ශ්‍රී ලංකාවේ දෙකෝටි විසිලක්ෂ තිස් හත්දාහක වූ ජනගහණයෙන්, එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පණස් හතර දෙනකු විසින්, (1,71,40354) අද (14) දවසේ උදේ හතේ සිට සවස හතර දක්වා වූ කාලය තුළ ගැනීමට නියමිත තීරණය රටට, ජාතියට, මෙන් ම සමයට ද, බෝ ෙඑතිහාසික සංසිද්ධියක් සේ ඉතිහාසයට එක්වනු ඇති බව, පළමුවෙන් ම සඳහන් කරනු වටී. ඒ ස්වකීය පරමාධිපත්‍යය රටට, ලෝකයාට, මේන් මෙහෙමයයි පෙන්වමින් සිය මනාපය, විදහා දක්වන අපේ කාලයේ වැදගත් ම, දිනයක් හෙයිනි.
ඒ මෙසිරිලක පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් 225 කු තෝරාපත් කර ගැනීමට පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට දායකත්වය දැක්වීමෙනි.
ලාංකේය ජන සමාජය ඉකුත් සැප්තැම්බර මස 21 වැනිදා තීරණයක් ගත්හ. ඒ තීරණයේ ප්‍රතිඵල නම් ඉතා ලැජ්ජාසහගත අයුරින්, හවුරුදු ගණන් එක දිගට රට කරවූ ඇත්තන්, අති බහුතරයක් දෙනා සිය දිස්ත්‍රික්කවල, මන්ත්‍රී කොට්ඨාස වලින් කුජීත අයුරින්, පරාජයට පත් වෙමින් එදා පැවති ජනාධිපතිවරණයෙන්, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වූ, ඒ බලවේගයේ ද, බිම්ගතව හිඳිමින් පණ පොවන, ජනතා විමුක්ති පෙරමුණේ ද නායක අනුර කුමාර දිසානායක, හෙළදිව් හි නමවැනි ජනාධිපතිවරයා සේ, ජනවරම් ලැබ පදවිප්රාප්ත වීම යි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රාජ්‍යයේ දහවැනි පාර්ලිමේන්තුවට මහජන නියෝතයින් 225 කු තෝරාගැනීමේ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද යි. අද යි. අද යි.
මේ තීරණය ඔවුන් කෙසේ ගන්නේ ද යන්න කියන්නට, දිවැස් නැතත් දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ නම්, ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බලය ද තහවුරු කර ගන්නා වගයි.
එළඹෙන (අද පැවැත්වෙන) මහ මැතිවරණය උදෙසා ස්වකීය බලය වඩාත් ශක්තිමත් වන අයුරින්, ලබා ගැනීම උදෙසා, ජනාධිපති අනුර හා අගමැතිනි හරිනි ද, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් හා සෙසු නායකයින් ද, රටවටා යමින් ස්වකීය මැතිවරණ ප්රචාරක කටයුතුවල නියළෙමින් ජනතාවට කී කතා ඔබට යළි මතක් කරදීම ඇවැසි නොවේ.
මොවුන් ගේ මේ ප්රචාරාත්මක පොරට විපක්ෂයේ කිසිවකු පෙරට ආවේ නැත එන්නට ඔවුනට ගායක් නැත
අපේ 'සතියේ සටහන' තබන ලියුම්කරු - ජගත් - ඉරිදා ලියා තිබුණේ විපක්ෂයට ඒ සඳහා ඇති කාසි පණම් අමාරුව නිසා එහෙම කරන්නට සිද්ධ වී ඇති කතාවකි.
ජාතික ජන බලවේගය සිය උපරිම ශක්තිය යොදවා, ස්වකීය පක්ෂයේ ආණ්ඩුවක් නිර්මාණය කරන්නට ගන්නා උත්සාහය, ඒ උදවියගේ පැත්තෙන් ඒ අයට හොඳ බව ඇත්තකි.
පාර්ලිමේන්තුවේ 225 ම හොරුන් යැ යි ජනමතයක් කලක පටන් ගොඩනැඟුවේ ද, ඔවුන් ම ය. ඒ තරමට ම ඔවුන් ගේ ප්රචාරාත්මක වැඩ සටහන්, රට වැස්සන් ගේ මොළ හෝදන්නට තරම් සියුම් වූයේ ද අද ඊයේ පටන් නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වූ රෝහණ විජේවීර සහෝදරයා, ඊට ඇවැසි අත්තිවාරම සකස් කරන්නේ, හැටේ දසකයේ මැද බාගයේ පටන් ය. කොටින් ම කියනවා නම් 1965 වෙසක් මහේ 14 වැනි දා අක්මීමන ඩබ්ලිව්. ටී. කරුණාරත්න සහෝදරයා ගේ නිවසේ දී, ජනතා විමුක්ති පෙරමුණ අරඹමිනි. විජේවීර සහෝදරයා ප්රමුඛ එකොළොස් දෙනකු විසින් දින දෙකක් පුරා පැවති දිගු සාකච්ඡාවකින් අනතුරුව ඒ.
දැන් අප ඒ ගැන කතා කර ඇති ය.
ලාංකේය දේශපාලන ගමන් මඟෙහි අද දක්නට ඇත්තේ සුළුපටු වෙනසක් නොවේ. වෙනස්වීම සොබාදහමේ න්‍යාය යි. ඊට පිටුපාන්නට කිසිවකුටත් බැරි ය.
ලාංකේය ජන සමාජය විනාශය කරා ගමන් ඇරඹුවේ 1977 පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 141 ක් ලැබ, 5/6 ක තරම් අති විශාල බලයක් ලබා ගන්නට එවක එහි නායකත්වයට පත් ව, ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා සේ බෞතිස්ම වූ ජුනියර්ස් රිචඩ් (ජේ. ආර්.) ජයවර්ධන හා ඔහුගේ ගෝලබාලයන් රොත්ත, ජන වරමේ දැවැන්ත බලයෙන් මත්වී කරන ලද, කරපු, මජර වැඩ නිසා බව හෙළදිව අපේ මතය යි. ඒ මතයට කෙනකු පක්ෂ වෙනවා මෙන් ම, තවකෙකු විපක්ෂ වනු ඇති. ඒ නිදහස් අදහස් දරන්න කාට කාටත් අයිතියක් ඇත.
මෙරටට හොරුන්, වාංචනිකයින්, කොමිස් කාක්කන්, පගාමරුවන්, පාතාලයන් නිපදවන්නට හෙවත් නිර්මාණය කරන්නට මුල්වූවෝ ඔවුහු ය. එදා 77 බලය ගත්තු අගමැති ජේ. ආර්. සිය පාක්ෂිකයනට, ආධාරකරුවනට හා හිතෛෂීන්ට කීවේ ''ඔන්න මං දොර විවර කළා. ඕනැ දෙයක් කර, හම්බ කොර ගනිල්ලා, හැබැයි අහු වෙන්ඩ නම් කොරාන්ඩ එපා ය කියා යි. කෝවිලේ කපුවා එසේ එළිපිට කක්ක කරද්දී, ගෝලබාලයින් ද, බාලයින් ද, හෙංචයියන් ද, ඒ වැඩේ දුව දුව කරන්නට පටන් ගත් බව අද කාටත් අමතක ය.
එදා පටන් මේ රට හප කරන්නට, විනාශ කරන්නට, කාබාසිනියා කරන්නට බලයට පත් හැම පාලන තත්තන්ත්රයක් ම, තමන්ගේ පවුල්වලට හා ගජ මිතුරන්ට මගහසර පාදා දුන් වග රහසක් නොවේ. ඔවුන් හැම එකා ම මේ අහස පොළොව නොඉවසන විනාශයට, අපරාධයට වගකිවයුතු බව නොකියා ම බැරිය.
අපි සිංහල" දෙමළ," මුස්ලිම්, බර්ගර් ඈ හැම දනා තිස් හවුරුදු යුද්ධයකින් මේ පොළොව ලෙයින් පොඟවමින්, නහවමින්, තෙත් කරමින්, ඕනැවටත් වඩා ජීවිත පිදූ රටක් හා රටවැසියන් පිරිසක් වෙමු. උතුරු නැගනහිර කොටි ත්රස්තවාදීන්, බලවතුන් ගේ ඕනෑකමට කළ ඊනියා දෙමළ ඊළාම් රාජ්‍යයක සිහිනයේ කිමිදවන්නට, කෙරිච්ච සැලසුම් සහගත කුමන්ත්රණවලට පින් සිදුවන්නට, පූජා කළ වන්දි ගෙවූ හැටි අමතකවීමේ රෝගයෙන් අප පෙළෙමින් සිටින හෙයින් එයින් වාසි ගන්නට ඌරන් කැකුණ තලද්දී හබන් කුකුළන්ට ගජවාසිය යන පැරණි කියමන සිහියට නංවා ගත්තොත් අප කාට කාටත් ඇඟට ගුණ ය. . එයින් වැසි රුධිර ගංඟා හැම පළාතක ම, හැම ගංගොඩක් ඔස්සේ ම ඒ තිස් හවුරුද්ද පුරා ගලා ගියේ ය. ඒ රුහිරු පැල්ලම් තවමත් වියැකී නැත්තේ ය. එක්සත් ජාතීන් ගේ සංවිධානය කියන පරිද්දෙන් නම් උතුරු කරේ පමණක් 2008 සිට 2009 යුද්ධය නිමා වන තෙක් සිදු වූ මිනිස් ඝාතන සංඛ්‍යාව 70000 කි. 1975 වසරේ සිට රුදුරු යුද්ධය නිසා දෙමළ ඊළාම් කොටි සංවිධානයේ සාමාජික සාමාජික, සන්නද්ධ තරුණ පිරිස් කොච්චර ප්‍රමාණයක් රටට දැයට සමයට අහිමි වූවා ද?
යුද්ධයේ අවසන් කාලයේ දී 1,69,793 ක් පුද්ගලයින් අතුරුදන් ව ඇති බව කියන්නේ ලෝක මානව අයිතිවාසිකම් සංවිධානය යි. අවසන් සමයේ දී තුවාල ලද්දෝ හැත්තෑ දෙදාහක් බව ද වාර්තාවල සඳහන් වේ. 2009 හවුරුද්දේ ජනවාරි සිට මැයි 19 දක්වා හාර මාසය තුළ පමණක් 75, 000 ක් ඝාතනයට ලක් වූ බව ද වාර්තාවක තිබුණු බව සටහන් කළ යුත්තේ ය.
මේ හා සමානව බියකරු තත්ත්වයක් 1986 සිට 1990 දක්වා කාලයේ රටේ අවශේෂ පළාත්වල පැවති භීෂණයේ හේතුවෙන් රටට අහිමි වූ වටිනා අගනා තරුණ ජීවිත සංඛ්‍යාව 60000 ක් බව මානව හිමිකම් සංවිධාන ඒ දවස්වල අනාවරණය කළ බව මතකයේ රැඳී තිබේ. ඒත් එවක පැවති ආණ්ඩුවේ නොනිල සංඛ්‍යා ලේඛනවලින් කියැවෙන්නේ හතළිස් දහසකි.මෙරටේ රාජ්‍යයේ බලය ගැනීමට ආයුධ සන්නද්ධ ගේම පටන් ගත්තෝ කොටින් නොවේ. දකුණේ උගත් බුද්ධිමති නේක විධ පීඩාවන්ට නතුව හෙම්බත්ව හුන් ''චේගුවේරා" කාරයින් යැ යි එදා පොදු මහජනයා විසින් හඳුන්වන ලද ජවිපෙ සාමාජිකයින් ය. එදා මෙදා යුද්ද දෙකක් දකුණේ ව්‍යාප්තවීමේ ප්‍රතිඵලය ද මව්බිම දෝවනය කරන ලද රක්ත වර්ණ රුහිරු දහරාවන්ට හේතුව කිමැ?. සංඛ්‍යාත්මකව ඝාතනයට ලක් වූ මේ රටේ උගත්, බුද්ධිමත්, දක්ෂ, මහා ජාතික සම්පත් මෙසේ අකාලයේ රටට දැයට සමයට අහිමි වූයේ කාගේ වරදකින් ද?
අපි දැන් ඊළග පියවර ඔසවමු.
මෙරට සුද්දන්ගේ යටත්විජිත වියගසින් බැඳී උන්ගේ යකඩ සෙරෙප්පුවට පෑගී, තැලී, පොඩි වී හුන් ජාතියකි හෙළයන්. ඒ අපේ රටේ ඇත්තන් නිසි පරිද්දනේ ලියවිල්ලකින් සුද්ද න්ට රට පාවා දීමේ පුතිඵලයෙනි.
සුද්දා ආපහු එංගලන්තයට යන්නට ගියේ අපේ මිනිසුන් ඉතා නින්දිත විදියට බෙදා වෙන් කර පස්ස පැත්තෙනුත් හිනාවෙමිනි.
එදා මෙදා තුර කාලය හවුරුදු 76 ක් ඉක්ම ගොස් හමාර ය. මෙරට පාලනය භාරගත්තෝ වරින් වර රටේ බලය හුවමාරු කර ගත්තා හැරෙන්නට, රටටවත්, ජනතාවටවත් සමාජයටවත්, කරපු කෙංගෙඩියක් නැත යන හඬක් පහුගිය හවුරුදු කීපයක පටන් ජනතාවට හඬගා තෙපලන්නට, පිරිසක් පෙරට ආහ. ඔවුන් ගේ හඬට ජනයා රොක් වූහ. ප්‍රතිඵලය 1965 මැයි මස 14 වැනිදා නිර්මාණය කෙරුණු පක්ෂයක, වත්මන් නායකයා ලාංකේය රාජ්‍යයේ භාරකාරත්වයට පැමිණීම යි.
ඒ උදෙසා ඔවුන්ට හුරු පුරුදු නේකකාර නම්වලින් සමන්විත සංවිධාන අරඹා වෙස් ගැන්වීම් කරන්නට උපන් රුසියන් බව කිවමනා ය.
ජනතා විමුක්ති පෙරමුණ නමින්, රෝහණ විජේවීරයාණන් විසින් නිර්මාණය කරන ලද, සන්නද්ධ අරගල දෙකක් හවුරුදු පාළෙහක, දහසයක තරම් අතර කාලයක් ඔස්සේ කරමින් 1971 අප්‍රියල් 5 වැනිදා ඇරඹූ පළමු කැරැල්ලත් 1986 පටන් 1990 දක්වා සිව් වසරක් පුරා රටේ දකුණු කරේ වපුල භීෂණයත් නිසා මහත් ජීවිත රැසක්, රටට දැයට අහිමි වූ බව කියන්නේ දැඩි වේදනාවෙන් බර හදවතිනි.
අද පැවැත් වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කවුරුන් අතට බලය හුවමාරු වේද? ඒ ප්‍රශ්නයට උත්තරය ඇත්තේ ඡන්දදායකයින් අත ය. බහුතර ඡන්දදායකයින් විසින් ගන්නා වූ තීරණය ප්‍රකාරව මේ බිමේ අනාගතය හෙවත් ඉරණම තීන්දු වෙනවා ඇති'
ලක් රාජ්‍යයේ පාලකයින් විසින් මේ රට සංවර්ධනය කරන්නට නොයෙක් සැලසුම් සකසා ඒවා ක්‍රියාත්මක කරන්නට සංවර්ධන ව්‍යාපෘති සකස් කළ ද, එයින් සිදුවුණේ රට ඉස්සරහට නොව පස්සට නොව, නැත්තං රිවර්ස් එකට යෑම මිස වේගයෙන් ඉදිරියට ධාවනය වීම නම් නොවේ.
කවුරුන් කොහොම මොනවා කීවත් රට ආපස්සට හරවන්නට හෙවත්, අගාධයකට ඇද දැමීමේ මහා පාපකාරී පිළිවෙතට අන් සියලු දේශපාලන පක්ෂ වගකිවයුතු නම් මොවුන් ද ඊට දායක වූවේ රටේ පාලනය අසාර්ථක කැරලි දෙකකට, මව්බිම ගොදුරු කිරීමේ හේතුව නිසයි.
අද වෙන විට ශ්‍රී ලංකාව ලෝකයේ සතර අත ණය වී ඇත්තේ පාලකයින් ගේ සැලසුම් සහගත සාර්ථක ව්‍යාපෘතියක් නැතිකම නිසා ම ද? නැත. අද වන විට සිරිලක් රජයේ හිඟ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 28703. 24 ක් බව මහබැංකු වාර්තාවලින් පෙනේ.
එයින් ද මුළු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17761. 81 කි.
හිඟ මධ්‍යම රජයේ ණය (බිලියන) මුළු දේශීය ණය රුපියල් 17761. 81
එයින් භාණ්ඩාගාර බිල්පත් 3913.15 කි.
භාණ්ඩාගාර බැඳුම්කර 13064.32 කි
මුළු විදේශ ණය 10941.43 කි
අප රටක් හැටියට හිරවී සිටින්නේ මහා ගිනිකන්දක පාමුලක ය. මේ ගිනිකන්ද කොයි වෙලාවෙක හෝ යළි පුපුරා ලාවා ගලා දසැත පැතිරේ ද යන්න කියන්න දන්නේ කවුරුන් ද ?
බංකොලොත් වී අසාර්ථක රාජ්‍යයක් යැ යි නාමකරණයකට හසුවූ අප ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කරමින් දැන් පොඩි සැනසිල්ලකින් චූං එකේ හිටියාට මේ දරාගත නොහැකි අති දැවැන්ත ණය කන්ද ගෙවන්නට පටන් ගත් විට අපට යන්නට වෙන්නේ හොම්බෙන්වත් නොවේ. දෑත් දෙපා වාරු නැති ණයකාර රෝගියා ලබා ඇති අපායේ ඉන්ටවල් එකෙන් තාවකාලිකව හෝ නැඟී සිට වියහරකුන් සේ කාලවේලාවක්ශී නැතිව තමන්ට පැවරී ඇති වගකීම අකුරට ඉටු කරමින් ජාතික නිෂ්පාදන ක්‍රියාවලියක් හරහා උකටලී නොවී වැඩ කළොත් අනාගතය යහපත් වේවි. අප එසේ පොහොසත් ව ඒවා අපනයන කර කාසි පණම්වලින් සරුකර ගන්නට ලක ලෑස්ති විය යුත්තෝම වම්හ. නැතිනම් ඉතින් රටට ජනතාවට සිදුවන අවාසනාවන්ත ඛේදවාචකයේ තරම හිතා ගන්නටවත් බැරිවනවා සත්‍යයයි.
අප ලෝකයේ ඉතා සාර්ථක රාජ්‍යයක් සේ පැවති බව කියන්නට වන්නේ පැරණි අතීත ශ්‍රී විභූතිය කිය කියා පාරම්බාමිනි.
රට විනාශය කරා ඇදගෙන යන්නට අප කවුරු කවුරුත් දායක වූ බව නොකිවමනා ය. හුදෙක් පෞද්ගලික ලාභාපේක්ෂාවන් පතා අපි අප දිහා බොහොම උවමනාවෙන් උනන්දුවෙන් බලා හිටිනා පිරිසකගේ නූල් සූත්තරවලට හසුව සිටින්නෙමු.
ඉතා අවාසනාවන්ත සේ කඩා වැටුණු ආර්ථිකය නිසා මේ රටේ පැනනංගා වූ අරගලය නම් ජනතා අවදිවීම කෙරෙහි ද බැලිය යුත්තේ සැකසංකාවෙන් යුක්තව ය. මන්ද යත් අරගල කරන්නට මේ රටේ මිනිසුන් ට සවියක් වාරුවක් හයියක් නැතිව හුන්නේ තිස් වසරක කුරිරු යුද්ධයකට මුහුණ දී හෙම්බත්ව බිම වැතිර සිටිය නිසාවෙනි. ඊට ඇවැසි සියලු ගිනිගෙන විනාශය පමණක් ම ඉතුරුවන, අළු යට සැඟව තිබුණු ගිනි පුපුරු මතුවූවා නොව මතු කළෝ කෙරෙහි ද, විමසිල්ලෙන් බලා සිටිය යුතු බව අද දවසේ කවරකු බලයට පත් වුව ද ඒ වගකීම අකුරට ඉටු කරන්නට සැදී පැහැද සිටිය යුත්තේ ය.
ලෝක සිතියමේ අල්පෙනෙත්ති තුඩකටත් වඩා පුංචි මේ රටත්, මේ රටේ සකල වැස්සනුත් අකාමකා දමන්නට මාන බලන්නෝ බටහිරයන් ය. ඔවුන් අපට හඳ පෙන්වන්නේ ඇඟිල්ල දිගුකර නොවේ. හඳේ ගමන් මඟ කෙබඳු දැයි, ලාංකේය ජනසමාජය නිබඳව ම දනිතත්, ඒ දැකීම එතරම් වටින්නේ නැත. හේතුව අපේ උදවිය අපේ හයි හත්තිය කෙරෙහි තබා ඇති විශ්වාසයේ තරම අලියාට උගේ තරම නොපෙනෙන සේ දායාද ලද පුංචි ඇස් දෙකක් මුහුණ දෙපැත්තේ ඇති හින්දා වගේ ය.
අද ඔබ ගන්නා තීරණය ඉතා බුද්ධිමත්ව ගන්නට හෙළදිව නාමයෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ රට අෙප් හැර අන් කිසිවකුගේ හෝ නොවන නිසා ම විතරක් නොවේ!!!!