උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

හෙළදිව කවි කිවිඳියනට අත්වැල සැපයෙන ඔබේ පිටුව

~වියපත් කුසුම්~~

තාත්තා ලොකු එකියෙ

යැයි කෙඳිරි ගානවා

පොළට යන අම්මාව

හීනෙනුත් පේනවා

කාලෙකින් මහගෙදර

පැත්තෙවත් ආවෙ නෑ

සෝමෙටයි අනුලටයි

දැන් මාව මතක නෑ

මං  ගැනම හොය හොයා

ඉන්න දැන් කල් ඇතෑ

අනේ උන්ටත් ඉතිං

දරුවන්ගෙ වැඩ නැතෑ

දෙමව්පියො සිහිකරලා

මොනව දුන්නත් කාට

ඒ පිනෙන් භාගයක්

මාමටයි නැන්දාට

කෑවා ද බීවා ද

නංගියේ කියකියා

නිතර මං ගැන හෙව්වෙ

ඒ කාලේ දෙවැනියා

හුරතල්ම පොඩි එකා

නැන්දාගෙ බඩ පිස්ස

දැන් කොහෙද දන්නෙ නෑ

පුංචි මල්ලි තිස්ස

ගෙදර උන්දැ රහට

උයනකොට කිරි හොද්ද

මල්ලියේ උඹට මං

මතක් වෙනව ද නැද්ද

ලොකක්කේ කිය කියා

එකල හුරතල් පෑව

නිල්මිණි තමයි

දැන් බලාගන්නේ මාව

දීගගිය දරු මල්ලො

හොඳින් කල් ගෙවනව ද

පද්මිණී පෙර මෙන් ම 

මං මතක් කරනව ද

පද්මිණී මං උඹේ

ළඟ ම උන් හිතවතී

මතකයි ද  ලියනගේ

දෝන කුසුමාවතී

තරුණ කාලේ රුව ම

ඇඳුණාට හදවතේ

ලොකයියට දැන් වයස

අසූවක් මයෙ හිතේ

අතෑරුණු දිවිය ගැන

හෙළන්නෑ සෝ සුසුම්

ලොකු අයියෙ නුඹ මෙන් ම

වියපත් ය දැන් කුසුම්

_ කුමාරි රත්නායක _

 

 

————-

ඇසළ සඳට මුවා වී

දළදා හිමි වැඳ පුදාන…

වැව අද්දර බිම ඉඳගෙන…

ඇසළ සඳට මුවා වෙලා…

පෙරහැර බලමුකෝ ආයේ…

නුවර වැවේ ඔරු පැදපැද…

හංස රැඟුමේ රස විඳ විඳ…

පිණි වැස්සේ තුරුළු වෙන්නේ…

කවදද ආයේ…

පොරි අහුරක් කන්න දීලා…

වලාකුළු බැම්මෙ ඉඳගෙන…

දණ්ඩි පැටව් දඟලන හැටි…

බලමුද ආයේ…

හීලෑ නැති හිත් පොඩිත්ත…

සරණා හැටි දුර ඈතක…

මතක ලොවේ කවුළුව හැර…

විඳිමුද ආයේ…

 –  ඇන්ජලා පැල්පොළ  – 

 

==========

මට මං විතරයි ?

පවන් කඳු දෙපස විදා

ගොර බීරම් හඬ නගා

අහස් මග පාදා ගෙන

ගුවන් යානය ඉගිලුණා

ඈත අහසට….

කවුරුවත් නෑ පණ ඇති සතෙක්

හතර වට හුදකලාවේ

හිස් ආකගෙ බලා

වැට කඩුල්ල ළඟ

මං තනිවෙලා…

ළිං පතුල මෙන් දෑස ගිලිලා

ගතත් ක්ෂය වී

සිතත් දිරලා

නුඹේ දුක්බර වුවන සීවේ

පෙරදාක … හදවත‌ේ රැඳිලා

මේන් අම්මේ ලේන මල්

වැස්ස එක්කල කළත් පිරිලා

නුඹේ සිනා කට හඬ මට

සවන පුරා රැව් දෙනවා

ඒත් ඉතිං… නුඹ

ඉගිලී උඩින් ගියා…

කඩා වැටුණා මගේ හදවත…

හුදකලා වූ පාළු ලෝකයේ

සංසාරේ අගරමංව

සෙවණැලි මතකයේ

මං ඇවිදින්නම්

කවුරුත් නෑ මං හඳුනන්නේ

නුඹ විතරයි මට හිටියේ

අද මට මං විතරයි

කඩා වැටෙන මගෙ හිත

නුඹ වෙනුවෙන් විතරයි…

කවුරුත් නෑ පුතුණේ

මට මං විතරයි…


   – රත්නා කහඳගමගේ –