ආර්ථිකඋණුසුම් පුවත්

අගමැති දිනේෂ් හමුවූ ජපන් විදේශ ඇමතිනිය කමිකාවා යොකෝ

දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව පැවති ශ්‍රී ලංකාව සතුටුදායක තත්ත්වයකට පත්වී තිබීම ජපන් විදේශ ඇමතිනියගේ පැසසුම්

දැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාව සතුටුදායක ආරම්භක ප්‍රකෘතිමත් භාවයක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව ජපානය දැඩි විශ්වාසයකින් පසු වන බව ජපානයේ විදේශ අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (2024.05.04) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ දී ය.
ජපාන රජය විසින් සම සභාපතිත්වය දරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), පැරිස් සමාජය සහ ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් ආධාර සපයන රටවල සහය ඇති ව සිදු කෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සංචාරයෙහි නිරත ජපාන විදේශ අමාත්‍යවරිය දැනුවත් කළේ ය.
අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි කොටස්වලට සහාය වීම සහ නඟා සිටුවීම සඳහා ඇස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර, චීනය සහ පෞද්ගලික ණය දෙන්නන් සමඟ ද ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනම් කරනු ඇතැයි ජපානය අපේක්ෂා කරන බව පැවසී ය.

යෝජිත අනුරාධපුර මහාවිහාර විශ්වවිද්‍යාලය ඇතුළු බෞද්ධ ආගමික මධ්‍යස්ථාන සඳහා ලබාදෙන ආධාර සම්බන්ධයෙන් ජපානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, බෞද්ධ දින දර්ශනයේ වඩාත් පූජනීය කාලය වන වෙසක් මාසයේ දී ජපාන අමාත්‍යවරිය ශ්‍රී ලංකාවට පැමිණීම විශේෂත්වයක් බව පැවසී ය.

විදේශ කටයුතු අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) සමඟ ජපාන විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, සුරේන් රාඝවන්, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න යන මහත්වරු ද මෙම හමුවට එක් ව සිටිය හ.