විශ්රාමික බන්ධනාගාර අධිකාරිවරයෙක් වෙඩික්කරුවන් ගේ ඉලක්කය යි- වෙඩි ප්රහාරයෙන් හේ ගෙමිදුලේ දී ම මරු වැලඳ ගෙන
විශ්රාමික බන්ධනාගාර අධිකාරිවරයකු වෙත හඹා ආ ඝාතකයන් දෙදෙනකු විසින් ඔහුට වෙඩි තබා ඝාතනය කොට අක්මිමන පොලිසිය පවසයි. ඔහු මිදුලේ සිටියදි වෙඩික්කරුවන් කඩා වැදී වෙඩි තැබිම සිදු කර ඇත්තේ අද (13) හවස 04. 30 ට පමණ යැයි ද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ බන්ධනාගාර අධිකාරිවරයා බුස්ස බන්ධනාගාරයේ සේවය කිරීමෙන් පසු විශ්රාම කිය පුද්ගලයෙකි. හේ නමින් අහංගම වලවගේ සිරිදත් ධම්මික (61) මහතා ය. පදිංචිය අක්මිමන ඉහළගොඩ ය. ඔහු ගෙවත්තේ උදැල්ලකින් වැඩකරමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි දඩයක්කරුවන් දෙන්නා මිලිමිටර් නමය වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා පලාගොස් ඇත.
වෙඩි ප්රහාරයට ගොදුරු වූ විශ්රාමික බන්ධනාගාර අධිකාරිවරයා 1990 ගිලන් රථයකින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් හේ මියගොස් සිටිය බව රෝහල් ආරංචි මාර්ග කී ය.
හේ එක්දරු පියෙකි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීම සඳහා අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි. ඝාතකයින් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් මාර්ග බාධක යොදා ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
