී සිටින්නට සිදුවෙද්දී ශාන්ත මගේ සෙවණැල්ල මෙන් ද මා ඔහු ගේ සෙවණැල්ල සේ ද සිටිය අයුරු සිහියට නැඟේ.
ශාන්ත දැඩිමුනි සහෝදරයා සාමජශීලී පුද්ගලයෙකි. ඔහු හැම විටක ම අනෙකාට පිහිට වන්නට සැදී පැහැද හුන්නේ ය.
රජ්ගම ඉපිදැ හැදී වැඩුණු ඔහු පසු කාලීනව මියයන තෙක් ම ජීවත් වූයේ ගාල්ල කරාපිටිය ජාතික රෝහල අසල පදිංචි ලොකු නැගණියගේ ආදර සත්කාර ලබමිනි. ඔහු කරාපිටිය රෝහල් හි රෝහල් කමිටු සාමාජිකයකු සේ දිගු කලක් - මෑතක් වන තුරු - කටයුතු කළේ ය. ඔහු සොයා එන කිසිවකු මඟහරින්නට ඔහු ගේ හිත ඉඩ නුදුන්නේ ය.
ඔහු දේශපාලන වශයෙන් කොමියුනිස්ට් කාරයෙකි. මාක්ස් ලෙනින් වාදී දැක්මෙහී හිඳ හේ හැම දෙයක් ම කළේ ය. කිසිවිටෙකත් ඔහු දුරූ මතයෙන් දුරස්වීමට හෝ ප්‍රතික්ෂේප කරන්නට ඔහු නොපෙලඹුණි.
ශාන්ත ජීවිතය ගත කළේ අවිවාහකව ය. ඒ ඔහු දිගු කලක පටන් පැවති පෙම්සබඳතාවය කැඩී බිඳී යෑම නිසා බව සඳහන් කරන්නේ කනගාටුවෙනි. ඔහු ගේ සියලු දුක සැප බලා කියා ගත්තේ ලොකු නංගී ය. ඇගේ සැමියා ය. දරුවන් ය.
හේ කැමරා ඉස්සරහ හිට ගන්නට කැමැත්තක් දක්වූවකු නොවේ. එනිසා ම ඔහු ගේ පින්තූරයක් සොයා ගැනීම ද ලේසිපාසු නොවී ය. මෙහි ඇත්තේ ද මගේ 'සුදු පිල්ලි' පොත දොරට වැඩිය දා මමිතුරා පොල්තෙල් පහන දල්වන අවස්ථාවේ වීඩියෝ ශිල්පියකු විසින් ගන්නා ලද රූප රාමුවකින් පිටපත් කර ගැනිමෙනි.
ඔහු ගේ වියෝවෙන් අපි තැවුල් සිතැතිව හිඳින්නෙමු. ඒත් ලෝක සත්‍යයට අපට පිටුපා නොහැක. සතර මහ භූතයන්ගෙන් නිර්මිත මෙලොව සියල්ල ම අනිත්‍ය ය. ශාන්ත ගේ වියෝවේ පාඩුව අපට දැනෙන්නේ මතු කල් හි ය.
හෙළදිවට ද නුඹ දැක්වූ දායකත්වය කෙසේ අමතක කරම් ද? හෙළදිව සාතිශය සංවේගය පිරි නමමු අපි!!
ඉදින් සබඳ නුඹට නිවන් සුව!
- සුගතපාල මැන්දිස් -
