උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත විචාරසාහිත්‍යය හා කලාව

අගෝස්තු අගට නිකුත් වෙන පොතක්

පොළොල් පැහැ නෙත් රාජධානිය

සයිරස්ගේ  " හමුවීම "  සහ සයිරස් හමුවීම.

------------------------

සයිරස් යැ'යි කියූ විට මතකයට එන්නේ දියත දික්විජය කළ පර්සියානු අධිරාජ්‍යයෙකි. ඒත් මේ ඒ සයිරස් නොවේ. මගේ සාහිත්‍ය විජිතයේ අධිරාජ්‍යයා මේ සයිරස්‍ ය.

" තොප පසුකොට ආවේ එක් ස්ත්‍රියකට වඩා ප්‍රේමය කරන, ප්‍රේමය කිරීමෙන් සදාචාරයෙන් දැඩි දඬුවම් ලබන සමාජයකි.එවැන්නෙකුට මෙහි ඉඩක් ඇතැ'යි නොහැඟේ"

අවසර සාධුවරය.!එය නම් මහා මිථ්‍යාවකි. ප්‍රේම ශික්ෂාවටත්, ප්‍රේම ලීලාවටත් සුපුරුදු මිනිසාගේ ප්‍රේමය, එක් ස්ත්‍රියකට පමණක් සීමාකිරීම, සදාචාරයේ නොව ගිහිගෙයි නීතියකි. දුරාචාරයෙන් මිනිසාගේ පිරිහීම වැළැක්වීමට සම්මතකොට පැන වූ නීතියකි. මිනිස් හදවත ජලාශයක් නම්  සුපුෂ්පිත ප්‍රේමෝත්පලයෙන් එය වැසී තිබේ. මිනිසා රහසේ පව්කාරයෙකු බවට පැමිනුණේ ඒ නිසා ය. පුරුෂයාගේ පුද්ගල සන්ථානය පුරා පැතිර, තවකෙකුට අවකාශයක් නැති සේ ස්ත්‍රිය එහි වීදුරු මාළිගාව මවා ගන්නවා නොවෙයි. ඒ වනාහී ස්වසන්ථානය  ස්ත්‍රියකට හැර අනෙකෙකුට නොදෙමැ'යි පුරුෂයා විසින් ම ඈ උදෙසා සුගන්ධ පුෂ්ප වයනයෙන් කරගනු ලබන ආත්ම නිර්මාණයක් පමණෙකි. එහි වරදක් ඇතොත් ඇත්තේ ජීවිතයෙහි පදනමෙහි ම මිස අන් තැනෙක නොවෙයි. සදාචාරය නම් ස්ත්‍රියකට ප්‍රේම නොකිරීමය."

මේ අපේ සයිරස් ගේ ලිවීම ය.

එය උපුටා ගන්නා ලද්දේ සයිරස් .ඩබ්. සුරේන්ද්‍ර නම් වූ මහා චින්තකයාගේ " හමුවීම " නම් දුර්ලභ කෘතියෙනි. මේ කෘතිය පළ වූයේ මා ඉපදෙන්නටත් පෙර වර්ෂයේ ය. එනම් 1946 අප්‍රේල් මාසයේ ය.

එය ගුණාත්මකව ගුරුදේව රබින්ද්‍රනාථ ඨකූරයන්ගේ දාර්ශනික චින්තාවට නොදෙවෙනි ය. සිංහලයේ මෙබඳු ලිවීමක් මෙම කෘතියට පෙර හෝ පසුව මට කියවන්නට ලැබී නැත.

දැන් කියවන්නේ  ඒ සයිරස් මට හමුවීම ය.

මිනිසෙකුගේ ඉරණම යනු කලින් සකස්කොට තබා පසුව මුණගස්වන ස්වභාවික ක්‍රියාවලියක් මිස අනෙකක් නොවේ.

අධ්‍යාපනයේ පාසල් අවදිය නිම කොට, දැනුම සොයා විශ්ව විද්‍යාලයට යනවා වෙනුවට ජීවිතය සොයා අගනුවරට පිළිපන් ගමනේ දී මට මේ ඉරණමේ රහස ප්‍රත්‍යක්ෂ විය.

මට මගේ ජීවිතයෙ ඉතිරි අර්ධය ද, ආධ්‍යාත්මයේ නොපිරුණු අර්ධය ද මුණගැසෙන්නේ මේ ඉරණම් සහගත ගමණේදී ය.

අගනුවරදී හිසට සෙවණක් සහ නිදියහනක් ලැබෙන්නේ, මේ මහා දාර්ශනිකයා, අන් තැනෙක පදිංචියට යන්නට පෙර, කලක් විසූ ඒ මන්දිරයේ උඩුමහළේ වීම කුමණ ආශ්චර්‍යයක් විය යුතු ද?

දෙවන   මහලේ  මගේ නිදියහන අවට වූයේ අඩි හයකටත් වඩා උසින් වැඩි, කෞතුක වටිනාකමකින් යුත් වීදුරු අල්මාරි දෙකක, අපිළිවෙලට ගොඩ ගසා  තිබූ එතුමන් පරිහරණය කළ පොත පත වීම අහම්බයක් නොවන බව මම දැන සිටියෙමි.

මේ මහාර්ඝ නිධානය මට වෙස් වලාගත්  ආශිර්වාදයක් ම විය. ඉඩලත් හැම විටම මම නිධානය කැනීමි. ආධ්‍යාත්මය පමණක් නොව දැනුම් ගබඩාව ද පුරවා ගත්තෙමි. මට කිසිදාක දකින්නටවත් නොලැබුණු ඒ මහා පොත් කන්දරාව විසින් උපයා දුන් දැනුම ද, විශ්ව විද්‍යාල ප්‍රවේශයේ දී  පණ්ඩිත  හේන්පිටගෙදර  ඥාණසීහ  මාහිමිපාණන් මාතුළ පිරවූ  මහායාන ඉගැන්වීම් පිළිබඳ  දැනුම්  පද්ධතිය, "මාත් එක්ක මිය යන මම" නව  ප්‍රබන්ධය  ලියන්නට මා පෙළඹවීය.

ඒ පොත් කන්ද අස්සේ  මේ වියතාගේ නොපළ රචනා ද විය. ඒ අතරින් මට කියවන්නට භාග්‍යලත් "දරු ගින්න" හමුවීම තරමටම ප්‍රශස්ත කෘතියකි.

මේ සුවිසල් මන්දිරය හා මේ දාර්ශනිකයා අතර තිබූ සහසම්බන්ධය වෙනම කතාවකි. එය  මෙහි  නොලි යමි.

එවකට දිණමිණ කතුමඩුල්ලේ සේවය කළ සයිරස් ඩබ්. සුරේන්ද්‍රයන් ඉඳහිට දවසක මේ මන්දිරයට ගොඩ වැදුණේ ය. දැනුමෙන් මෙන්ම වයසින් අහසට පොළොව වූ මට ඒ දැවැන්ත රූපකාය නෙතට රසඳුනක් ම විය. මම ලිවීමේ පිපාසයෙන් පෙළෙන බව එතුමෝ දැන සිටියහ.

දිනමිණට  ලියන්නැ'යි එතුමෝ  මා  උනන්දු  කළහ. අපි වයස් භේදයකින් තොරව බොහෝ දේ කතා කළෙමු.

වංග සාහිත්‍ය හදාරන්න. ඒ  තරම් රසාලිප්ත භාෂා  වාදනයක්  වෙන  නැහැ. රවීන්ද්‍රනාථ  ඨාකූරයන්  ගුරු කොට  ගන්න.  ඒ  භාෂා  රටාව  හදාරන්න. එතුමා කියවන්න. මටත්  ගුරු  වූයේ  ඨාකූරයන්‍ ය.

මේ පරිණත  මිනිසා මටදුන්  අවවාද අතර  විය.

දරු ගින්න පළ නොකරන්නේ ඇයි දැයි එබඳු මොහොතක මම විමසා සිටියෙමි. එතුමෝ අව්‍යාජ ලෙස සිනහ සුණා පමණි. කිව  යුතු දේ ඒ සිනහව තුළ තිබුණේ ය.

මට දැන් තේරෙන්නේ එපමණ නිහතමානී විය හැක්කේ මුනිවරයෙකුට  පමණක්  බව ය. 

එතුමන් පවා දැන  නොසිටි  එතුමන්ගේ  එකම සිසුවා මා ය. ලිවිය යුත්තේ කෙසේදැයි මා උගත්තේ මේ චින්තකයාගෙනි. ඒ ලිවීම නම් මහා අරුමයක්ම ය.අපේ භාෂාව සංගීතාත්මක භාෂාවක් බව, අතිශය ගැලපෙන වචන යෙදීමෙන් පද දෙකක් අතර විරාමයෙහි සංගීතයක් උපදවා ගත හැකිබව, පේලි කියැවීමේ දී ඒ පේලි අතර නිර්මාපකයා වචනයෙන් නොලිව් දේ ඉස්මතු කරගත හැකිබව මා ඉගෙන ගත්තේ සයිරස් ඩබ් .සුරේන්ද්‍රයන් ගෙනි.

මේ පයුරු පාසානම ගැන  සාක්ෂි දිය හැකි එක් සාක්ෂි  කරුවෙක් තාමත්  ජීවමානව සිටි.

ඒ  ප්‍රවීණ  ලේඛක , මාධ්‍යවේදී  සුගතපාල  මෙන්ඩිස්  කළණ මිතුරා ය. අපි බාබර් වීදියේ  පාර දෙපැත්තේ  මුහුණට මුහුණ ලා  පිහිටි ගොඩනැගිලි දෙකේ  විසූ  හවසට  මුණ  ගැසෙන  ගජ මිතුරන්  වීමු.

සයිරස් ඩබ්ලියු. සුරේන්ද්‍රයන් මියයන තුරුම අප අතර වූ ආධ්‍යාත්මික බැදීම නොබිඳී පැවතුණි.

මීට වසර පනස් හයකට පමණ පෙර. කොළඹ මහරෝහලේ දී එක් අලුයම් කාලයක මේ මහා චින්තකයා තම අවසන්  සුසුම් පොද වාතලයට මුසු කරන මොහොතේ අවුරුදු විසිතුනක පමණ දෙගොඩහරි වියේ කොලුගැටයෙක් ඇඳේ ඉහ ඉද්දරට වී, ඒ දැනුම් හිස පිරිමදිමින් ඒ නික්මයාමට සමුදෙමින් සිටියේ ය.

ඒ නිහඬ අලුයම් කළ ඔහු පමණක් එහි විය.

ශෝකය  දරා ගත  නොහැකිව  ඔහු තනිව  ඉකිබිඳ හැඬුවේ ය.

ඒ කොලුගැටයා  මම ය.

එතුමන්ගේ  අවසන් සුසුම් පොද වා තලයට මුසු නොකොට, ඉහ ඉද්දර සිටිමින් මා එය  මගේ හදවතට  උරා ගත් බව මම  අදහමි.

ජී.ඇල්.

පොළොල් පැහැ නෙත් රාජධානිය

අගෝස්තු අගට නිකුත් වෙන පොතක්

හෙළදිව සංස්කාරක සටහන 

ජී. ඇල්. නම් මේ සොඳුරු මිනිසා මට හමුවුණේ 1967 හෝ 1968 බව ආඩම්බරයෙන් සඳහන් කළ යුත්තේ ම ය. අපි දෙදෙනා කොළඹ 13 බාබර් වීදිය නම් මාවතේ පාර දෙපැත්තේ එකල විසුවෙමු. ආරි, කාලය ගත කළේ ස්වර්ණභරණ උගස් භාණ්ඩ ගන්නා ගොඩනැගිල්ලක  ඉහළ මාලයේ ය. මම ඊට මඳක් ඔබ්බෙන් පාරේ අනිත් පස මෙට්කෝ ඇඩ්වර්ටයිසින්, අසෝක තීන්ත, අසෝක බිම් පොලිස් නිෂ්පාදන ආයතනයක වැඩ කළෙමි. ඒ මගේ මස්සිනා වූ එම්. ඩී. මෙන්ඩිස් සහ සමාගමෙහි ය. මා 1071 අප්‍රේල් 01 වැනි දා මස්සිනාගේ ආයතනයට සමු දුන්නේ එහි පැවති වැඩ වර්ජනයකට හවුල්වීමේ හේතුවෙනි. 

එකල නිබඳව ම මුලිච්චි වූ ආරිගෙත් මගෙත් සුහද හමු සමාප්ත විය. ඊට පසු අප දෙදෙනා යළි මුණගැසෙන්නේ මුහුණු පොත ඔස්සේ ය. ඒ ආරි ද කරකාරේ බැඳන් ගමට හෙවත් මිණිපුරට පළාගිය බව දැන ගත්තේ ද ඔය අතරවාරයේ යි.

ඔහුත් සමඟ මගේ මතකයට නැඟෙන තවත් චරිතයක් වූයේ නෑහින්නේ ය. නෑහින්නේ පෙුමදාස ය.  ඔහු ගැන තතු කිසිවක් කියන්නට නොහැකි වීම ගැන කනගාටු ය. මන්ද යත් නෑහින්නේ ද එකල  ගත්කරුවකු හෙයිනි.