උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය

අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව!

අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සාතිශය සංවේගය පළ කරයි

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබෙන අස්ගිරි මහා විහාරයීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමි අනුස්මරණ ශාලාව වෙත ඊයේ (22) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අතර අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවකද නිරත විය.