උණුසුම් පුවත්දේශපාලන

අපට අවශ්‍ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි

ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි

 

 

අපට නැති කළ අභිමානය ගොඩනඟා ජනතාවට සතුටින් සිටිය හැකි රටක් බිහි කිරීම සඳහා ජනතාවට වග වෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන්න ඕනෑ. අපේ රටේ ජනගහනයෙන් ශක්තිමත්ම බලවේගය වන කාන්තාවන් එකතු කර නොගෙන රට ගොඩනඟන්න බැහැ. තේ, රබර් වතුවල වැඩ කරන්නෙත්, ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සහ මැදපෙරදිග ගෘහසේවයේ යෙදී සිටින්නෙත් කාන්තාවන්. ඔවුන් රටට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා දෙනවා. හේනේ, කුඹුරේ වැඩ කරමින්, ගෙදර සියලු කටයුතු කරන්නෙත් කාන්තාවන්. ජාතික ජන බලවේගය කාන්තාවන් වේදිකාවේ සැරැසිල්ලක් ලෙස නොව රට දිනවීමට ඔවුන්ගේ ශක්තිය එකතු කර ගනිමින් සිටිනවා. කාන්තාවන් ලෙස ඔබ ඡන්දය පාවිච්චි කර ගොඩනඟන ආණ්ඩුවක රට හැදීමේ කටයුතුවලට ධෛර්යයෙන් මැදිහත් වෙන අධිෂ්ඨානයෙන් පෙරට එන්න ඕනෑ.

මීට ටික කලකට කලින් මහින්ද රාජපක්‍ෂත් එක්ක හිටපු කණ්ඩායම ඩලස් අලහප්පෙරුමත් එක්ක ගිහින් එයින් කොටසක් ඊයේ පෙරේදා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ගියා. ඒ අය ඔය පුටුවලින් නැඟිටලා, රනිල් වික්‍රමසිංහ එක්ක යයිද කියලා කියන්නත් බැහැ. ඔය එහෙට මෙහෙට පනින කිසිම අවස්ථාවාදියෙක් ජාතික ජන බලවේගයට ගන්නේ නැහැ. ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙත් මේ දවස්වල ගිනිකෙළි. චන්ද්‍රිකා කුමාරතුංග නඩුවක් දාලා මෛත්‍රීපාල සිරිසේනගේ පක්‍ෂ සභාපතිත්වය තහනම් කළා. අපි සියලු දෙනා රටේ බලය ගන්න උත්සාහ කරන අතර, ඒ ගොල්ලෝ පක්‍ෂයේ බලය අල්ලන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුමලාගේ පිරිස ගත්ත එක්ක තිස්ස අත්තනායක දන්නේ කලින් දවසේලු. ඒවා අවස්ථාවාදී රංචුගැසීම් මිස පක්‍ෂ නොවෙයි. ජනතාව දැනුවත් කරමින්, ඒකරාශී කරන පක්‍ෂ එකයි තියෙන්නේ, ඒ ජාතික ජන බලවේගය පමණයි. ලංකාවේ දැවැන්තම මහජන ව්‍යාපාරය එයයි.

මේ දවස්වල තරගයට බඩු බෙදන්න පටන්ගෙන තිබෙනවා. මේ දක්වා ඡන්ද කාලයේදී ඒ ගොල්ලෝ අපායේ ඉන්ටවල් වාගේ ජනතාවට සැලැකුවේ. මේ පාරත් අපායේ ඉන්ටවල් අරගෙන රැවටෙන්න බැහැ. දැන් අපි උපාය දන්නවා, ඒ නිසා අපායේ වැටෙන්නේ නැහැ. ඡන්දේ එන නිසා පාසල් ළමුන්ට දිවා ආහාර වැඩසටහනක් පටන්ගෙන ජනාධිපති ගිහින් බත් බෙදන්නත් පටන්ගෙන තිබෙනවා. අපේ රටේ දරුවෝ උදේට කන්න නැතිව ඉස්කෝලෙට ඇවිත් කලන්තේ දාලා වැටුණා. ඒ දරුවන්ට බත් ටිකක් දෙන්න අපේ රටේ ගුරුවර, ගුරුවරියෝ ඉතිහාසයේ පළමු වතාවට බත් බැංකුවක් හැදුවා. අවුරුදු ගාණක් තිස්සේ කන්න නැතිව හිටි දරුවෝ ගැන කවුරුත් බැලුවේ නැති බව අම්මා, තාත්තා දන්නවා. දැන් අපට ඕනෑ ඡන්ද කාලෙට ඇවිත්, බත් හැන්දක් බෙදන ජනාධිපති කෙනෙක් නොවෙයි, රට හදලා, දරුවන්ට තුන්වේල කාලා ඉන්න හැකි ආර්ථිකයක් ගොඩනඟන පාලනයක්. එහෙම ජනාධිපති කෙනෙක් සහ පාලනයක් පිහිටුවන්න හැකියාව තියෙන්නේ, ජාතික ජන බලවේගයට පමණයි. රනිල් වික්‍රමසිංහ පරණ ක්‍රමයට හාල් බෙදලාත් ඡන්ද ගන්න බලනවා. රනිල් එක්ක තරගයට හාල් බෙදන්න සජිත් ප්‍රේමදාසත් ඇවිත් ඉන්නවා. සජිත් ප්‍රේමදාස අපව කොපි කරලා කාන්තා සමුළු තියන්න පටන් ගත්තා. මුලින් තියපු සමුළුවලට කාන්තාවන් ආවේ නැති නිසා හාල් මලු ගොඩ කරලා, පේන්න තියලා, කාන්තාවන් ගෙන්වා ගන්න උත්සාහ කළා. ඔවුන් බඩු බෙදීමෙන් දේශපාලනය කරන සංස්කෘතිය මෙවර අපි වෙනස් කරන්න ඕනෑ, ජනතාවගේ හෘදය සාක්‍ෂියේ ඡන්දය කිසිම භාණ්ඩයකට හුවමාරු නොකරන පාලනයක් පිහිටු වන බව අපි සහතික කරලා කියමු. හාල් කිලෝ දහයකට, පහළොවකට ආත්මය පාවා දෙන මිනිසුන් නොවන බව අපි ඔප්පු කර පෙන්වන්න ඕනෑ.

මේ දක්වා රට දුප්පත් කර ඒ දුප්පත් ජනතාවට හාල් කිලෝ පහක් දීලා ඡන්දය ගන්න උගුලක් අටවලා තියෙන්නේ. ජනතාවගෙන් කොල්ලකා ගොඩ ගහ ගත් ධනය ටිකක් යොදවා කාන්තාවන්ට සිල්රෙදිත්, පිරිමින්ට අරක්කුත් බෙදන ක්‍රමයකින් බලය අරගෙන ඊට පස්සේ ජනතාවගේ ධනය කොල්ලකනවා. ඡන්දයක් කිට්ටු වුණාම ඒ ධනයෙන් කොටසක් යොදවලා, නැවත බලය ගන්න විෂම චක්‍රයකට ගෙන යන සූදුව නවත්වන්න ඕනෑ. ලබන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයෙන් ඒ ගොල්ලන්ගේ බල සූදුව අපි අවසන් කරනවා. රනිල් වික්‍රමසිංහගේත්, මේ ආණ්ඩුවේත්, මේ ක්‍රමයේත් කල් ඉකුත් වීමේ දිනය දැන් ගහලා ඉවරයි. ඔක්තෝබර් පහ හෝ දොළොස් වැනි සෙනසුරාදා මේ ක්‍රමයේ කල් ඉකුත් වෙනවා. කල් ඉකුත්වූ සියලු දෙනා පැත්තකට දා අලුත් රටක් හදන්න හැකියාව තිබෙන පාලනයක් අප බිහි කරනවා. ත්‍රිකුණාමලයට තිබුණු විශාලතම සම්පත කන්තලේ සීනි කම්හල. ඒක වහලා දාලා සීනි පිටරටින් ගේනවා. මේ කර්මාන්ත නැවත ගොඩනඟා මහජන සහභාගිත්වය සහිත නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෑ, ඇමැති මණ්ඩලයකට විතරක් තනිවම ආර්ථිකයක් හදන්න බැහැ. ඒකට මහජනතාවත් ඕනෑ. ඒ මහජනතාවට සාධාරණ ප්‍රතිලාභ ලැබෙන්නත් ඕනෑ. සජිත් ප්‍රේමදාසගේ ආර්ථික කණ්ඩායමේ ඉන්න එරාන් වික්‍රමරත්න රටේ දේපළ විකුණන්න ඕනෑ බව කියනවා. සජිත් ප්‍රේමදාස ළඟ ඉන්න ආර්ථික ඔස්තාද් කෙනෙක් වන එරාන් වික්‍රමරත්න කියන්නේ මැදපෙරදිග තෙල් විකුණනවා වාගේ අපත් සම්පත් විකුණන්න ඕනෑ කියලා. මැදපෙරදිග තෙල් විකුණනවා මිස තෙල් නිධිය විකුණන්නේ නැති බව එයා දන්නේ නැහැ. අපේ රටේ කිරි ගොවිපොළවලට අයිති අක්කර තිස්අටදාහක් විකුණන්න යනවා. අප කරන්නේ මේ කිරි ගොවිපොළවලින් කිරි නිෂ්පාදනය කරලා කිරි විකුණන එකයි.

                                                                                                           පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය

කාලයක් තිස්සේ අපට ප්‍රතිපත්ති නැහැ කියලා කෑගැහැව්වා. ප්‍රතිපත්ති තියෙනවා කියලා, අවුරුදු 76ක් තිස්සේ රට පාලනය කළ අය රට බංකොළොත් කරලා අපේ ප්‍රතිපත්ති කොහිද කියලා අහනවා. සතියෙන් සතියට අලුත් මාතෘකා ගෙනැවිත් පුස් වෙඩි වාගේ විනාශ වෙලා යනවා. අලුත්ම මාතෘකාව විවාදයකට එන්නලු. විවාද කරන්න අපි සූදානම්. ඒකට පිළිවෙළක්, කලාවක් තියෙනවා. ඉස්සර වෙලාම එන්නේ ජනාධිපතිවරණය. මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැති අය විවාද කරලා තේරුමක් නැහැ. අපි අපේ අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නම්. ඒ ගොල්ලන්ට ඕනෑ නම්, සජිත් ප්‍රේමදාසත්, රනිල් වික්‍රමසිංහත් ගෙනැල්ලා ජනතාව ඉදිරියේ විවාදයක් තියමු. ඒක කීවාම මුහුණ දෙන්න බැරිව යට යනවා. ඔය විවාද මාතෘකාව ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයාව යට යවන්න ඇතුළෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් හැටියටද කියලත් මම හිතනවා. මාධ්‍යවේදීන් අනුර සහෝදරයාව ප්‍රශ්න කරන විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්න කරනවා ඔබ දැක තිබෙනවාද? මාධ්‍යවේදීන් තුන්හතර දෙනා එකතු වී ප්‍රහාර එල්ල කරමින්, අනුර සහෝදරයාව ප්‍රශ්න කරනවා. සජිත් ප්‍රේමදාසව කවදාවත් එහෙම ප්‍රශ්න කරලා නැහැ. එහෙම තියෙද්දී, ඔහුගේම පක්‍ෂයේ අය ගෙන ආ විවාදය නිසා සජිත් ප්‍රේමදාසටත් ඒ ගැන කතා කරන්න සිදුවී තිබෙනවා. සමගි ජන බලවේගය කීවාට අපට කියන්න වෙන්නේ අසමගි බලවේගය කියලා. ඔවුන්ගේ නායකයාට ඔවුන් හරස් වෙනවාද කියලා මට නම සැකයි. ඒ විදියට නායකයාව අමාරුවේ දාන්න අවශ්‍ය නැහැ. ඕක සමහර විට රනිල් වික්‍රමසිංහගේ සැලැසුමක්ද දන්නෙත් නැහැ, සජිත් ප්‍රේමදාසව අමාරුවේ දාන්න. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඕනෑම කුමන්ත්‍රණයක් කර බලයේ ඉන්න සිතුවිල්ල විතරයි.

ගැහැනු අපි බලාගෙන හිටියා හොඳටෝම ඇති. අපි සියලු දෙනා එකතු වී ඉන්නේ රට හදන අරමුණින්. ඒ වෙනුවෙන් පැහැදිලි සැලැසුමක් තියෙනවා. අපි සියලු දෙනාම එකඟ වී ප්‍රතිපත්ති හදන මූලධර්ම තිබෙනවා. අපි ඉතාමත් ක්‍රමානුකූලව, එකමුතුව සාමුහික හැඟීමකින්, සාමුහික අරමුණකින් සියලු දෙනාගේම ජීවිත යහපත් කරන්න ක්‍රියා කරනවා. අපේ ශක්තිය ඒක. ඒ වෙනුවෙන් ඉවසන්න තව ටිකයි දිනයි තිබෙන්නේ. අපි මේ ගමන නවත්වන්නේ සියලු දෙනාටම සතුටෙන ජීවත් විය හැකි රටක් හැදීමෙන් පමණයි. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙමු. ගැහැනු අපි එකමිටට. ජයවේවා!