උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

හරිනි වහාම ඉවත් කරන්න

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විදේශ ආධාර මත වසර ගණනාවක සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - - ඇල්ලේ ගුණවංශ හිමිපාණෝ ජනපතිට දන්වති

යෝජිත සියලු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අත්හිටුන්නැ යි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණෝ වදාරා සිටිති.

වත්මන් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීම දැරීමට නුසුදුසු බවත්, ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින් ඇයගේ ධුරයන් අහෝසි වී ඇති බවත් උන්වහන්සේ පවසති.

හය ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කර ඇත.
අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිසංස්කරණ නිසි ප්‍රතිපත්ති රාමුවක් මත සකස් කර නොමැති බවත්, භික්ෂූන් වහන්සේලා, ගුරුවරුන් හෝ අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන නොමැති බවත් ඇල්ලේ හිමිපාණන් ජනපති වෙත යොමු කරැති සංදේශයේ සඳහන් වේ.
මෙම ක්‍රියාවලිය අත්තනෝමතික සහ විනිවිදභාවයෙන් තොර එකක් බවයි. ප්‍රතිසංස්කරණ මුවාවෙන් මෙවැනි නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රම මගින්, දරුවන්ට කෘතිමව, විෂම ලිංගික දිශානතීන් ආරෝපණය කිරීමට කූට ලෙස උත්සාහ කිරීම සමාව දිය නොහැකි පාපයක් බව උන්වහන්සේ අවධාරණයෙන් දක්වති.
මෙම වැඩපිළිවෙළ හරහා ඉදිරි දශක ගණනාවක කාලය තුළ මානසික රෝගීන්ගෙන් පිරි රටක් බිහි කිරීමට අඩිතාලම දමා ඇති බවට ද උන්වහන්සේ චෝදනා කරති.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විදේශ ආධාර මත වසර ගණනාවක සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් බවත්, මෙයට වගකිවයුත්තන් දණ්ඩ නීති සංග්‍රහය සහ ළමයින් අපයෝජනයට අදාළ අපරාධ නීති යටතේ දඬුවම් ලැබිය යුතු බවත් සංදේශයේ වැඩිදුරටත් දැක්වේ.
එහෙයින් වහාම කැබිනට් සංශෝධනයක් සිදු කර, එම තනතුරු සඳහා දේශප්‍රේමී සහ යහපත් මානසික සෞඛ්‍යයකින් යුත් මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙස ද ඇල්ලේ හිමිපාණෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති