අධිකරන ඇමති ආචාර්ය රාජපක්ෂ ගෙන් නිලධාරීන්ට උපදෙස්
රටේ සෙසු ජනතාවට තිබෙන අයිතීන් ආදිවාසී ජනතාවට ද තිබිය යුතු බවත් එම ජනතාවට හැඳි ගෑරුප්පු භාවිතා කර අහාර ගන්නා ලෙස කිව නොහැකි බවත් ඔවුන්ගේ කැමැත්තට සහ තෝරා ගැනීම් වලට ද ඉඩක් තිබිය බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදිවාසී ජනතාවට තම ජීවිකාව ගෙනයාමේ දී ඇතිවන ගැටලු සහ බාධක අවම කර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අලුතින් සකස් කරන ලද රෙගුලාසි පද්ධතිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී නව රෙගුලාසි පද්ධතිය නීතිගත වීමට පෙර එහි ඇති අඩුපාඩු සහ සංශෝධනය කළ යුතු තැන් පිළිබඳව එක් එක් පාර්ශවයන්ගෙන් තොරතුරු ලබාගැනීම සහ ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සිදු විය.
මේ වන විට ආදිවාසීව් ගේ ජීවන රටාවට අදාළ ව නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිළිබඳව පසුගිය කාලසීමාව තුළ සාකච්ඡාවට බඳුන්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආදිවාසීන්ගේ ජීවන ගැටලු විසඳීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේතුව ඇතුළු අදාළ පාර්ශවයන්ගේ පූර්ණ සහාය ඇතිව නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කටයුතු කරන ලෙස ගරු අමාත්‍යවරයා විසින් නීතිපති දෙපාර්තමේතුවට මීට පෙර පැවති සාකච්ඡා වටයක දී උපදෙස් ලබාදුන් අතර මේ වන විට එම කෙටුම්පත සකසමින් පවතී.
එම කෙටුම්පතට සමගාමීව ආදිවාසී ජනතාව ගේ එදිනෙදා ජීවනෝපාය මාර්ගයන්ට මාර්ගෝපදේශ ලබාදීමට සහාය වීම සඳහා අවශ්‍ය කරන නව රෙගුලාසි පද්ධතියක අවශ්‍යතාවය ගරු අමාත්‍යතුමා විසින් පෙන්වා දුන් අතර ඒ පිළිබඳව වන රෙගුලාසි පද්ධතිය වනජීවී දෙපාර්තමේත්ව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව අලුතින් සකස් කර ඇත. එය වඩාත් සාර්ථක ක්‍රියාත්මක කිරීම සඳහා එම රෙගුලාසි පද්ධතියෙහි ඇති අඩුපාඩුකම් සහ සංශොධනයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී වඩා වැඩි අවධානයක් යොමුවිය.
දශක තුන හතරක කාලයක පටන් මෙවැනි ක්‍රියාවලියක අවශ්‍යතාවය මතුව තිබුණ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයත් සිදුවී නොමැති බැවින් මෙම සාකච්ඡා වටය අවසානයේ දී අවසන් තීන්දුවක් ගෙන එය කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය බවට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ගහ කොළ මෙන් ම සතා සිවුපාවුන් ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම ප්‍රාථමික ජන කොට්ඨාශයක් වන ආදිවාසී ජනතාවගේද මානව හිමිකම් අනෙක් ජනකොට්ඨාස වල වගේම ආරක්ෂා කරගන්න ඕන. අපිට කියන්න බෑ ඔවුන්ට හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්න කියලා හරි හෝ වැරදි පාරම්පරිකව ඔවුන් තෝරගත්ත විදිහ ඒක, ඒ අයගේ කැමැත්ත සහ තෝරා ගැනීම තමයි ඒ” යනුවෙනි.
මෙම අවස්ථාවට නීතිපති දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්ත්ව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්විය.