පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024
අඩු ආදායම් ලාභී පවුලකට මාසයකට රුපියල් 25000 ක් / මාස හයෙන් හයට රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න !
2028 දී ණය ගෙවන්න තියෙන වැඩපිළිවෙළ මොකක්ද ?
--හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ජනපති අනුර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කරයි.
වත්මන් ආණ්ඩුවේ හැසිරීම අනුව තවත් වසර එකහමාරක් යන තැන මෙරට යළිත් පෝලිම් යුගයක් ඇතිවෙන බව ඔහු කියයි.
එහිදී රට ආර්ථික අඝාධයකට වැටීමට නොදී බේරාගැනීමට නම් නොවැම්බර් 14 මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවමින් ශක්තිමත් විපක්ෂයක් ඇති කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පෙන්වා දුන්නේ ය.
නමුත් කිසිම හේතුවක් මත අනුර දිසානායක පාලනය කඩාකප්පල් කිරීම තම පාර්ශ්වයේ අපේක්ෂාව නොවන බව සඳහන් කළ ඒ මහතා වත්මන් පාලකයන් ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකිරීමට කාලය ලබාදිය යුතු බවද පැවසීය.
ඒ අනුව බලය ගැනීමට පෙර ඔවුන් පැවසූ ආකාරයට , අඩු ආදායම් ලාභී පවුලකට මාසයක් සඳහා රුපියල් 25000 ක දීමනාවක් ගෙවීම මෙන්ම රාජ්‍ය සේවකයින් ගේ වැටුප මාස හයෙන් හයට ඉහළ දැමීම ඇතුළු පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මිනිපේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .
පැවති ආණ්ඩුව ඒ ආකාරයට තවත් අවුරුදු 2-3ක් හෝ ඉදිරියට ගෙන යායුතු බව අපි අවංකව විශ්වාස කළා. මොකද රට ඒ ගෙනා ක්‍රමයට ඉදිරියට ගෙන ගියේ නැත්නම්, ඒ පැමිණි වැඩපිළිවෙළ වෙනස් කළ විට ග්‍රීසිය ඇතුළු තවත් රටවල් ගණනාවක සිදුවූ ආකාරයට කඩා වැටෙන අවධානම තිබෙනවා . ලෝකයේ රටවල් ගණනාවක එය සිදුව තිබෙනවා. එදා අපි පාට පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා ඒ ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට තීරණය කළේ එය රටට හොඳක් වන නිසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දෙන්න තීරණය කළේ ඒ නිසයි. නැත්නම් ඔබතුමන්ලා දන්නවා මම හෝ අපේ අප්පච්චි කවදාවත් රනිල් වික්‍රමසිංහ මහතා ට හෝ එක්සත් ජාතික පක්ෂයට සහාය දීලා දේශපාලනය කරලා නෑ.
අප පසුගිය ජනාධිපතිවරණය පරාජය වුණත්, අනුර දිසානායක ජනාධිපති වුණත්, මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අද ගෑස් සිලින්ඩරය කණ්ඩායමට ඔබේ ශක්තිය දෙන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම ඉල්ලන හේතුවක් තියෙනවා . මම එය පැහැදිලි කරන්නම්.
පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව අනුර දිසානායක ව ජනාධිපති කරන්න තීන්දු කළා නම් මේ නොවැම්බර් 14 ට පස්සේ ඔහුව ගෙදර යවන්න හෝ, ඔලුගෙඩි මාරු කරලා බලය ගන්න හෝ අපේක්ෂා කරන්න නරකයි. අපි එතුමට මාස 6ක් , අවුරුද්දක් එකහමාරක් ආණ්ඩුව ගෙන යන්න අවස්ථාව දිය යුතුයි . මොකද රටේ නායකයා කවුද කියලා තෝරාගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා . ඔවුන් මැතිවරණයේ දී කතිරය සටහන් කරලා ඒ අයිතිය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව වගේම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා, නගර සභා සඳහා ද තත්ත්වය එයයි.
ජනතා තීරණය වෙන සෙල්ලම් දාලා වෙනස් කිරීම ජනතාව ගේ අයිතියට කරන බලපෑමක් වෙනවා . ඒ නිසා අපි එතුමට බෑ කිව්වත් අපේ සහාය දීලා රට කරලා පෙන්නන්න කියන්න අවශ්‍යයි .
අනිත් අතට අනුර දිසානායක මහතා අවුරුදු ගණනාවක් විපක්ෂයේ ඉන්නකොට කියපු කරපු කතා ගොඩක් තියෙනවා . ජනාධිපතිවරණය අවස්ථාවේ එතුමා කියපු විදිහට ඉදිරියේදී සෑම අඩු ආදායම් පවුලකටම මාසෙකට රුපියල් 25000 බැගින් දිය යුතුව තිබෙනවා . රාජ්‍ය සේවකයන් ට මාස හයෙන් හයට වැටුප් වැඩිකිරීම කළ යුතුව තිබෙනවා . තවත් බොහෝ කතා ඔවුන් කියා තිබෙනවා . ඒ ඔවුන් කියපු දේවල් කරන්න වසරකට රුපියල් බිලියන 6800 ක් පමණ වැය වෙනවා . නමුත් රජයේ ආදායම තියෙන්නේ රුපියල් බිලියන 3800 ක් වගේ ප්‍රමාණයක් . අපි බලමු ඔවුන් මේ කියපු දේවල් කරන්නේ කොහොමද කියලා .
ඔබතුමන්ලාට මතක ඇති 2022 වසරේදී දී රටේ ආර්ථිකය බරපතළ විදිහට කඩාගෙන වැටුණා. තෙල්, ගෑස් , ඖෂධ , කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වුණා. ඔබ හම්බුකළ දෙයින් දරුවට කිරිපිටි ගෙනත් දෙන්න නැති වුණා . දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි වුණා . අතේ මුදල් තිබුණත් වැඩක් නෑ , ෆාමසියේ ඖෂධ නැති වුණා . වාහනයක් තිබුණත් වැඩක් නෑ , ඉන්ධන නැතුව ගියා.ආයෙත් මේ රට එතනට වැටෙන්න දෙන්න බෑ.
එදා 2022 වසරේ දී රට වැටුණු වෙලාවේ , රට භාරගෙන වගකීමක් ඇතුව රට යළි ගොඩගන්න වගකීම තිබුණේ එවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට. ඒ නිසා තමයි විපක්ෂය රටේ ඊළඟ ආණ්ඩුව කියලා නම් කරන්නේ . කාර්‍යාල, කාර්‍ය මණ්ඩල පවත්වාගෙන යන්න විපක්ෂ නායක ට මහජන ධනය වෙන් කර තියෙන්නේ ඒ සඳහා යි. නමුත් එදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ වගකීම ගත්තේ නෑ.
ආණ්ඩුවක් , අගමැතිවරයකු නැතුව එදා රට අරාජික වෙලා තිබියදී මේ රටේ මිලියන 22 ක ජනතාවගේ වගකීම විපක්ෂය ගත්තේ නෑ . ඒ නිසා මතක තියාගන්න යළිත් මේ රටේ තෙල් , ගෑස් , කිරිපිටි ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇවිත් , රට ආර්ථික වශයෙන් කඩා වැටුණොත් එදාටත් සජිත් ප්‍රේමදාස වගකීම ගන්නේ නෑ . එදා වගේම අපේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම තමයි ඉදිරියටත් රටේ වගකීම ගන්න ඉන්නේ . ඒ නිසා තමයි අපි ඔබතුමන්ලාට කියන්නේ මේ මහ මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායම ශක්තිමත් කරන්න කියලා .
පසුගිය සමයේ අපි ආණ්ඩුව විදිහට දිළිදු ජනතාවට අස්වැසුම දුන්නා. වැඩිහිටි දීමනා දුන්නා. පොහොර සහනාධාරය දුන්නා. ඒ ණය අරගෙන නෙවෙයි , රාජ්‍ය ආදායම් උත්පාදනය කරමින් අපි ජනතාවට සහන දුන්නා. නමුත් මේ ආණ්ඩුව මීට පෙර කිසිම ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයට ණය ගනිමින් සිටිනවා . ආදායම් වැඩි කිරීමක් පේන්නවත් නෑ .
මේ යන ආකාරයට තවත් අවුරුදු එකහමාරක් යන තැන ආයෙත් මේ රට වැටෙන අවධානම තිබෙනවා . එහිදී ආයෙත් මැතිවරණ තියෙන්න වෙන්නේ නෑ . ඒ නිසා රට වැටෙන්න නොදී ආරක්ෂා කරන්න නම් , නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේ ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවන්න ඔබතුමන්ලා කටයුතු කරන්න. 2022 වසරේ වැටුණු රට අපි ඉතාම අපහසුවෙන් ගොඩගත්තා. නමුත් ආයෙත් මේ රට වැටුණොත් ගොඩ දාන්න අවුරුදු 5 - 10 ක් , සමහර විට ඊටත් වඩා ගතවෙන්න පුළුවන් .
එවැනි තත්ත්වයක් ඇති වුණොත් , නිල් කොල රතු කියලා පාට පක්ෂ භේදයක් නෑ, සිංහල දෙමළ මුස්ලිම් භේදයක් නෑ, අපි කාටත් පෝලිම් වල දුක් විඳින්න වෙනවා. රට එතනට වැටෙන්න ඉඩ දෙන්න බෑ. ඔබතුමන්ලා හිතන්න මේ රටේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ 3% කට අඩු පිරිසක් විසින්. ඔවුන්ට ඒ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න නොහැකිව වසා දැම්මොත් අපේ රටේ රැකියා කීයක් අහිමි වෙනවාද ? දැනටමත් කලා උපාධිධාරීන් කීයක් රැකියා නොමැතිව ඉන්නවාද ?
දැන් බංග්ලාදේශයේ තිබෙන තත්ත්වය දෙස බලන්න . අර "රැට්ටලා බැට්ටලා " වගේ පිරිසක් එහෙත් අරගල කරලා දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? පාර්ලිමේන්තුව වහලා . ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙදර යන්න කියලා. කර්මාන්ත ශාලා පමණක් මේ වෙනකොට 286 ක් වහලා . ඔබතුමන්ලාට මතක ඇති , අපිට අමාරු වෙලාවේ බංග්ලාදේශය අපිට ඩොලර් මිලියන 200 ක් ණයට දුන්නා. නමුත් අද ඔවුන් ඩොලර් බිලියන 6 - 7 ක් ඉල්ලගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහට ගිහින් තියෙනවා . සම්පූර්ණයෙන් ඒ රට අසාර්ථක රටක් වෙලා. කොහෙන්ද ගෙනාපු නායකයෙකුට රට භාරදුන්නත් ඔහුත් අසමත් වෙලා.
දැන් බලන්න මේ රටේ හිටපු ජනතා නියෝජිතයන් සියලු දෙනා හොරු , දූෂිතයන් කියලා හංවඩු ගහලා තියෙනවා . නමුත් ඔබතුමන්ලා කල්පනා කරලා බලන්න 1970 වගේ වෙනකොට මේ රටේ විදුලි බලය තිබුණේ ජනතාවගෙන් 8% කට විතරයි . නමුත් අද 99.9 % කට විදුලි බලය තියෙනවා . කවුද විදුලි බලය වැඩි කළේ. ලෝකයේ මරණ අනුපාතය අඩු රටක් ලෙස මේ රට තියෙනවා . කවුද එතනට මේ රට ගේන්න තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක වුණේ. අවුරුදු 76 ක් මොනවත් කරලා නෑ කිව්වට, එහෙනම් මේ කරලා තියෙන්නේ කවුද ?
නමුත් අපිට චෝදනා කරන අය මොනවද කළේ ? ඔවුන් රට හදන්න කියලා 1971දී රට ගිනි තිබ්බා. 88-89 දී ආයෙත් ගිනි තිබ්බා. අනිත් අතට LTTE සංවිධානය යුද්ධයක් කළා. මේ උදවිය නෙවෙයි ද රට වැනසුවේ ? ඔවුන් සිදුකළ විනාශය ඩොලර් බිලියන 250යි. නමුත් මේ රටේ ණය බර ඩොලර් බිලියන 71 යි. දැන් කවුද රට විනාශ කරලා තියෙන්නේ ?
රට හදන්න කියමින් ඔවුන් කළ ඒ විනාශය නොවෙන්න අද මේ රට හොඳ තැනක තියෙනවා . රට හදන්න කියලා ඔය විනාශ නොකර පැත්තකට වෙලා හිටියා නම් මේ රට අද මීට වඩා ඉතා හොඳ තත්ත්වයක තියෙනවා .
ඔබතුමන්ලා මතක තියාගන්න , අද යන්තම් කීයක් හරි හොයාගෙන කාලා හිටියට 2028 වසරේ සිට අපිට මේ ආකාරයට කන්න වගේම ණය ගෙවන්නත් ආරම්භ කරන්න තියෙනවා . ඒ ගෙවන ණය ප්‍රමාණය 2031 වන විට දෙගුණයක් පමණ වැඩි වෙනවා . දැන් කොහොමද ආණ්ඩුව ඒ තත්ත්වයට රට ගේන්නේ ? ඒ සඳහා ආණ්ඩුවට තියෙන වැඩපිළිවෙළ මොකක්ද ? ඒ නිසා තමයි අපි කියන්නේ මේ රට අමාරුම අවස්ථාවේ භාරගෙන ගොඩදැමීම සිදුකළ ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් ජයග්‍රහණය කරවා ශක්තිමත් විපක්ෂයක් මේ නොවැම්බර් 14 මහ මැතිවරණයේ දී හදන්න ඔබතුමන්ලා ගේ සහාය දෙන්න කියලා .
අපි දන්නවා මිනිපේ ජනතාව කවදත් අපිට ශක්තියක් දුන්නා. අපි මිනිපේ ජනතාවට වැඩක් කර තියෙනවා . මිනිපේ ප්‍රදේශය මහවැලි කළාපයක් කළා. මට මහවැලි යේ වගකීම ලැබුණ විට කළ දේවල් නිසා අද මම නැතත් ඔබ එහි වරප්‍රසාද භුක්ති විඳිනවා. එහිදී රුපියල් බිලියනයක මුදලක් වෙන් කළා. වාර්මාර්ග වගකීම දරන විට මිනිපේ ප්‍රධාන වැව් 13න් 9 කට මිලියන 80ක ප්‍රතිපාදන වෙන් කරලා මේ ප්‍රදේශයේ ගොවි සමිති වෙත ලැබීමට සැලැස්සුවා. අපි ඉදිරියටත් ලැබෙන සෑම අවස්ථාවකදීම ඒ වගකීම ඉටු කරනවා. ඉතිහාසයේ කටයුතු කළ ආකාරයට මෙවර මැතිවරණයේ දී ද මිනිපේ ජනතාව අපට සහාය දී ශක්තියක් වනු ඇති බව මම විශ්වාස කරනවා.