ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

අපි සුබදායී දෙය අපේක්ෂා කරමු – නරකම දේට සූදානම් වෙමු

මැදපෙරදිග පවතින යුද තත්වය නිසා අපිට ක්ෂණික බලපෑම් එල්ල වන ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා ජනපති අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි

යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන්  කැප වනු ඇතැ’යි අපි විශ්වාස කරනවා. අපි සුබදායී දෙය අපේක්ෂා කරනවා - නරකම දේට සූදානම් වෙනවා.  යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ'යි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසී ය.                      

මෙම තත්ත්වය ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් ඉතා අහිතකර ලෙස බලපෑ හැකි තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයක් ලෙස සුබදායී දෙය අපේක්ෂා කරන අතරම - නරකම දෙයට සූදානම් වන බවද ප්‍රකාශ කළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙවන් අර්බුද සඳහා දිගුකාලීනව මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කරන අතරම ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් අර්බුදයට මුහුණදීම සඳහා අවශ්‍ය කෙටිකාලීන විසඳුම් රජය සකස් කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පවතින ඉන්ධන ගබඩා පහසුකම්වලට අනුරූප වන පරිදි ඉතා හොඳ ඉන්ධන කළමනාකරණයක රජය කටයුතු කරමින් සිටි බවත්, බලශක්ති ක්ෂේත්‍රය සහ ඉන්ධන සැපයුම පිළිබඳ රජයට සැලැස්මක් තිබෙන බවත් මෙහිදී පැවසූ ජනාධිපතිවරයා  1979 න් පසු ගෙවුණු වසර 47 පුරා කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ තෙල් පිරිපහදුවේ ධාරිතාව 100% කින් ඉහළ නැංවීමේ වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

කොළොන්නාවේ අලුතින් මෙට්ට්‍රික් ටොන් 86,000 ක ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම, මුතුරාජවෙල ඉදි කෙරෙන නව ගබඩා සංකීර්ණයේ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 40,000 ක් දක්වා ඉහළ නැංවීම, පළමු අදියර යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි 04ක් ප්‍රතිසංස්කරණය සහ ඒ හා සමානව මුහුදේ සිට නළ පද්ධතියක් එළීම, කොළොන්නාවේ සිට වරාය දක්වා දිවෙන වසර 90 ක් පැරණි නළ මාර්ගය වෙනුවට අඟල් 14 සහ අඟල් 18 නළ මාර්ග දෙකක් එළීම, කොළොන්නාවේ සිට කැලණිතිස්ස දක්වා දිවෙන වසර 90 ක් පැරණි නැප්තා නළ පද්ධතිය ප්‍රතිසංස්කරණය ඇතුළුව බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ආසන්න වශයෙන් බිලියන 30 කට අධික මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම, ගෑස් සම්බන්ධව මතුව ඇති ගැටලුවටද කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

එසේම මතුව ඇති තත්ත්වය හමුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදුවන ගැටලු, සංචාරක, අපනයන, නාවුක සහ ගුවන්සේවා ක්ෂේත්‍රවලට එල්ල විය හැකි බලපෑම හමුවේ මතු වන අභියෝගවලට මුහුණදීම සඳහා රජය සකස් කර තිබෙන සැලසුම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී  කළ සම්පුර්ණ කතාව

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ මේ මොහොතේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය  ශ්‍රී ලංකාවේ අපිට සමාජයීය සහ ආර්ථික වශයෙන් බලපාන අන්දම පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කරනවා.

ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නැහැ. ඒ වගේම තාක්ෂණික සහ යුදමය වශයෙන් ඉතාමත් විශාල අවි නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොනතරම් විනාශකාරීද යන්න පිළිබඳ අපි කාටත් අවබෝධයක් ලබා ගත හැකියි. ඒ නිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ මෙම යුද්ධයට සම්බන්ධ වූ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින්ම සාමය වෙනුවෙන් අවශ්‍ය වන කැපවීම සහ මඟපෙන්වීම කළ යුතු බවයි.

මොකද, මෙය ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් විශාල බලපෑමක් සහ තර්ජනයක් ඇති විය හැකි තත්ත්වයක්. ශ්‍රී ලංකාවට තනිව සහ හුදෙකලා ලෙස එයින් ගැලවීමට හැකියාවක් නැහැ. අපි රටක් ලෙස මීට මුහුණදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගන්නා අතරතුර, ජාත්‍යන්තර වශයෙන් මීට මුහුණ දිය හැක්කේ අප අතර තිබෙන සාමකාමී ලෝකයක් පිළිබඳ කැපවීමෙන් පමණයි කියා අපි විශ්වාස කරනවා.

මැදපෙරදිග ඇති වී තිබෙන මෙම යුද තත්ත්වය හේතුවෙන් රටක් ලෙස අපිට ක්ෂණික බලපෑම් එල්ල වන ක්ෂේත්‍ර කිහිපයක් තිබෙනවා. ඉන් එකක් වන්නේ අපේ බලශක්ති සැපයුම වන තෙල් සහ ගෑස්. දෙවනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ජීවත් වෙනවා. ඔවුන් පිළිබඳව මතුවන ගැටලුව. ඒ වගේම අපේ ආර්ථිකයේ විශාල පංගුවක් නියෝජනය වන සංචාරක කර්මාන්තය සහ විදෙස්ගත ප්‍රේෂණ. ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් නාවික සේවා සැපයුම මත ගැට ගැසී තිබෙනවා. ඒ නාවික සේවා සඳහා කෙරෙන බලපෑම. ඒ වගේම ගුවන් සේවා සඳහා කරන බලපෑම. මේ ආදී ක්ෂණිකව ක්ෂේත්‍ර ගණනාවක බලපෑමකට අපි මුහුණ දෙනවා.

රජයක් ලෙස මෙම අර්බුදය මුහුණ දීම සඳහා දිගුකාලීනව ගත හැකි පියවර මෙන්ම  ජනතාව මෙමගින් අර්බුදයට පත් නොවී, රටක් ලෙස මෙම අර්බුදයේ ගිලෙන්නේ නැතිව එය සමනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩසටහනක් අපිට අවශ්‍යයි.

එහිදී මම දන්නවා අපේ ජනතාව යම් ප්‍රමාණයකට කලබල වෙන එකේ වරදක් නැහැ. ඒ පිළිබඳ කිසිදු පුරවැසියෙකුට චෝදනා එල්ල කර වැඩක් නැහැ. මොකද අපේ ජනතාවට ඉතාමත් අමිහිරි අතීතයකට මුහුණ දුන්නා.  ඒ අතීතය තවමත් ඔවුන්ගේ සිත් තුළ හොල්මන් කරනවා. ගෑස්, තෙල් හිඟවීම නිසා පෝලිම්වල සති ගණන් ගත කිරීම සහ පෝලිම්වල මිය යාමේ ඛේදවාචකයකට මීට වසර දෙක තුනකට පෙර අපේ රටේ ජනතාව මුහුණ දුන්නා. ඒ නිසා ‘ගිනි  පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ මෙවන් කුඩා චලනයකටත් අපේ සමාජය තැති ගැනීමකට ලක් වෙනවා. එය අපිට පිළිගත හැකියි.

හැබැයි අපිට වාක්‍යවලින්, කරුණුවලින් පමණක් සමාජය ස්ථාවරභාවයට ගේන්න බැහැ. සමාජය ස්ථාවරභාවයට ගෙන ආ හැකි වන්නේ ප්‍රායෝගිකව ඔවුන් අර්බුදයකට මුහුණ නොදෙන බවට සහතික කිරීමෙන් පමණයි.

මොකද අතීතයේ මාධ්‍ය ප්‍රකාශකවරු, කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා කළ ප්‍රකාශවල අසත්‍ය බව පැයක්, දෙකක් යන විට හෙළිදරව් වුණා. ඒ නිසා  හැම විටම මෙවන් කුඩා පුවතකින් තැති ගැනීමකට ලක් වන, අස්ථාවරත්වයන් පිළිබඳ මතයක් නිර්මාණය වන සමාජයක් අප හමුවේ තිබෙන්නේ.

අපි තවමත් ආර්ථිකය ශක්තිමත් ලෙස ස්ථාවරභාවයට පත් කර නැහැ. අපේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්කර ගනිමින්, අපේ සංචිත ශක්තිමත් කර ගනිමින් නිෂ්පාදන, ආයෝජන කැඳවා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කර ගනිමින් සිටින මොහොතක්. ඒ ගමන අතරතුර තමයි මෙම සිදුවීම අපිට බලපෑම් ඇති කරන්නේ. අපි දන්නවා අපි මේ අවුරුද්දකට ආසන්න කාලය තුළ මෙවැනි සිදුවීම් කිහිපයකට මුහුණ දුන්නා.

අපි බලයට පත්වු විගසම මේ කලාපයේ ගැටුමක් පිළිබද සාකච්ඡාවක් මතු වුණා. ඒ අවස්ථාවේදීත් මේ වගේම තැති ගැනීමක් ආවා. එහෙත් කෙටි කාලයත් තුළ එය සමනය කර ගැනීමට හැකි වුණා. ඒ වගේම එක්සත් ජනපදය තමන්ගේම ආර්ථික උපායමාර්ගයක් අනුව පනවන ලද බදු නිසා මේ පාර්ලිමේන්තුවේදීත්, පාර්ලිමේන්තුව පිටතදීත් විශාල සාකච්ඡාවක් ඇති වුණා රට අනතුරකට මුහුණ දෙයි කියලා. එයත් සමනය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. ඒ වගේම දිට්වා සුළි කුණාටුව අපේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළා. එහෙත් මාස 03 ක් ගත වන විට එය සැලකිය යුතු ප්‍රමාණයකින් සමනය කර ගනිමින් රට සහ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. ඒ නිසා හැමවිටම අභියෝගවලදී ඒ අභියෝග සාර්ථකව සමනය කරගත් මෑතකාලීන ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒ සියල්ල හා සංසන්ධනය කර බලන විට අපි මේ තත්ත්වය විග්‍රහ කර ගත හැකියි. එහෙත් මෙම යුද තත්ත්වය මොනතරම් දුරට වර්ධනය වෙයිද කියන එක පිළිබඳ අපි කාටත් තිබෙන්නේ අවිනිශ්චිත ස්වභාවයක්. එය අපි අවබෝධ කරගත යුතුයි.

ඒ නිසා නිරන්තරයෙන් ඇති වෙමින් තිබෙන වර්ධනයන් පිළිබඳ අපි සැලකිල්ලට භාජනය කරමින් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ තිබෙන තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කර අපේ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳ සමාලෝචන වාර්තාවක් අද සවස හෝ හෙට පෙරවරුවේ ලබා දෙනවා. එමගින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිවන බලපෑම පිළිබඳ අපිට යම් විවරණයක් ලබා ගත හැකියි.

මුදල් අමාත්‍යාංශය ජන ජීවිතය පවත්වාගෙන යාමේදී සහ ආර්ථිකයට එල්ලවන බලපෑම් පිළිබඳ උපකල්පනය කර ඒවාට අවශ්‍ය වන වාර්තාවක් සකස් කරමින් තිබෙනවා. ඒ වගේම විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අපේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට සිදු වන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය න්‍යාය පත්‍රයක් සකස් කර ඊට අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සහ පහසුකම් සැපයීමේ වගකීම ආණ්ඩුවක් ලෙස අපි භාර ගත යුතුයි. අර්බුදයෙන් තනි තනි පුද්ගලයන් ලෙස මිදීමට තිබෙන වැඩ කොටස ඉතා සීමිතයි. තනි කෙනෙකුට පුළුවන් පෝලිමේ ගිහින් තෙල් ටිකක් අරගෙන යන්න. හැබැයි සමස්ත අර්බුදයේ විසඳුම් තනි තනි පුද්ගලයන් අතේ නැහැ. සමස්ත අර්බුදයේ විසඳුම් මාවත සෙවීමේදී ප්‍රධාන වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තුවේ අපි හැම දෙනාටම අත් හැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ වගේම අපේ රටේ පුරවැසියන්ටත් යම් සැලකිය යුතු වගකීමක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එක් අරමුණක් සහ වැඩපිළිවෙළක් සහිතව මීට මුහුණ දිය යුතුයි කියන එකයි අපේ යෝජනාව.

අපිට ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ මාස දෙක, තුන අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ප්‍රමාණවත් ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. අපේ ගබඩාවල සිදුවන්නේ ඒ ළඟ නැව එන විට ඒ නැවේ තිබෙන තෙල් ගබඩා කර ගැනීමට හැකි වන ලෙස ගබඩා හිස් කර ගැනීමයි. ඒ නිසා ආසන්න වශයෙන් ගත් විට ත්‍රිකුණාමලයේ තිබෙන IOC ගබඩා ටික අතහැරියහොත් කොළොන්නාව සහ මුතුරාජවෙල මුළු ගබඩා සංකීර්ණයේ ධාරිතාව තිබෙන්නේ එක්ලක්ෂ පනස්දහසක් පමණයි. හැබැයි අපිට එක්ලක්ෂ පනස්දහසම තියාගෙන ඉන්න බැහැ. ඒ නිසා නැව් එන පිළිවෙළට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් සමඟ තමයි අපි කටයුතු කරන්නේ. ඒ අනුව ගත් විට එක්ලක්ෂ පනස්දහසෙන්, එක්ලක්ෂ තුන්දහසක් ගබඩා පිරි තිබුණා. ඒ වගේම අපේ දෛනික පිරිපහදුවෙන් මෙට්ට්‍රික් ටොන් 1800 ක් සපයනවා. ඒ සඳහා අපි ගබඩා පහසුකම්  සකස්කරගත යුතුයි. ඒ නිසා මම හිතන්නේ මේ තිබෙන ගබඩාවලට අනුරූප වන පරිදි සැලැස්මක අපි හිටියා. දත්ත බලමින්, දිනපතා අවශ්‍යතා බලමින්, නැව් එන දින බලමින්, අපේ පිරිපහදුවේ නිෂ්පාදනය වන තෙල් ප්‍රමාණය බලමින් ඉතා හොඳ කළමනාකරණයක අපි සිටියා.

ඒ අනුව අපිට දින 33 කට අවශ්‍ය වන ඩීසල් ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි ඒ වගේම පෙට්‍රල් ගත්විට, පෙට්‍රල්වල මුළු ගබඩා ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 161,087 යි. එයින් මේ අර්බුදය මතුවන විට 136,270 ක ගබඩා ධාරිතාවක් තිබුණා. කවුරු හරි කියනවා නම් මෙය මුළුමනින්ම තියාගන්න තිබුණා කියලා. එහෙම කරන්න බැහැ. ආරක්ෂක ගබඩා කිරීම් සඳහා අපිට පහසුකම් තිබුණා නම්, මෙහෙයුම් සඳහා වෙනම ගබඩා සංකීර්ණයක් පවත්වාගෙන යන්න පුළුවන්. අපිට කවදාවත් ආරක්ෂිත තොගයක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම දෛනිකව ක්‍රියාකාරිත්වයේ යෙදෙන ගබඩා සහ අවශ්‍ය ආරක්ෂිත සංචිත එකම ගබඩාවක තිබෙන්නේ. ඒ නිසා මෙය හොඳින් කළමනාකරණය කර ගත යුතුව තිබෙනවා. අපි එය කරනවා. ඒ නිසා ඕනෑම අර්බුදයකදී අපට තබා ගත හැකි උපරිම ප්‍රමාණයක් අපි මේ මොහොතේ රඳවා ගෙන තිබුණා. ඒ නිසා තමයි දින 33 කට සරිලන ඩීසල් තොගයක් අපිට තබා ගැනීමට හැකිව තිබෙන්නේ. ඒ වගේම පෙට්‍රල් ගත්තත් දින 28 කට අවශ්‍ය වන ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම 07 හෝ 08 යන දිනවල මෙට්ට්‍රික් ටොන් 35,000 ක තවත් පෙට්‍රල් නැවක් ඒමට නියමිතව තිබෙනවා. ඒ අනුව දින 40 කට ප්‍රමාණවත් පෙට්‍රල් ගබඩා සංචිතයක් අපි ළඟ තිබෙනවා.

අපිට අවශ්‍ය විදිහට නැව් ගේන්න බැහැ. අපේ ගබඩා හිස් වන ප්‍රමාණයට තෙල් ඇණැවුම් කළ යුතුයි. ඒ නිසා ඇයි නැව් ගෙනාවේ නැත්තේ කියන කරුණු කිසිදු තර්කයක් නොමැකි කරුණු. ඉතාමත් විද්‍යාත්මක ගබඩා පද්ධති කළමනාකරණයක අපි නිරතවෙමින් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන් පෙට්‍රල් දින 40 ක අවශ්‍ය පරිදි ගබඩා වී තිබෙනවා. ඒ වගේම ගුවන් යානාවලට ඉන්ධන සැපයුම ගත් විට අපේ දෛනික අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 1800 ක් පමණ. අපේ පිරිපහදුවෙන් මෙට්ට්‍රික් ටොන් 1080 ක් හදනවා. ඉතිරි ටික තමයි ආනයනය කරන්නේ.

ඒ අනුව දින 49 කට ගුවන් යානා ඉන්ධන සැපයුම අපිට තිබෙනවා. ඒ වගේම මේ ගබඩාවල හිස් වන ධාර්තාව අනුව අවශ්‍ය ඉන්ධන නැව් ගෙන්වීමේ කාලසටහනක් තිබෙනවා. අපිට කිසිම නැවක් ගෙන්න ගන්න බැරි වෙයි කියලා හිතුවොත් තමයි මේ තත්ත්වය. හැබැයි අපි දැනට නැව් ටික පෙළගස්වා තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් RM පාර්ක් කියන සමාගමෙන් 14 වන දා නැවක් එනවා. සිනෝපැක් එකෙන් 17 වන දා නැවක් එනවා. ඒ වගේම IOC එකෙන් 21 වන දා සහ 28 වනදා  තෙල් සංස්ථවේ නැවක් එනවා. මේ නැව් සියල්ල පිළිබඳ තහවුරු කිරීමේ එකඟතා ලබා දී තිබෙනවා. අපි ඒ යාන්ත්‍රණය සකස් කර තිබෙනවා.

ඒ වගේම තෙල් පිරිපහදුවට බොරතෙල් අවශ්‍යයි. දැන් තිබෙන බොරතෙල් ප්‍රමණය දින 26 කට ප්‍රමාණවත් වෙනවා. එහෙත් අපි තවත් නැවක් ගේනවා. ඒ නැව දින 18 කට ප්‍රමාණවත් වෙනවා. ඒ නැව දැන් මුහුදේ එමින් තිබෙන නැවක්. එවිට දින 44 කට කිසිම නැවක් ආවේ  නැතත් අපේ පිරිපහදුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ඇණැවුම් කර තිබෙන  නැව් එනවා. ඒ වගේම පිරිපහදුව ක්‍රියාත්මක කිරීමටත්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන සංචිත සකස් කර තිබෙනවා. ඒ අනුව මේ තිබෙන තත්ත්වය මත ඉන්ධනවල කිසිදු අර්බුදයක් මතුවන්නේ නැහැ. එහෙත් යුද්ධය වර්ධනය වුවහොත් එයට අපි මුහුණ දිය යුතුයි. ඒ නිසා අපි යථාර්ථවාදී විය යුතුයි. මේ ප්‍රශ්නය මේ අන්දමට තිබෙන තාක් පිළිතුරු තිබෙනවා. හැබැයි මේ ප්‍රශ්නය වර්ධනය වෙනවාද, නැද්ද යන්න තීරණය කරන්නේ අපි නෙවෙයි. ප්‍රශ්නය උපකල්පනය කරමින් අපි සැලසුම් සකස් කරනවා. එය තමයි ආණ්ඩුවක වගකීම.

හැබැයි මම මෙහිදී සිහිපත් කළයුතුයි මේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නය දිගුකාලීන ප්‍රශ්නයක්. කොළොන්නාවේ අලුතින් මෙට්ට්‍රික් ටොන් 86,000 ක ගබඩා සංකීර්ණයක වැඩකටයුතු කරමින් තිබෙනවා. අලුතින් ටැංකි 06 හදන්න වගේම, තිබුණු ටැංකි දෙකකුත් කපලා අලුත් ටැංකි 08 ක් හදනවා. එම කටයුතු 2028 දී අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ටැංකි 06 සඳහා වියදම බිලියන 2.32 ක් සහ අනිත් ටැංකි දෙකට බිලියන 1.45 ක් වෙනවා. ඒ අන්දමින් බිලියන 05 කට ආසන්න ප්‍රමාණයකින් කොළොන්නාවේ ගබඩා සංකීර්ණයේ පමණක් ගබඩා පහසුකම් වැඩි කිරීමේ සැලසුමක හිටියා. ඒ අනුව ඒ ගබඩා සංකිර්ණයේ අලුතින් දින 10 කට ප්‍රමාණවත් ධාරිතාව ඉහළ යනවා. දැනට මෙහි වැඩ ආරම්භ කර කොන්ත්‍රාත් ප්‍රදානයද අවසන් කර තිබෙනවා. 2028 ජනවාරි වල එය ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

 මුතුරාජවෙල ඉදිකෙරෙන නව ගබඩා සංකීර්ණයේ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 40,000 කින් වැඩි කරන්න අපි සැලසුම් සකස් කර තිබුණා. දැන් එම ටෙන්ඩරය අවසන් අදියරේ තිබෙන්නේ. ඒ සඳහා රුපියල් බිලියන 3.5 ක් වැය කරනවා. ඒ වගේම මුතුරාජවෙළ සිට කටුනායක දක්වා පයිප්ප ලයින් එකක් එළීමට සැලසුම් කර තිබුනා. ඒ සඳහා ගුවන්තොටුපොළේ විශාල සැලැස්මක් සකස් කර තිබෙනවා. අපේ ගුවන්තොටුපොළ හොද ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව තිබෙනවා. එවිට අපේ ගුවන්තොටුපොළේ ඉන්ධන ඉල්ලුම වැඩි වෙනවා. ගුවන් තොටුපොළ සංවර්ධන සැලැස්ම සහ ගුවන්තොටුපොළ ගුවන්සේවා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සැලැස්මත් ඊට අනුරූපි ලෙස ඉන්ධන සැපයුම් සැලැස්මත් තිබිය යුතුයි. ඒ නිසා අපි මුතුරාජවෙල සිට කටුනායක දක්වා පයිප්ප ලයින් එකක් එළනවා. ඒ වගේම ගුවන් යානා ඉන්ධනවල ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 63,000 ක් වැඩියෙන් ගබඩා කළ හැකි ධාරිතාවක් හදනවා. ඒ සඳහා වූ ටෙන්ඩරය දැන් අවසන් අදියරේ තිබෙන්නේ. රුපියල් බිලියන 16 ක් ඒ සදහා වැය වෙනවා. ඒ 63,000 න් පමණක් අපිට දින 40 කට වැඩි ගණනක් සඳහා ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන ගබඩා කළ හැකියි. ගුවන් තොටුපොළේ ඉන්ධන ප්‍රමාණය වැඩි කළ යුතු බවට අපි සැලැස්මක් හදලා තිබෙනවා. පෞද්ගලික අංශයට අපි ඒ සඳහා ආරාධනා කර තිබෙනවා. ගුවන්තොටුපොළ ඉතා හොඳ තෙල් සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ හැකි යටිතල පහසුකම් ටෙන්ඩරය අපි ඉතා ඉක්මණින් අවසන් කරනවා.

ත්‍රිකුණාමලයේ අපිට තනිව පාලනය කළ හැකි ගබඩා 24 ක් තිබුණා. එයින් 03 ක් ප්‍රීමා එකට ගිවිසුමක් මගින් ලබා දී තිබෙනවා. තව ගබඩා 21ක් තිබෙනවා. එක් ගබඩාවක ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 10,000 යි. ඒ අනුව මෙට්ට්‍රික් ටොන් 210,000 ක ගබඩා පහසුකම් තිබෙනවා. අපි අදියර කිහිපයකින් ඒ ගබඩා ටික නැවත ප්‍රතිසංස්කරණයට සැලසුම් සකස් කළා. එහි පළමු අදියර යටතේ ටැංකි 04 ක් ප්‍රතිසංස්රණය කිරීමට තෝර ගත්තා.

ඒ ටැංකි හතරෙන් දෙකක් ප්‍රතිසංස්කරණය කර අවසන්, අනෙක් ටැංකි දෙකේ කටයුතු කරගෙන යනවා. හැබැයි ගබඩා ප්‍රතිසංස්කරණය කළාට වැඩක් නැහැ නළ පද්ධති නැතිව. ඒ නිසා ඒ හා සමාන ලෙස මුහුදේ සිට නළ පද්ධතියක් එළන්න අපි ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ඒ සඳහා වියදම රුපියල් බිලියන 7.37 යි. එවිට එහි ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 40,000 ක් වෙනවා.

අපේ ඉන්ධන පිරවුම් පහසුකම් අඩුයි. අපි එය වර්ධනය කළයුතුයි. ඒ සඳහා ටෙන්ඩරය මේ වන විට කැඳවා තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 1.5 ක් වැය කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම මුළු නැව් පැමිණීමේ පද්ධතියම අපි සක්‍රීය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා රුපියල් බිලියන 1.5 ක ඇස්තමේන්තුවක් සකස් කර තිබෙන අතර එම ටෙන්ඩරය කැඳවීමට සැලසුම් කර තිබෙනවා.

1969 තෙල් පිරිපහදුව හැදුවේ මෙට්ට්‍රික් ටොන් 38,000 ක අවශ්‍යතාවකට. ඉන්පසුව 1979දී  මෙහි ධාරිතාව තවත් මෙට්ට්‍රික් ටොන් 12,000 කින් වැඩි කළා. 1979 සිට අද වන විට අවුරුදු 47 ක් ගතවී තිබෙනවා. මේ වසර 47 ටම එක මෙට්ට්‍රික් ටොන් එකකින් අපේ පිරිපහදු ධාරිතාව වැඩි කර නැහැ. හැබැයි අපි සැලසුම් සකස් කර තිබෙන මෙට්ට්‍රික් ටොන් 50,000 ධාරිතාව ලක්ෂය දක්වා වැඩි කිරීමට.අපි දැන් අභිලාෂ කැඳවා තිබෙනවා. දැන් සමාගම් 15 ක් අභිලාෂ ඉදිරිපත් කර තිබෙන අතර සමාගම් 05 ක් කෙටි කාලයක් ඉල්ලා තිබෙනවා. ඒ අනුව අභිලාෂයන් 20 ක් කැඳවා තිබෙනවා. රජයේ කොටසක් තබාගෙන පෞද්ගලික අංශයේ ධාරිතාව ඉහළ නැංවීමට සැලැස්මක් සකස් කර තිබෙනවා. ඒ අනුව අපේ ඉන්ධන ධාරිතාව 100% කින් වැඩි කරනවා.

අපේ පයිප්ප ලයින්වලට වී තිබූ ප්‍රශ්නය මෙහි සිටින කවුරුත් දන්නවා. විශේෂයෙන් කොළොන්නාවේ සිට වරාය දක්වා තිබෙන පයිප්ප ලයින් එක අවුරුදු 90 ක් පරණයි. මේක හදන්න අවුරුදු 20 ක් තිස්සේ උත්හාස කරනවා. හැබැයි අපි අඟල් 14 සහ අඟල් 18 ලයින් දෙකක් එළන්න සියලුම වාර්තා සකස් කර තිබෙනවා. ඉතා ඉක්මනින් මෙහි ටෙන්ඩරය කැඳවනවා. ඒ සඳහා රුපියල් බිලියන 12.8 ක් වැය වෙනවා.

කොළොන්නාවේ සිට කැලණිතිස්ස දක්වා දිවෙන නැප්තා නළ පද්ධතිය වසර 90 ක් පරණයි. මෙය ඉතා අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙනවා. අපි ඒක හදනවා. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම අවසන් අදියරේ පවතින අතර බිලියන 1.5 ක් ඒ සඳහා වැය කරනවා. ඒ අන්දමින් ආසන්න වශයෙන් බිලියන 30 කට අධික මුදල් ප්‍රමානයක් අපි මේ යටිතල පහසුකම් සකස් කිරීම සඳහා වෙන් කර තිබෙනවා. ආණ්ඩුවක් කළ යුත්තේ එයයි. දැන් තිබෙන තත්ත්වයට සැලසුම් සකස් කර තිබෙන අතර මතු විය හැකි ඕනෑම අර්බුදයකට මුහුණදිය හැකි අන්දමේ බලශක්ති ආරක්ෂාව පිළිබඳ අපි සැලසුම් සහගතව කටයුතු කරමින් සිටිනවා .

ඒ නිසා මම විශ්වාස කරනවා මේ තිබෙන අර්බුදයට මුහුණ දෙන්නත් පුළුවන්. නැවත මෙවන් අර්බුදයක් පිළිබඳ සැකයක් ජනතාව තුළ ඇති නොවන අන්දමින් ඒකට මුහුණ දෙන්නත් පුළුවන්. හැබැයි මම නැවත අවධාරණය කරනවා මේ තත්ත්වය තීරණය කරන්නේ අපි නොවෙයි. අපි සැලසුම් සකස් කරන්නේ අපේ ධාරිතාවට සහ හැකියාවටයි. හැබැයි අපේ හැකියාවට ඔරොත්තු නොදෙන තත්ත්වයන් මතු විය හැකියි.

එය අපි පිළිගත යුතුයි. හැබැයි දැන් තිබෙන තත්ත්වයට අපේ හැකියාව තිබෙනවා, වර්ධනය වන තත්ත්වයන් අපි අධීක්ෂණය කරමින් සිටිනවා,ඒ තත්ත්වයට ඔරොත්තු දෙන අන්දමින් සැලසුම් සකස් කරමින් තිබෙනවා. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන් තෙල් සැපයුම පිළිබඳ අපිට සැලසුමක් තිබෙනවා.

විශේෂයෙන් ගත්තොත් ගෑස් සඳහා අපේ මුළු ගබඩා ධාරිතාව තිබෙන්නේ මෙට්ට්‍රික් ටොන් 8,000 කට. අපේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 1000 - 1200 ත් අතර වෙනවා. ඒ නිසා අපිට උපරිම ගෑස් ගබඩා කළ හැක්කේ සතියකට පමණයි. ඒ නිසා දවස් දෙකක් හැර දවසක් වරායට ගෑස් ගේනවා. අපි මෙය වෙනස් කළ යුතුයි. පෞද්ගලික සමාගමේ ගෑස් සැපයුම අඩාළ වූ නිසා අපේ ගෑස් සැපයුම දවසට 1800 දක්වා වර්ධනය වුණා. දැන් මාලදිවයිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 8,000 බැගින් ගේනවා. ඒ නිසා අපේ ගෑස් සමාගමේ ධාරිතාව වැඩි කිරීමට අපි සැලසුමක් සකස් කර තිබෙනවා.

පෞද්ගලික සමාගමක් සතු මෙට්ට්‍රික් ටොන් 30,000 ක ගබඩා පර්යන්තයක් තිබෙනවා.  ඔවුන් එම ගබඩා පර්යන්තය හැදුවේ අපනයන වෙළෙඳපොළට. අපි ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා මේ හදිසි අවශ්‍යතාව සඳහා මෙට්ට්‍රික් ටොන් 15,000 ක පහසුකම් තාවකාලිකව ලබා ගැනීමට. ඒ සමාගමට අපි ස්තූතිවන්ත වෙනවා ඔවුන් සිය කැමැත්ත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සමාගම්වලට අපනයන වෙළෙඳපොළෙන් 20% යි දේශීය වෙළෙඳපොළට ලබා දිය හැකිව තිබෙන්නේ. විවිධ තත්ත්වයන් හමුවේ අපනයන වෙළෙඳපොළ බිඳ වැටුණු විට දේශීය වෙළෙඳපොළට ඔවුන් නිෂ්පාදන දාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ නිසා සමාගමක් ලෙස සිර වීමක් ඇති වුණා. අපනයන නොකරන නිසා දේශීය වෙළෙඳපොළට ගෑස් දාන්නත් බැහැ. එවිට වෙළෙඳපොළ තුළ කහ ගෑස් හිඟයක් ඇති වුණා. ඒ නිසයි මම විශේෂයෙන් හදිසි නීතිය නැවත පැනවීමට තීරණය කළේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හරහා නැවත විශේෂ රෙගුලාසියකින් ඔවුන්ට බදු සියල්ල අය කර ගනිමින් තාවකාලික දේශීය වෙළෙඳපොළ දාන්න බලය ලබා දෙනවා. මෙහි තිබෙන්නේ කිසිදු අයථා ගනුදෙනුවක් නොවෙයි. මෙහි තිබෙන්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමක්. ඒ වගේම අපි ලීට්‍රෝ ගෑස්වලින් අලුත් සිලින්ඩර් ලක්ෂයක් ඇණවුම් කර තිබෙනවා. මෙම 12 වන දා එම නෞකාව පැමිණෙනවා. ඒ නිසා තෙල් සහ ගෑස් ක්ෂේත්‍රයේ අර්බුදයක් මතු වීමේ ඉඩකඩ බොහොම අවමයි.

විදේශගත ශ්‍රි ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එම කලාපයේ වැඩ කරනවා. ආසන්න වශයෙන් ගත් විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ අය ලක්ෂ 10 ක් පමණ සිටිනවා. ඒ නිසා ක්ෂණිකව මුහුණ දීමට සිදු වන අනතුරකදී මොවුන් බලා ගැනීමට අපි අවධානය යොමු කර තිබෙනවා. දැන් සෑම තානාපති කාර්යාලයකම පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි දුරකථන සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අයෙකුට තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ හැකියි.

සංචාරක කර්මාන්තය සිදුවන බලපෑම පිළිබඳවද අපි අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ වගේම අපේ අපනයන වෙළෙඳපොළ ආකාර දෙකකින් විශේෂයෙන් සෘජුවම යුද්ධය පවතින රටවල කෙරෙන අපනය වෙළෙඳපොළෙ කඩා වැටීම වගේම යුද්ධය නොපැවතියත් ආර්ථික අර්බුදයක් විසින් අපනයන වෙළෙඳපොළට ඇති කරන බලපෑම පිළිබඳ අපි අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ නිසා විශේෂයෙන් ඩොලර් සංචිත සහ විනිමය අනුපාතිකය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන අපි අවධානය යොමු කර තිබෙනවා.

ඒ නිසා දිගුකාලීනව ඇති විය හැකි අර්බුදයට මුහුණ දීම සහ කෙටිකාලීන අර්බුදය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන අපි දියත් කරමින් සිටිනවා. මෙහිදී අපේ අමාත්‍යාංශ සහ රාජ්‍ය නිලධාරීන් ඉතා කැපවීමෙන් වැඩ කරමින් සිටිනවා. ඒ නිසා මේ සඳහා මුහුණ දීමට අවශ්‍ය පරිදි අපි රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය කර තිබෙනවා. දේශපාලන අධිකාරිය ලෙස ඊට අවශ්‍ය සහාය ලබා දීම අපේ කාර්යභාරයයි. මෙම තත්ත්වය ඉතා කෙටිකාලයකින් සමනය වීම තමයි අපේ ප්‍රාර්ථනය. අපි සුබදායී දෙය අපේක්ෂා කරනවා. නරකම දේට සූදානම් වෙනවා. ඒ අනුව තමයි අපි වැඩ කරමින් සිටින්නේ.