උණුසුම් පුවත්දේශපාලන

අනුර ගේ කැනඩාවේ වැන්කුවර් හි ජන හමුව

අපි මේ රට ගොඩනැඟීමේ ව්යාපාරය පටන් ගනිමු

 

''රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි" -  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 

ශ්‍රී ලංකාවෙන් දුරබැහැර සුරක්ෂිත ජීවිතයක් ගත කරන ඔබ මෙතනට සහභාගි වීමෙන් පෙන්නුම් කරන්නේ අප කෙරෙහි තිබෙන විශ්වාසයයි. මා ඔබට පළමුකොට සහතිකයක් දෙනවා, ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවෙන්න ඉඩ නොදෙන බව. අපේ රටේ කිසිදු පුරවැසියෙක් තවදුරටත් රැවටීමට හෝ පසුතැවීමකට භාජනය කරන්න අපට අයිතියක් නැහැ. ඔබ ඉදිරිපිට තිබෙන කරුණු ඔබ ඉදිරිපිට දෙන සහතිකයන් අනිවාර්ය ලෙස ආරක්ෂා කරන්න අපට යුක්තිසහගත සාධාරණ අයිතියක්, වගකීමක් තිබෙනවා. එය ආරක්ෂා කිරීම සඳහා අප බැඳී සිටිනවා. අපේ රට වෙනස් කරන්න වගේම අපේ රටේ ජීවත් වෙන ජනතාවට හොඳ ජීවිතයක් ලබා දෙන්න ඔබට අවශ්‍යයි. අනාගත දරුවන්ට හොඳ ජීවිතයක් උරුම කර දිය යුතුයි. එම උරුම කර දිමේ වගකීම පැවරෙන්නේ ආරම්භක වශයෙන් කරනු ලබන දේශපාලන වෙනසකින්. අපේ රටත් ජනතාවත් මේ ඉරණමට ඇද දමන ලැබුවේ අපේ රටේ දේශපාලන අධිකාරිය විසිනුයි. අපේ රට ගොඩනැගීමේ පළමු පියවර වන්නේ මේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමයි. ඒ වෙනුවට නව ජනතාවාදී දේශපාලන අධිකාරියක් ස්ථාපිත කිරීම තමයි ආරම්භය.
අද අපේ රටේ ජනතාව ඇතිවී තිබෙන සියලු ප්‍රශ්න ඉවසාගෙන දරාගෙන ඉන්නේ එළඹෙන ජාතික මැතිවරණයකදී පාඩමක් උගන්වන්නම්, තීන්දුවක් ගන්නම් කියන අදහසිනුයි. හෙට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රකාශයක් කළොත් ඡන්දයක් තියන්නේ නැහැ කියලා, පසුවදා රනිල් ගෙදර. ජනතාව මේ සියල්ල දරාගෙන ඉන්නේ ජාතික මැතිවරණයක් එන තෙක්. ඒ නිසා අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ජනාධිපතිවරණයක් නොපවත්වා හමුදා සහ දේශපාලන නායකත්වයේ අධිකාරියෙන් ආණ්ඩුව පවත්වාගෙන යනවා නම් ඒක කුමන්ත්‍රණ ආණ්ඩුවක්. අපේ රටේ පොලීසිය, හමුදාව, රාජ්‍ය පරිපාලනය මේ කිසිදු ආයතනයක් කුමන්ත්‍රණකාරී ආණ්ඩුවකට ඉඩ නොදෙන බව සහතිකයි. ඒ නිසා ඡන්දය පැවැත්වෙනවා. දැන් අපට තිබෙන්නේ ඡන්දෙදි මොකද කරන්නේ කියා කතා කරන්න. විදෙස්ගතව ඉන්න ඔබට, ශ්‍රී ලංකාවේ ඉන්න ඔබේ මිතුරන්ට ඥාතීන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්.

මෑතකදී රාජ්‍ය බුද්ධි සේවය විසින් ආණ්ඩුවට වාර්තාවක් ලබා දුන්නා. එම වාර්තාවේ ජාතික ජන බලවේගයේ වර්ධනය පිළිබඳව කරුණු දෙකක් සැලකිල්ලට භාජනය කරන බව පවසා තිබෙනවා. පළමු කරුණ තමයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ජාතික ජන බලවේගය වටා ඒකාරාශී වෙමින් මේ නැගෙමින් එන ප්‍රබෝධය අනතුරක් ලෙස සලකන්න කියා ආණ්ඩුවට කියා සිටියා. දෙවැනි කරුණ තමයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය වටා, විශ්‍රාමික නාවුක හමුදාවේ, ගුවන් හමුදාවේ, යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සොල්දාදුවන් පොදි බැඳගෙන එකතුවීම අනතුරක් විදිහට ඔවුන් දකිනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ නැගීසිටීම සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ නැගී සිටීම ජාතික ජන බලවේගය ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා යන ගමන වැළැක්වීම සඳහා ප්‍රධානම බාධාව බව ආණ්ඩුවට ඉදිරිපත් කරමින් කියනවා. එළඹෙන මැතිවරණයේදී, ආණ්ඩු තීරණය කිරීමේ බලයේදී ඔබගේ තිබෙන හයිය අපටත් වඩා හොඳින් ඔවුන් දන්නවා. සමහර විට ඔබට ඡන්ද බලය නොතිබෙන්න පුළුවන්. හැබැයි ඔබගේ හඬ, ඔබගේ අවදිවීම, ඔබගේ පෙනී සිටීම, කතා කිරීම ශ්‍රී ලංකාව තුළ ප්‍රබලතම ජනතා බලයක් නිර්මාණය කරනවා. ඔබ කැනඩාවේ ජීවත් වෙමින් ඔබගේ මිතුරන්ට, ඥාතීන්ට, මේ පණිවිඩය දෙනවා නම්, සමාජ මාධ්‍ය ඇතුලේ ඔබගේ හඬ, ඔබගේ මතය ප්‍රකාශයට පත්කරනවා නම් එය ඡන්දය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා. හැබැයි මැතිවරණ සමය ආසන්නයේදී ලංකාවට ඇවිදින් ඔබ සක්‍රීයව මැදිහත් වෙන්න සූදානම් නම්, මේ ප්‍රවාහය නතර කරන්න කිසිකෙනෙකුට බැරි බව අපි දන්නවා. මේ පරිවර්තනය කිරීම සඳහා ඔබ අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කර ගනිමින් දූෂිත, ප්‍රභූ තන්ත්‍රය පරාජය කර මේ අත්වී තිබෙන ඉරණමෙන් අපේ රට මුදා ගැනීමට එකතු වන ලෙස අපි ඔබට ආරාධනා කරනවා.

අපි මේ රට ගොඩනැගීමේ ව්‍යායාමය පටන් ගනිමු. අපෙන් අසන පළමුවැනි ප්‍රශ්නය තමයි, ඕගොල්ලන්ට මේ රට ගොඩනැගීම සඳහා කණ්ඩායමක් ඉන්නවාද? මේ රට ගොඩනැගීම සඳහා ඒ ඒ විෂයයන් මෙහෙයවීම සඳහා, ඒ විෂයයන් පිළිබඳ අත්දැකීමක්, හැදෑරීමක් තිබෙන කණ්ඩායමක් සිටිය යුතුයි. සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව නිපුණතාවය තිබෙන, හැකියාව තිබෙන කණ්ඩායම් අප සතුව ඉන්නවා. පොතපතෙහි ඉගෙන ගත් අය පමණක් නොවෙයි, විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි ලබාගත් අය පමණක් නොවෙයි, කෘෂිකර්මාන්තයේ නම් ගොවි ජනතාවත් එක්ක ගැටගැහෙමින් ඒ ජීවිත අත්විඳපු මිනිස්සු ඉන්නවා. අපි ඔබට සහතික වෙන්නම්, ලංකාවේ මෙතෙක් ගොඩනැගුණු ඒ විෂයන් පිළිබඳ නිපුණතාවය තිබෙන, දක්ෂතාවය තිබෙන අයගෙන් අපි කැබිනට් මණ්ඩලය හදනවා. ඒක ලංකාවේ හොඳම කැබිනට් මණ්ඩලය බවට පත්වෙනවා. කැබිනට් අමාත්‍යවරයා සාමූහික ක්‍රියාදාමයක යෙදෙන ක්‍රමවේදයක් අපි හදනවා. අපේ කැබිනට් මණ්ඩලයේ ඕනෑම අමාත්‍යවරයෙක් දන්න දේවල් තියෙන්න පුළුවන්. නොදන්න දේවල් තිබෙන්න පුළුවන්. අපි මිනිස්සු.

මිනිස් ශිෂ්ටාචාරය ඉස්සරහට යන්නේ කොහොමද? මිනිස් ශිෂ්ටාචාරය මෙතනට ඇවිත් තිබෙන්නේ තනි තනි මිනිසාගේ මහා විස්කම් නිසා නොවෙයි. මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ සාමූහිකත්වය මත. ලෝකය ඉස්සරහට යන්නේ සාමූහිකත්ව මතයි. අපි ගොඩනගන්නේ එවැනි වර්ගයේ පාලනයක්. කෘෂිකර්ම අමාත්‍යවරයා නම්, ඔහුට ඉතාමත් ශක්තිමත් උපදේශ මණ්ඩලයක් සිටිය යුතුයි. බීජ පිළිබඳ, පස පිළිබඳ, නව බෝග පිළිබඳ, වෙළඳපොළ පිළිබඳ වැනි එක් එක් අංශ පිළිබඳ පර්යේෂණ කළ අත්දැකීම් තිබෙන කණ්ඩායමක් ඉන්න ඕනෑ. එවිට තමයි ගන්න තීරණ සෑම පැත්තකින්ම කිරාමැන බලා සුදුසු තීරණ ගත හැකිවන්නේ. එවැනි ව්‍යුහයක් අපි ස්ථාපිත කරනවා. සෑම අමාත්‍යාංශයකටම පැවරෙන විෂයයන් පිළිබඳ පුළුල් අත්දැකීම් සහ දැනුමක් තිබෙන කණ්ඩායම්වලින් මණ්ඩලයක් ගොඩනැගෙනවා. ඒ මණ්ඩලය තමයි අමාත්‍යවරයාට තීන්දුවක් ගැනීම සඳහා අවශ්‍ය වෙන සාකච්ඡාව කරදෙනු ලබන්නේ. ඒ මණ්ඩලයෙන් පරිබාහිරව වැදගත් තීන්දු ගන්න ඕනෑම කෙනෙකුට ඒ තීන්දුව ගැන අදහස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය සභාවන් අපි නිර්මාණය කරන්න ඕනෑ. මේ රට අර්බුදයෙන් ගොඩ එන්න නම් සාමූහික මැදිහත්වීමක්, සාමූහික ක්‍රියාකාරිත්වයක් අවශ්‍යයි. ඒ විතරක් නොවෙයි, ඒ හැම දෙනාම අවංක, අදූෂිත, මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා ධෛර්යය සම්පන්න මිනිස්සු වෙන්න ඕනෑ. මග දාලා යන, අත්හැර යන මිනිසුන් බවට පත්වෙලා වැඩක් නැහැ. අභියෝගයක් තිබෙනවා, ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා වුවමනාව, කැපකිරීම සහිත මිනිස්සු සමුදායක් මේ රට වෙනස් කිරීම සඳහා මැදිහත් වෙයි කියා අපි සිතනවා.

අපෙන් අහනවා, ඕගොල්ලන්ට විදෙස් සබඳතා නැහැනේ, සුද්දෝ අඳුරන්නේ නැහැනේ කියලා. විදෙස් සබඳතා යනු රාජ්‍යයන් රාජ්‍යයන් අතර තිබෙන සබඳතාවයන්. යාළුකම්වලට ලෝකෙ සලකන්නේ නැහැ. අපේ රටට මෑත කාලයේ ශක්තිමත් සබඳතා තිබුණේ නැහැ. අපේ රටේ නායකයන්ව විදෙස් සමාගම් විසින් මිලදී ගත්තා. එහෙම මිලදී ගත්තේ නැතිනම් හම්බන්තොට වරායක් ඇතිවෙන්නේ නැහැ. අපේ ජාතික සැලැස්මේ හම්බන්තොට වරාය තිබෙන්නේ ටිකක් යටින්. ජාතික සැලැස්මේ උඩින් තියෙන්න ඕනෙ තෙල් පිරිපහදුව. අපේ තෙල් පිරිපහදුව ආරම්භ කළේ 1969දී. මීට අවුරුදු 55කට කලින් අරඹපු තෙල් පිරිපහදුවෙන් තමයි අපි අදටත් තෙල් පිරිපහදු කරන්නේ. එදා අපේ අවශ්‍යතාවයට සරිලන ධාරිතාවක් ඒකේ තිබුණා. අද 1969 ධාරිතාව හතර ගුණයකින් වැඩිවෙලා තිබෙනවා. නමුත් තෙල් පිරිපහදුවේ ධාරිතාව වැඩිවුණේ නැහැ. අවුරුදු 55ක් යනකොට තෙල් පිරිපහදු තාක්ෂණය දියුණු වෙලා තිබෙනවා. වැඩිපුර හැදෙන්නේ නැප්තා. ඉරානයෙන් එන ඔයිල් පමණයි අපට පිරිපහදු කරන්න පුළුවන්.

බලශක්තිය අපේ රටේ ප්‍රධාන ගැටලුවක්. තෙල් මිල ඉහළ යාම, තෙල් මිලදී ගැනීම, තෙල් සඳහා ඩොලර් ගලාගෙන යාම, මේ අනුව බලශක්තිය ප්‍රධාන අර්බුදයක්. ඒ නිසා අපේ ආර්ථික සැලැස්මක උඩින්ම එන්න තිබුණේ, තෙල් පිරිපහදුව. 2017 කරපු ශක්‍යතා අධ්‍යයනයක් තිබෙනවා. පිරිපහදුවට වියදම ඩොලර් බිලිනය එකයි. හම්බන්තොට වරායට වියදම ඩොලර් බිලයන 1.3යි. පිරිපහදුව යට ගිහින් වරාය උඩට එන්නේ ඇයි? චීන භූ දේශපාලන වුවමනාවට අපේ නායකයන් උපයෝගී කරගත්තේ කොහොමද? සල්ලි. මම පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂට කීවා, “ඔයාට චීන සමාගම් සල්ලි දීපු චෙක්පත්වල අංක මා ගාව තිබෙනවා කියලා”. මහින්ද රාජපක්ෂ මහත්මයා “හ්ම්.. හ්ම්..” කීවුවා. මම කියන්න උත්සාහ කළේ අපට ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් තිබුණේ නැති බව. අපි එකක් ඔබට සහතික කර කියන්නම්, අපිව මිලදී ගන්න බැහැ කාටවත්. අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ, එය අපේ රටට එය මොනතරම් ප්‍රමාණයකට වාසිද නැද්ද, කියන සාධකය මත.

ලෝකය වෙනස් වී තිබෙනවා. 90ට පෙර ලෝකය දෙපලු වුණු ලෝකයක්. 90න් පස්සේ සමාජවාදී කඳවුර බිඳ වැටුණාට පස්සේ ඇමෙරිකාව ප්‍රමුඛ කොටගෙන ඒක ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගෙන්න පටන් ගත්තා. 2000 අවසන් වෙන කොට ලෝකයේ තවත් බල කේන්ද්‍ර ගොඩක් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඉන්දියාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය, යුරෝපා හවුල වැනි කේන්ද්‍ර ගණනාවක ලෝකයක් දැන් තිබෙන්නේ. වර්තමාන ලෝක බල තුලනයේදී අපේ රට පිහිටා තිබෙන තැන ඉතා වැදගත්. ඒ නිසා තමයි හැම යුගයකම බලවත් වෙන රාජ්‍යයන් අපේ රට ආක්‍රමණය කළේ. මේ පිහිටීම හරි සැලැස්මක් එක්ක රටේ ප්‍රගමනය සඳහා උපයෝගී කර ගන්න පුළුවන්. අපට ඉතාමත් ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ලෝකයේ ඇතිවී තිබෙන බල ගැටුමට හසුනොවෙන, ශ්‍රී ලංකා භූමිය යුද පිටියක් බවට පත්නොවෙන, විදෙස් ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. සරලව ගත්තොත් චීන ඉන්දියා ගැටුමේ කේන්ද්‍රය බවට ලංකාව පත්නොවිය යුතුයි. අපේ රටේ විදෙස් සබඳතා පිළිබඳ දැනුම තිබෙන රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරීන් කැමැත්තෙන් සහයෝගය දීමට ඉදිරිපත්වී සිටිනවා.

නව ආර්ථික දිශානතියකට, අපි ගමන් කරමින් තිබෙන ආර්ථික පාරෙන් නව ආර්ථික පාරකට යොමු කිරීම සඳහා නව සැලැස්මක් එක්ක අපි වැඩ කරමින් තිබෙනවා. අපට බලය ලබාගැනීම සඳහා සැලසුමක් තිබෙනවා. බලය හසුරුවන්නේ කවුද කියා සැලසුමක් තිබෙනවා. හසුරුවා කරන්නේ කුමක්ද කියා සැලසුමක් තිබෙනවා. අපි පොර බදලා මහන්සි වෙලා වැඩ කරමු. ඔබ ජීවිතයේ විවිධ අභියෝගවලට, දුෂ්කරතාවලට මුහුණ දී ධෛර්යයෙන් ජයගෙන තිබෙනවා. ඔබ මේ ජීවිතය අත්පත් කර ගෙන තිබෙන්නේ විශාල අභියෝගයන් මැදයි. ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය වැයකොට වැඩකර තිබෙනවා. මේ මාස හය හත ඒ ධෛර්යයෙන් යුතුවම අපේ රට වෙනස් කිරීම සඳහා මැදිහත්වන ලෙස ඔබ සැමට ආරාධනා කරනවා.

පාස්කු ප්‍රහාරයට අදාළ සාධාරණත්වය ඉල්ලීම පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්...

පාස්කු ප්‍රහාරය පිළිබඳ අලුත් පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය නැහැ. ප්‍රහාරයේ කරන ලද පරීක්ෂණවලින් මතුවී තිබෙන ගැටලු කිහිපයක් තිබෙනවා. සහරාන්ලගේ පළමු ප්‍රහාරය වුණේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කොට අවි ආයුධ පැහැර ගැනීම. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරගෙන යනකොට, ඊට දවසකට පස්සේ ඒ පොලිස් නිලධාරීන් ඝාතනය කරපු මුරපොළ ආසන්නයේ බෝක්කුවක් යට ජැකට් එකක් තිබුණා. පොලිස් සුනඛයන් දාලා මේ ජැකට් පිටුපස්සේ ගෙනිච්චා. ඒක ආනන්දන් කියලා හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකුගේ නිවසක් හමුවුණා. ඔක්තෝබර් මාසේ 28 වගේ සිදුවුණු නිසා, එම පරීක්ෂණය යොමු වෙන්න පටන් ගත්තා එල්.ටී.ටී.ඊ. එකට යොමු කරන ලද ප්‍රහාරයක් බවට ගෙතුවා. පරීක්ෂණයෙන් හෙළිවෙන්න ඕනෙ කවුද ඒ ජැකට් එක දැම්මේ. සහරාන්ගේ දිසාවට පරීක්ෂණය යොමු වෙනවා වෙනුවට, වෙන දිසාවකට යොමු කළේ කවුද? පළමු ප්‍රශ්නය එයයි.

තාජ් සමූද්‍රා හෝටලයේ පුපුරවා ගන්න ආව ජමීල් නැමැති පුද්ගලයා, එය පුපුරවා ගන්නේ නැතිව දෙහිවල ප්‍රදේශයේ ලැගුම් හලකට යනවා. ලැගුම්හලේ බෑග් තියලා ආසන්නයේ වූ පල්ලියට එනවා. මෙයාගේ හැසිරීම නිසා කට්ටිය කලබල වෙනවා. පල්ලිය මුරකළ විශ්‍රාමික පොලිස් නිලධරයා මොහුව ප්‍රශ්න කරනවා. ඔහුගේ හැඳුනුම්පත දී ඔහු යනවා. මුරකරු ජමීල්ගේ බිරිඳට කෝල් එකක් ගන්නවා. බිරිඳ පිළිගන්නවා ඔහු තමන්ගේ මහත්තයා බවට. එතකොට මෙයාව යවනවා. ගිහින් එයා හෝටලයේදී පුපුරවා ගන්නවා. ඊට මොහොතකට කලින් අර මුරකරුගේ දුරකථනයට කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නේ ජමීල්ගේ ගෙදරට බුද්ධි අංශ නිලධාරීන් ගිහින් තිබෙනවා. එතකොට පුපුරවා ගැනීමට පෙර බුද්ධි අංශ නිලධාරීන් ජමීල්ගේ ගෙදර ගියේ. ඒක දෙවැනි ප්‍රශ්නයයි.

තුන්වෙනි ප්‍රශ්නය මේ ප්‍රහාරය අයි.එස්.එස්. ආරම්භයේදී බාර ගත්තේ නැහැ. ඒ ගොල්ලෝ දිවුරුමක් දෙන්න ඕනෑ. ඒ දිවුරුම දුන්නේ නැහැ කියලා, ඒගොල්ලෝ බාර ගත්තේ නැහැ. මාතලේ සිටියා පොඩි සහරාන් නැමැත්තෙක්. එයා මැලේසියාවේ ඉන්න කෙනෙකුට කතා කරලා කියනවා, මේක බාරගන්න කියලා. බාර ගන්නේ නැහැ. ඊට පස්සේ දිවුරුමක් දෙන ඡායාරූපයක් ඒගොල්ලෝ ප්‍රසිද්ධියට පත්කරනවා. ඡායාරූප ප්‍රසිද්ධියට ප්‍රකාශයට පත්කළාට පස්සේ ප්‍රහාරය ඒගොල්ලන්ගේ කියලා බාර ගන්නවා. අර පොඩි සහරාන්ට දුරකථන ඇමතුමෙන් කතා කරලා කියලා තිබෙනවා, මේක අයි.එස්.එස්. ප්‍රහාරයක් කියලා බාර ගන්න කියලා බල කරන්න කියලා. අන්න ඒ කිවුවේ කවුද? ඒ කවුද යන්න වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා.

මේ තොරතුරු අප්‍රේල් 4 එනවා. අප්‍රේල් 8 එනවා, අප්‍රේල් 16 එනවා. අප්‍රේල් 21 ප්‍රහාරය දවසේ උදේ හතට එනවා, ගහන්නේ පල්ලිවලට සහ හෝටල්වලට කියලා. මේ තොරතුරු ඉතාම සමීපතම තැනකින් තමයි එන්න ඕනෑ. ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ආවේ නැහැ. බත්තරමුල්ල ප්‍රදේශයේ කඩයකින් සපත්තු සහ බෑග් මිලදී ගන්නවා, ඒ තොරතුරු ආවා නම් ප්‍රහාරකයට කලින් අත්අඩංගුවට ගන්න පුළුවන්. පානදුර ප්‍රදේශයේ නිවසක් බදු කුලියට ගන්නවා. පානදුර ප්‍රදේශයේ ලැගුම්හලකට ගිහිල්ලා මරාගෙන මැරෙන බෝම්බ සූදානම් කරනවා. ඒ තොරතුරු ආවා නම් ප්‍රහාරයට කලින් අත්අඩංගුවට ගත හැකි වෙනවා. පුපුරන ද්‍රව්‍ය සකස් කරන්නේ පානදුර නිවසකදී. උදේ හතට ගහනවා කියන තොරතුරු එනවා නම් ඇයි අර තොරතුරු එන්නේ නැත්තේ. පරීක්ෂා කරන්න ඕනෑ. ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් තොරතුරු සඟවා ප්‍රහාරය වෙන්න ඉඩදී තොරතුරු එව්වාද? මේක හතරවෙනි ප්‍රශ්නය. මේකත් පරීක්ෂා කරන්න ඕනෑ. මේ තොරතුරු හෙව්වොත් ප්‍රහාරකයන් කවුද කියා සොයා ගත හැකියි.

දැන් මෛත්‍රීපාල සිරිසේන කිවුවා එයා කවුද කියලා දන්නවා කියලා. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා. ඔහු මාස 17ක් ප්‍රහාරයන් පස්සේ බලයේ සිටියා. ජනතාව ජන වරමකින් ආරක්ෂාව පිළිබඳ වගකීම ඔහුට බාරදී තිබුණා. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලක්ෂ 100ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුව දුන්නේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන වගකීම අත්හැරීම පිළිබඳව ඔහු වරදකරුවෙක්. ඔහු දැන් කියනවා “මම දන්නවා” කියලා. “මට ජීවිත තර්ජනයක් එයි” එයාගෙ ජීවිතේ විතරද ජීවිතේ. ජීවිතවලින් තුවාලකරුවන්ගෙන් විතරක් නොවෙයි අපරාධය මනින්න පුළුවන්. ඒ අපරාධය විසින් සමාජයක් දෙකඩ වුණා. මුස්ලිම් ජනතාවට පාරට බහින්න නොහැකි වුණා. ඒ නිසා එයාව ප්‍රශ්න කරන්නත් ඕනෑ.

ඔබ අපෙන් සාධාරණය ඉල්ලුවා. මේ පිළිබඳව පරීක්ෂණ කරලා, නිසි වැරදිකරුවන් අධිකරණය හමුවට පමුණුවන බවට අපි ඔබට සහතික වෙනවා.