රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ නිරතව සිටින බව පේනවා
රට සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඩපණ කිරීමට විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්ගේ නිරතව සිටින බව පේන්නට ඇතැ යි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිවරයා පැවසීය.
ඔවුන් උමාඔය සහ සාම්පූර් වැනි විදුලි බලාගාර නිර්මාණය කිරීමේ දී ද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කළේ යැ යි ද අනුරුද්ධ රාජ්‍ය ඇමතිවරයා තව දුරටත් කීවේ ය. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.
''පසුගිය අර්බුද සමයේ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති ගණනාවක්ම අතරමඟ ඇණහිටියා. නමුත් මේ වන විට ද්වීපාර්ශ්වික ණයහිමි රටවල් සමඟ අවබෝධතාවයට පැමිණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ නිසා විදෙස් රටවල ණය ආධාර මත ආරම්භ කළ නමුත් පසුව අතරමඟ නවතා දැමුණු එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සම්පූර්ණ වී තිබෙනවා. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම රටේ පවතින බලශක්ති අර්බුදය විසඳා ගැනීමට මහත් පිටුවහලක්"
"ඒ වගේම වහල මත සවි කෙරෙන සූර්ය පැනල ආධාරයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැය පිළිබඳව විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල අමත්‍යාංශය එක්ව අදාළ ගණනය කිරීම් සිදු කර තිබෙනවා. ඒ අනුව මිල ගණන් පහළ දැමීමට හැකි වී තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉකුත් සතියේ ඉදිරිපත් කළා. ඒ අනුව අඩු මිලකින් විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් සඳහා යොමුවීමට අපට හැකි වී තිබෙනවා. මෙවැනි පියවර ගැනීම හමුවේ විදුලි බල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයකට පත් කිරීමට හැකි වී තිබෙනවා"
"තව ද අදානි ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයන් සහ පරිසර වාර්තා මෙන්ම ඊට අදාළ වැඩිදුර කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. අනතුරුව පවතින මිල ගණන් අනුව කටයුතු කළ හැකි ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත" බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.