ජගත් ගේ සතියේ සටහන - 93
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මුදල් ඇමති වශයෙන් දෙවන වරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන වසර සඳහා රජයේ අය වැය සිකුරාදා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
1947 සිට මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 80 වැනි අයවැය ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා.
ආර්ථික අස්ථාවර භාවයක් යළිත්, ඇතිවීමට ඉඩ නොතබන බවත්, ආර්ථික අර්බුදයට පෙර පැවති තත්වයට 2025 වසර අවසාන වනවිට රට ගෙන එනබවත් 2026 අයවැය කතාව කරමින් පැවසූ ජනාධිපතිවරයා අයවැයෙන් රටට හා ජනතාවට ලැබෙන සහන ගැන දීර්ඝ විස්තරයක් කළා.
ජනාධිපතිවරයාගේ කතාවේ ප්‍රධාන කරුණු ගණනාවක් මෙසේ ය.
⋆ රාජ්‍ය සේවයට අලුතින් 75000 ක් බඳවා ගැනේ.
⋆ රාජ්‍ය සේවයේ දිගු කලක සිට සේවය කරන අනියම් සේවකයින් 9800 කගේ සේවය ස්ථිර කෙරේ.
⋆ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 110 ක් වෙන් කෙරේ.
⋆ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට.
⋆ දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන් ගේ දීමනා රුපියල් 1500 කින් ඉහළට.
⋆ සරසවි සිසුන් ගේ මහපොළ හා විද්‍යා පීඨ සිසු මාසික දීමනාව රුපියල් 2500 කින් වැඩි කෙරේ.
⋆ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට අන්තර්ජාල පාවිච්චිය සඳහා වවුචරයක්.
⋆ මන්ත්‍රීධූරය දරණ කාලය තුළ පාවිච්චියට නැවත භාරදීමේ පදනම මත කැබ් රථයක්.
⋆ විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා නිවාස ණය.
⋆ ප්‍රවාහනය දියුණු කිරීම සඳහා ලංගමයට නව බස් රථ 600 ක් සහ දුම්රිය බලවේග කට්ටල 5 ක් ලබා දීමට පියවර.
⋆ මූලික රෝහල් දියුණු කිරීමට රුපියල් මිලියන 31000 ක්
⋆ අඩු ආදායම්ලාභීන්ට නව නිවාස 27000 ක්.
⋆ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට රුපියල් 5000 ක අධ්‍යාපන ආධාර.
⋆ ගොවියන්ට ණය දෙන්නට නව අරමුදලක්.
⋆ මත්ද්‍රව්‍ය පාලන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1500 ක් වෙන් කෙරේ.
විනිමය අනුපාතික ශක්තිමත් කර ගනිමින් උද්ධමනය ධන අගයකට රැගෙන ඒමට ජාතික ජන බලවේග ආණ්ඩුව වසරක් තුළ දී කටයුතු කරැති බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආර්ථිකයේ විනය නිවැරදිව පවත්වා ගනිමින් මෙම කාලය තුළ කටයුතු කළ අතර දූෂණයට හා වංචාවට තිත තබමින් මුල්‍ය පාරදෘෂ්‍ය භාවයකින් කටයුතු කිරීමේ වාසිය මේ වන විට රටට ලැබෙමින් පවත්නා බවත් කියා සිටියා.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැයට ප්‍රහාර එල්ල කිරීමට සමගි ජන බලවේගය සූදානම් වුණේ පසුගිය සතියේ සිට යි. මේ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා සමගි ජන බලවේගය විසින් පසුගිය බදාදා කොළඹ දී වැඩ මුළුවක් ද සංවිධානය කොට තිබුණා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සංවිධානය කොට තිබූ මෙම වැඩ මුළුවේ දී මහාචාර්ය සිරිමල් අබේරත්න, අර්ජුන පරාක්‍රම, ආර්ථික විශ්ලේෂක ධනනාත් ෆ්‍රනාන්දු යන මහත්වරුන් දේශකයින් වශයෙන් සහභාගි වී සිටියා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එයින් අයවැයට සිදුවන බලපෑම් ගැන මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඉන්දියාවේ සංචාරයක් සඳහා ගොස් සිටින බැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම වැඩ මුළුවට සහභාගි වී නැහැ.
එසේ වුවද අයවැය කතාව පැවති සිකුරාදා සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. අයවැය කතාවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ නායකයා ''මේ ආණ්ඩුවට කිසිම හිතක් පපුවක් නැහැ දුප්පත්කම වැඩි වීම ගැන විසඳුමක් දෙන්න, මේ ආණ්ඩුවට බැරිවෙලා. බඩු මිල අඩුකරන්න බැරි ආණ්ඩුවක්. එදිනෙදා වේල පිරිමහගන්න බැරි දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහපාරේ සිටින මොහොතක ඔවුන් වෙනුවෙන් යම්කිසි ක්‍රමානුකූල වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්න මේ ආණ්ඩුවට හිතෙන්නෙ නැත්තේ ඇයි දැ" යි ප්‍රශ්න කළා.
"මේ අයවැයේ වියදම් යෝජනා 62 ක් තිබුණා. එයින් සංවර්ධන යෝජනා තියෙන්නේ 13 යි. එය රාජ්‍ය වියදමෙන් 2. 7% ක්. අයවැය කතාවේ දී ජනාධිපතිවරයා මහ ගොඩක් කිව්වා. ඔහු කතාවට දක්ෂයි. හැබැයි 80% ක් සිදු නොවන දේවල් තමයි කිව්වේ" යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අයවැය ගැන අදහස් දක්වමින් පැවසුවා.
සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අයවැය ගැන පැවසුවේ ආර්ථිකය වර්ධනය කරන කිසිම දෙයක් අයවැය කතාවේ සඳහන් නොවූ බවයි. 2027 සිට දේපොළ බද්දක් ක්‍රියාත්මක වන නමුත් මෙවර අයවැයේ ඒ ගැන කිසිදු සඳහනක් නොතිබු බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළා. 
කෙසේ වුව ද ජනාධිපතිවරයා කලින් කියූ පරිදි මෙවර අයවැයෙන් බදු වැඩි කරලා නැහැ. ඒ ගැන ව්‍යාපාරික ප්‍රජාව සතුටින් සිටින බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනී යනවා.
ඒත් මේ අයවැය යථාර්ථයක් වේ ද? සුරංගනා කතාවලට සීමා වේවිද යන්න තීරණය කිරීම කාලයාට භාරවනු ඇති.
සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාවක් අනුව පසුගිය සතියේ ඉන්දියාවේ සංචාරයක නියැළුණා.

නිල සංචාරයකට ගිය සජිත්ට මෝදි දකින්නවත් නෑ
මෙම සංචාරයේ දී ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජෙයෂකර්, මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන්, ආරක්ෂක උපදේශක අජිත්දොවාල්, කථානායකවරයා සහ වාණිජ මණ්ඩල ප්‍රධානීන් ද, දේශපාලන නායකයින් ද හමුවුණා.
තම ආණ්ඩුවක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන බවත්, ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සහයෝගය දෙන බවත්, සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ එන්. ඩී. ටී. වී. නාලිකාව සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළා.
මෙම චාරිකාවේ විශේෂත්වය වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට අවස්ථාවක් නොලැබීම යි. සජිත් ප්‍රේමදාස මහතා ගේ ඉන්දීය ගමන නිල සංචාරයක් ලෙස ඔහුට හිතවත් මාධ්‍ය මඟින් හඳුන්වනු ලැබුවා. නිල සංචාරයක් නම් ඉන්දීය අගමැතිවරයා හමු නොවූයේ ඇයි ද යන්න දේශපාලන විචාරකයින් ප්‍රශ්න කරනවා. සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ ගත කළ කාලය තුළ ඉන්දීය අගමැතිවරයා රට තුළ ම සිටි අතර ඔහු හමුවීමට ප්‍රේමදාස මහතා ගේ සංචාරයට ඇතුළු කොට නොතිබු බවයි වර්තා වෙන්නේ.
සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවට ගියේ ඔහුගේ සමීපතමයකු වන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා සහ තවත් දෙදෙනකු සමඟයි. මෙම සංචාරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු හෝ දෙන්නකු ඇතුළත් කර නොගැනීම ගැන එම පක්ෂයේ ප්‍රධානීන් අතර කසුකුසුවක් පවතින බව ද දැනගන්නට තිබෙනවා.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මාධ්‍ය පවසන්නේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ හොඳින් අධ්‍යයනය කොට මීළඟට ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වන පුද්ගලයා ලෙස සළකා ප්‍රේමදාස මහතාට ඉන්දීය රජය විසින් ආරාධනා කළ බවයි.
ජාජබයට බලය ඇතත් බජට් ෆේල්

පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ සභාපතිත්වය දැරූ ප්‍රාදේශීය සභා දෙකක අයවැය පළමුවර කියැවීමේ දී පරාජය වී තිබුණා. ඒ කොළොන්න හා සොරණාතොට ප්‍රාදේශීය සභා දෙක යි.
මේ ප්‍රාදේශීය සභා දෙකේ ම ජාතික ජන බලවේගය බලයේ සිටියත්, ඔවුන්ට තනි බලයක් තිබී නැහැ. ජාතික ජන බලවේගයට මන්ත්‍රීන් 9 ක් ද, ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීන් 10 ක් ද සිටි නමුත් සභාපති රහස් ඡන්දයෙන් පත් කිරීමේ දී ජාතික ජන බලවේගයට බලය හිමිවුණා.
එහෙත් නොවැම්බර් 06 වැනිදා පැවති එම ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවරට ඉදිරිපත් කිරීමේ ඡන්ද විමසීමේ දී ඡන්ද 3 කින් ජාතික ජන බලවේගය පරාජය වී තිබෙනවා.
සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ද තත්වය එයයි. එහි වැඩි බලය විපක්ෂයට යි තිබුණේ. එහෙත් සභාපති පත් කිරීමේ දී ජාතික ජන බලවේගයෙන් සභාපති පත්වුණා.
නොවැම්බර් 07 දා පැවති අයවැය පිළිබඳ ඡන්දයේ දී ඡන්ද තුනකින් පැරදී තිබෙන්නේ මන්ත්‍රීන් තිදෙනෙක් ඡන්දය දීමට නොපැමිණි නිසයි.
තනි බලයක් නැතිව ජාතික ජන බලවේගය පාලනය කරන තවත් පළාත් පාලන ආයතන රාශිකය ද ඉදිරියේ මෙවැනි තත්වයන් උද්ගතවීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා.
කොළොන්න සහ සොරණාතොට ප්‍රාදේශීය සභාවල ජාතික ජන බලවේගය පරාජය වීමට හේතුව ඒවායේ සිටින සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජනබලය, පොදුජන එක්සත් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන් එක්ව ජාතික ජන බලවේගයට විරුද්ධව ඡන්ය දීම නිසා බවයි දැනගන්නට තිබෙන්නේ.
