අපි වැඩකරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා. - ජේවීපී 60 වන සංවත්සරයේ දී ජනපති අනුර කියයි
අපේ පක්ෂයට මැයි මස 14 වැනිදාට වසර 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මෙවැනි සාකච්ඡාවක් සූදානම් කළා. මෙහිදී මට යම් කතාවක් සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන බව මම දැන සිටියා. ඒ අනුව පසුගිය දින හතරක්, පහක් පුරා විවිධ රාජකාරී මධ්‍යයේ වුවද මම මේ ගැන කල්පනා කළා. වසර 60ක් යනු දිගු ඉතිහාසයක්. සිදුවීම සමුදායක්. විශාල අවස්ථා ප්‍රමාණයක්. විශාල සාමුහික මිනිස් ක්‍රියාකාරිත්වයක්. ඒ පිළිබඳ මම දැක්විය යුත්තේ කුමන අදහසක්ද කියා මම කල්පනා කළා.
ඉතාමත් බර අතීතයක්, සංකීර්ණතා සහිත දේශපාලනයක්. මේ සියල්ල කැටි කර කෙටි වේලාවකදී ප්‍රකාශ කරන්නේ කොහොමද? විවිධ රාජකාරි මධ්‍යයේ වුවද එම සංවාදය මා තුළම ගොඩනගා ගනිමින් ඉතිහාසයේ සාරය, ඉතිහාසයේ අඛණ්ඩතාවයේ තිබෙන රහස මගේ ප්‍රමාණයට අනුව සොයා ගැනීමට මම වෙහෙසුණා. මම විශ්වාස කරනවා එය යම් ප්‍රමාණයකට මට සොයාගන්න හැකි වුණා කියලා.
ඒ අනුව මගේ ප්‍රමාණයට වඩා විශාල බර ඉතිහාසයක් සංෂිප්ත කොට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මා තුළ පැන නැගී තිබුණා. ඇතැම් විට තවත් අයෙකුට එම සාධකයන්ට වඩා වැදගත් සාධක සොයා ගත හැකි වෙයි. එහෙත් මගේ ප්‍රමාණයට සහ මගේ තරමට මම ඒ සාරය හදුනාගත් අයුරු මම ප්‍රකාශ කරන්න කැමතියි.
පළමු කොටම ඇයි අපි මේ ඉතිහාසය සිහිපත් කරන්නේ. මේ මොහොතේ අපි ආණ්ඩු බලය අත්පත් කරගෙන තිබෙනවා. ඇයි අපිට යටගිය ඉතිහාසය වර්තමානයේදී අවශ්‍ය වෙන්නේ? ඇතැම් විට, “සහෝදරයා ඒ ගැන නම් වැඩිය කතා කරන්න එපා” කියා තැන තැන මුමුණන්නත් ඉඩ තිබෙනවා. එම ඉතිහාසය ඉතිහාසයටම උරුම කර වර්තමානය අලුත් පරිච්ඡේදයකින් ආරම්භක කළ හැකි වනු ඇතැයිද බොහෝ දෙනා අපේක්ෂා කරනවා.
ඇතැම් කවයන් එම ඉතිහාසය අමතක කරමින් අපි සමඟ ගනුදෙනු කරන්න සූදානම් වෙලා තිබෙනවා කියා මම දන්නවා. එහෙත් අපිට එම ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක්, අලුත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් නැති බව කිව යුතුයි.
මෙම වර්තාමනය තේරුම් ගැනීම සඳහා අපිට එම ඉතිහාසය අවශ්‍යයි. අද මේ මොහොත අපිට තේරුම් ගැනීම සඳහා එම ඉතිහාසය අවශ්‍යයි. අනාගතයේ අවම වරද්දා ගැනීම් කරමින් අනාගතය ගොඩනැංවීම සඳහා අපිට එම ඉතිහාසට ඉවහල් කරගත හැකියි. මා දන්නා තරමින් කුමන ඉතිහාසයක්වත් වැරදීම්වලින් තොරව නිර්මාණය වන්නේ නැහැ. ඒ නිසාම අපිට තිබෙන්නේ නව පරිච්ඡේදයක් නෙවෙයි, අපිට තිබෙන්නේ අඛණ්ඩ ඉතිහාසයක අඛණ්ඩ පරිච්ඡේදයක්. කවර හෝ කෙනෙක් කුමන හෝ ආකාරයෙන් මෙය සියල්ලන්ගෙන් වියුක්ත කොට නව පරිච්ඡේදයක් ලිවීමට උත්සාහ කරනවා නම් ඒ තුළ තිබෙන්නේ කුහකත්වයයි. ඒ වගේම අතීතයට තිබෙන බියයි. අපි මේ නව පරිච්ඡේදයක් ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවය තුළයි. මේ අඛණ්ඩතාවයම අලුත් පරිච්ඡේදයක් මිස අඛණ්ඩතාවයෙන් ගිලිහුණු හා විතැන් වූ පරිච්ඡේදයක් නොවන බව හැම දෙනාම තේරුම්ගත යුතුයි.
වේදනාවෙන් පිරි ඉතිහාසයක් අපිට තිබෙනවා. ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් අතිශය වේදනාවට ලක්වූ ඉතිහාසයක් තිබෙනවා. මා දන්නවා එම ඉතිහාසය සමග අඛණ්ඩ සම්බන්ධතාවක් තිබෙන බොහෝ සහෝදර සහෝදරියන් මෙහි සිටිනවා, එයින් බොහෝ දෙනෙක් එක් දිනයකදී හෝ ඉකිගසා හඩා තිබෙනවා. මමත් එහෙමයි. ඒ ඉතිහාසය අපිට අතිශය දුෂ්කරතාවයන් එක්කර දී තිබෙනවා. වැඩකරන විට මුහුණ දෙන දුෂ්කරතාවන් පමණක් නොව, මහා සංවිධානාත්මක හා ප්‍රචණ්ඩකාරී ප්‍රවාහයක් තමන් ඉදිරියට පැමිණෙන විට ඊට මුහුණ දීම අතිශය දුෂ්කර ව්‍යායාමයක්. ඒ නිසා ඉතිහාසයේ වේදනාවන් තිබෙනවා, දුෂ්කරතාවන් තිබෙනවා.
පොදු මහජනයාගේ වුවමනා වෙනුවෙන් සියල්ල අත්හැරීමට සහ කැපකීරීමට සූදානම් වූ ඉතිහාසයක් අපිට තිබෙනවා. අපේ සහෝදර සහෝදරියන් වසර ගණනාවක් සිරගත කර තිබුණා. දුෂ්කරතාවන්ට මුහුණ දී, වද හිංසා කිරීම් සියල්ලට මුහුණ දී තිබෙනවා. ඒ විතරක්ද? අපි දරුණු පන්නයේ පරාජයන්ට මුහුණ දුන්නා. අපි අවට සිටි අය අපිට අහිමිවන පන්නයේ පරාජයන්ට අපි මුහුණ දුන්නා.
අපේ ව්‍යාපාරය ගොඩනැගීමට උරදුන් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායම අපිට අහිමි කිරීමේ පන්නයේ පරාජයන්, අපේ සමීපතමයන් අපේ දෑස් ඉදිරිපිට මිය යන මට්ටමේ පරාජයන්ට අපි මුහුණ දී තිබෙනවා. මෙම ඉතිහාසය එවැනි පරාජයන්ගෙන්ද ගැබ් වී තිබෙනවා. එම ඉතිහාසය පාවාදීම්වලින් ගැබීවී තිබෙනවා. තමන් සමග එකට සටන් කරන කෙනා, තව විටක ඊට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පණ පොවනවා. අදත් අපි එය දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනිත් දේශපාලන කඳවුරක පාපිස්සටවත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වී තිබෙනවා.
පසුගිය බටලන්ද වාර්තාව පිළිබද සාකච්ඡාවේදී 88, 89 ඊට එරෙහිව එකට සිටි අය රූපවාහිනියට ගොස් බටලන්ද සිදුවීම සාධරණීකරණය කරන අයුරු අපි ඇස්වලින් දකිනවා. කන්වලින් අහනවා. මේ ඉතිහාසය අපිට එහෙම දේවල් ඉතුරු කර තිබෙනවා. මේ ඉතිහාසයේ ක්‍රමන්ත්‍රණ අපි අත්දැක තිබෙනවා. මෑත දශකයේත් අපි කුමන්ත්‍රණ අත්දැක තිබෙනවා. ඒ නිසා මේ ඉතිහාසය වේදනාව, දුෂ්කරතාව, ඔරොත්තු දීම, කැපකිරීම, කුමන්ත්‍රණ, පාවාදීම්, පරාජයන් හා ජයග්‍රහණයක් එක සමාන ලෙසම අපි දැක තිබෙනවා.
ඒ නිසා එවැනි ඉතිහාසයක් මොන තරම් සංකීර්ණ ඉතිහාසයක්ද? අපට අපේ ඉතිහාසය පරිච්ඡේද කිහිපයකට කඩන්න පුළුවන්. 65-71 ඉතිහාසයේ පරිච්ඡේදයක්. 71- 78 ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක්. 78-83, 83-89, 89-94 ඉතිහාසයේ තවත් පරිච්ඡේද ලෙස දක්වන්න පුළුවන්. 1994-2024 සැප්තැම්බර් 21 තව පරිච්ඡේදයක්. සැප්තැම්බර් 21 සිට අද දක්වා තව පරිච්ඡේදයක්. මේ අකාරයේ පරිච්ඡේද ගණනාවක් අප ගතකර තිබෙනවා. මේ පරිච්ඡේද තුළ මා කළින් කියන ලද තත්වයන් අඩු වැඩි ප්‍රමාණයෙන් ගැබ්වී තිබෙනවා. එහෙත් මේ සියලු සිදුවීම්වල, පරිච්ඡේදයන්වල අඛණ්ඩතාවය ගෙන එන එක් මහා පොදු සාධක කිහිපයක් තිබෙනවා. 65 සිට මේ 60 වන සංවත්සරය දක්වා අඛණ්ඩතාවය ගැටගසා තිබෙන හූයන් කිහිපයක් තිබෙනවා. ඒ නිසා තමයි මෙය අලුත් පරිච්ඡේදයක් නොවන්නේ. ඒ අඛණ්ඩතාවය මොකක්ද? ඒ හූය මොකක්ද? 60 වසරක විවිධ පරිච්ඡේද හා සිදුවීම් මේ සියල්ල එකට ගොතා තිබෙන මෙවලම මොකක්ද?
මා හිතනවා ප්‍රධාන සාරයන් 03ක් තිබෙනවා. එක හෘද සාක්ෂිය. දෙක එඩිතරභාවය. තුන ව්‍යවහාරික බුද්ධිය. මේ වසර 60 මුළුල්ලේම විවිධ උච්චාවචනයන්, පරාජයන්, ජයග්‍රහණ, පාවාදීම් මේ සියල්ල තිබියදී මේ මහා පොදු සාධක කිහිපයක් තිබෙනවා. මම කියනවා, අනාතයටත් අපිට මග පෙන්වන්නේ අන් කවරක්වත් නෙවෙයි හෘද සාක්ෂිය. එඩිතරභාවය සහ ව්‍යවහාරික බුද්ධියයි.
මොකක්ද හෘද සාක්ෂිය? වැරදි සිදු වී තිබෙනවා, අදත් වෙනවා, හෙටත් විය හැකියි. හැබැයි ඒ සෑම දෙයක්ම පෞද්ගලික පුද්ගලාරෝපිතව යමක් උපයා ගැනීම මේ කියන්නේ වත්කම් පමණක් නොවී, ජනප්‍රියතාවය, කැපී පෙනීම ආදී මේවාත් උපයාගැනීම තුළ තිබෙනවා. මේ කිසිවක් නොලබමින් මේ රටත් මේ රටේ ජනතාවත් පෙරට තබා කටයුතු කරන හෘද සාක්ෂිය තමයි අපේ ඉතිහාසයේ අඛණ්ඩතාවය. අදත් අපිට ජයග්‍රහණ ගෙනවිත් දෙන්නේත්, අනාගතය සඳහා මග පෙන්වන්නේත්, අප ඉදිරියේ තිබෙන අභියෝග ජයග්‍රහණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් ඇති කරන්නේත් අප සතුව තිබෙන හෘද සාක්ෂියයි.
මා හිතනවා ශරීරවලින්, පවුල් පසුබිම්වලින් මහා ප්‍රතාපවත් ඉතිහාසයක බල ව්‍යුහයන් තුළ මහා සැණකෙළි පෙන්වූ ඒ හැම දෙනාටම වඩා කුඩා මිනිසුන් වන අප ළඟ තිබෙන හෘද සාක්ෂිය තුළින් ඔවුන්ට වඩා ගව් ගණනක් ඉදිරියට අප ගෙන යනවා. දුෂ්කරතා විසින් විතරක් නෙවෙයි තනතුරු, ඒවායින් ලැබෙන ආලෝකය, ඒවාට ජනතාව දක්වන ප්‍රතිචාර, සාම්ප්‍රදායික ආයතනික ව්‍යුහයන් එම තනතුරුවලට දක්වන ප්‍රතිචාර යන සියල්ලගෙන්ම හෘද සාක්ෂිය බිඳ වට්ටන්න පුළුවන්. එහෙත් මතක තබා ගන්න, අපි මේ රටේ පොදු ජනතාවට සහතිකයක් දෙනවා ඉතිහාසයද, අදද, හෙටද අපි අපේ හෘදසක්ෂිය අනුව වැඩ කරන මිනිස්සු. කටුක දුෂ්කරතාවයන් හමුවේ හෝ පරිභෝජනවාදය හමුවේ හෝ පාවා දෙන්නේ නැති අත් හරින්නේ නැති හෘදසාක්ෂියක් සමඟ වැඩ කරනවා. මේක තමයි අපේ 60 වසරක ඉතිහාසයේ අඛණඩතාවය. එය අපි ආරක්ෂා කරනවා. ඊට අප වගකියනවා. ඊට අපි බැඳී ඉන්නවා.
දෙක එඩිතරභාවය. එඩිතරභාවය කියන්නේ කුමක්ද? එඩිතරභාවය කියන්නේ ඇඟේ හයිය විතරක් නෙවෙයි. ඇඟේ හයියත් එඩිතරභාවයේ ලක්ෂණයක්. හැබැයි මා මේ එඩිතරභාවය කියන්නේ ඇඟේ හයිය නෙවෙයි. ව්‍යාපාරයක් 60 වසරක් ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මුහුණ නොදුන් අතිශය විනාශකාරී අත්දැකීම්වලින් ගැබ් වෙලා, අතිශය දුෂ්කරතාවයන්ට මුහුණ දී එහෙත් මේක ආරක්ෂා කරනවා. අද වන විට මොකක්ද වෙලා තිබෙන්නේ? අනෙක් සතුරු කඳවුරු සියල්ල සුණු විසුණු කොට විනාශ කොට දමන තරමට මේ ව්‍යාපාරය ශක්තිමත්භාවයට ගෙනවිත් තිබෙනවා. ඒ පිටුපස තිබෙනවා එඩිතරභාවය.
මොකක්ද එඩිතරභාවය. වැරැද්දක් උනොත් වැරැද්ද පිළිගැනීමට තිබෙන එඩිතරකම. එය එඩිතරකමක්. වැරැද්දක් වෙලා පළා යන්න, සැඟවෙන්න නෙවෙයි වැරැද්ද පිළිගන්න අපි එඩිතරයි. ඉතාමත් දුෂ්කරතම කොන්දේසි යටතේ පවා ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න අපි එඩිතරයි. එය කාටද තිබෙන්නේ? මැතිවරණ පෙරමුණේ බලන්න මීට වසර පහ හයකට පෙර මොකක්ද අපට අත්පත් වුණේ. අප ලජ්ජා සහගත තත්වයකට පත්වූ, අනෙකා ඉදිරියේ හෑල්ලුවට ලක් වූ, අපේම සමීපතමයන් අප අත් හැර ගිය, අනෙක්පස කඳවුරේ සිට අපට උසුළු විසුළු කරන නින්දා සහගත බවට පත් කරන තත්වයක් මතු වී තිබුණා. එහෙත් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තබාගෙන වැඩ කරන්න තරම් අපි එඩිතරයි.
එය මේ අඛණ්ඩ ඉතිහාසයේ පැවැත්මට ප්‍රධාන සාධකයක්. නැත්නම් මේ ව්‍යාපාරය අත් හරින්න, නතර වෙන්න මොන තරම් අවස්ථා තිබි තියෙනවද? මේ මව්බිමේ එහෙම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව මතක තබා ගන්න. සාමාන්‍යයෙන් අපි අත්දකින්නේ නැතුව, අප ඒ කතාව ඇතුළේ ජීවත් වෙන්නේ නැතුව පිටස්තරයෙක් ලෙස අප පොතක ඒ කතාව කියෙව්වොත් එය කිසිවෙක් විශ්වාස කරන කතාවක් නෙවෙයි. ඒ තරමට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය බිඳ වට්ටන්නේ නැතුව මේ ව්‍යාපාරය 60 වසරක් ගමන් කර තිබෙනවා. ඒ තුළ තිබෙන්නේ මෙම සාරයයි. පැමිණි ගමන් මඟ නිශ්චිත දේශපාලනයකදී හැරවීම සඳහා එඩිතරභාවය. ඒවා සාමාන්‍ය දේශපාලන ව්‍යාපරවලට කරන්න බැහැ.
ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන්න අපි එඩිතරයි. මේ මවුබිමේ එවන් ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජවිපෙ පමණයි. අපි ගමන් කරමින් තිබූ මාවත ජයග්‍රහණයට හැරවීම සදහා තීන්දු ගැනීම, ඒ තීන්දු කෙරෙහි විශ්වාසය තබා ගැනීම, ඒ තීන්දු ජයග්‍රහණය කරා මෙහෙයවීම එඩිතරභාවයයි. මේ ගැන අපි කිව යුතුයි. අපි මේවා කියන්නේ නැත්නම් කවුද කියන්නේ? මේ 60 වසරක දේශපාලන ගමන් මගේ ජයග්‍රහණයේ කොඩිය අප අතට ගන්න පෙර අපිට අත්හැර යන්න අවස්ථා විශාල ප්‍රමාණයක් තිබුණා. නිහඩ විය යුතු අවස්ථා විශාල ප්‍රමාණයක් තිබුණා. අපේ දේශපාලන ව්‍යාපාරය නමක් ලෙස පමණක් ඉතිහාසගත වීමට ඕනෑ තරමි සංධිස්ථාන තිබී තිබෙනවා. හැබැයි, ඒ සියලු සංධිස්ථාන හමුවේත් අද මේ ජයග්‍රහණය සදහා ගෙන එන්න එඩිතරභාවය ඉතාමත් ප්‍රබල සාධකයක්. ඒ උරුමය, ඉතිහාසය තිබෙන්නේ ජවිපෙ අපට පමණයි. අපේ සතුරන් අපට වඩා හොදින් තේරුම් අරන් තිබෙනවා.
ව්‍යවහාරික බුද්ධිය ඊළඟ වැදගත් සාධකයයි. අප අධ්‍යයනය කරලා, සංකල්ප ගොඩනඟලා, පොතපත හදාරලා, ලෝකයේ සිදුවීම් අත්දැකීම් ලෙස එකතු කරලා ඇති. නමුත් ඒවා ඒ නිශ්චිත මොහොතේ ව්‍යවහාරයට නැඟීම තමයි වැදගත් වන්නේ. බොහෝ සංකල්ප රචනා කරන්න පුළුවන්, හැබැයි ව්‍යවහාරික බුද්ධිය ඊට වඩා ප්‍රධාන සාධකයක්. නිවැරදිම තීන්දු තීරණ ගැනිම ව්‍යවහාරික බුද්ධියයි. එය තමයි අපේ දේශපාලනයේ අඛණ්ඩතාවය රදා පවතින අනෙක් ප්‍රධාන සාධකය. මේ මුළු පරිච්ඡේදයම හොයලා බලන්න. මේ පරිච්ඡේදයේ කුඩා ඉඩක් විවර වුණොත්, ඒ විවෘත වන විවරය කළමනාකරණය කරලා අපි අලුත් පියවරකට පය තබන්නේ කොහොමද? ජයග්‍රහණය නොපෙනෙන මානයක තිබියදී ජයග්‍රහණය පිළිබඳ සැලසුම් හදලා, ක්‍රියාවට නංවන්නේ ව්‍යවහාරික බුද්ධියයි. ව්‍යවහාරය විසින්, භාවිතයට නැඟීම විසින්, සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ මනින බුද්ධිය මේ ව්‍යාපාරය වසර 60 ක් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රබල ලෙස බලපෑම් කළ තුන්වන සාධකය බව මම විශ්වාස කරනවා. හොඳ ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනඟන්න, අපේ ව්‍යාපාරයේ සාරය වුණේ හෘද සාක්ෂිය, එඩිතරභාවය, ව්‍යවහාරික බුද්ධියයි. නැවත නැවත අපිව ජීවත් කරවන්නේ මේ සාරයයි. ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකියි කියන විශ්වාසය ගොඩනඟන්නේ මේ සාරය තමයි.
කුමන පරාජයන් හමුවේ හෝ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය අත්නොහරින්නේ මේ සාරයයි. මේ සාරය පිහිටුවන්නේ කුමක් මතද? අපිව ජනතාව උරගා බලනවා. අපි ජනතාවගේ උරගා බැලීමට විවෘත ව්‍යාපාරයක් බවට පත්විය යුතුයි. හොඳ නරක නිරීක්ෂණය කරන්න ඕන. එනිසා අපි සතුරන් හමුවේ නොව, පාවා දෙන්නන් හමුවේ නොව, සෑම විටම පොදු ජනතාව හමුවේ පරීක්ෂණයට භාජනය විය යුතු ව්‍යාපාරයක්. ඉහත සාරයන් මත, ජනතාව මත ගොඩනැගෙන ව්‍යාපාරයක්.
පසුගිය මැතිවරණයේදී මහා අනුහස් සහිත නායකයන් බිහි කළ මැදමුලන කොට්ඨාසයත් අප හමුවේ පරාදයි. කොළඹ නගරාධිපති අපේක්ෂකයෙක් වීම සඳහා තරග වැදුණු බොරැල්ල දකුණ කොට්ඨාසය අපිට පරාදයි. ඉතාමත් ශක්තිමත්ව ජනතාව මත මේ ව්‍යාපාරය පිහිටුවා තිබෙනවා. මුළු දකුණම ගත් විට එක් ප්‍රාදේශීය සභාවක්වත් පරාද නැහැ. කලුතර දිස්ත්‍රික්කයේ දෙකක් හැරණු විට අන් සියල්ලම සමග මුළු බස්නාහිරම ප්‍රාදේශීය සභා අපි ජයග්‍රහණය කර තිබෙනවා. මුළු සබරගමුවෙම සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කර තිබෙනවා. වයඹ කල්පිටිය හැර අනෙක් සියල්ල ජයග්‍රහණය කර තිබෙනවා. අතිශය දුෂ්කර නුවරඑළිය දොළහෙන්, දහයක් ජයග්‍රහණය කර තිබෙනවා. උතුරුමැද සියලු සභා ජයග්‍රහණය කර තිබෙනවා. මුලතිව්, මන්නාරම, වව්නියාව කියන වන්නි දිස්ත්‍රික්කය මෙම පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ජාතික ජන බලවේගය අරගෙන තිබෙනවා. නැගෙනහිර අම්පාර, ත්‍රිකුණාමලය වැඩිම ඡන්ද ප්‍රමාණය ජාතික ජන බලවේගය අරගෙන තිබෙනවා. මඩකලපුවේ මහා ඡන්දයට සමාන ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.
කිලිනොච්චිය සහ යාපනයේ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා. පළමු වතාවට යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන අනු තුනක් ලබාගෙන තිබෙනවා. යාපනය නගර සභාවේ මන්ත්‍රී ධූර 10 ක් ලබාගෙන තිබෙනවා. මේ අයුරින් අස්සක් මුල්ලක් නෑර, විහිදුණු ජනතාවගේ පදනම සහිත දේශපාලන ව්‍යපාරය ජාතික ජන බලවේගය පමණයි.
අපට අවශ්‍ය, සක්‍රීය ඡන්දදායකයෙක් ප්‍රතිචාර දක්වන ඡන්ද දායකයෙක්.
අනික් අය විවිධාංගීකරණයට ලක්වූ විපක්ෂයයි. විවිධාංගීකරණ විපක්ෂය එකතු වුවහොත් විවිධාංගීකරණය වෙලා ලද ප්‍රතිඵලයවත් ලැබෙන්නේ නැහැ. ඒ අය බෙදිලා ඡන්දය ඉල්ලලා, සභාව පිහිටුවන්න එකතු වෙන්න හදනවා. මොන ලැජ්ජා නැති වැඩක්ද. ඔවුන් එකතු වෙලා ඡන්දය ඉල්ලන්න ලෑස්ති නම් අපි කුමන හෝ ඡන්දයක් තියනවා. විවිධාංගීකරණය වූ විපක්ෂය එක කණ්ඩායමක් ලෙසත්, ජාතික ජනබලවේගය තවත් කණ්ඩායමක් ලෙසත් කඳවුරු දෙකකට බෙදමු. එහෙම වුනත් හෙටත් මේ රටේ ජනතාවගේ පවුරු පදනම් සහිත ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. මේක ආපසු හරවන්න කාටවත් බැහැ. එක සභාවක්වත් දිනන්නේ නැතුව ඊළඟ ජනපති වෙන්න හදනවා. පුස් ව්‍යාපාරවලට රටේ බලය ගන්න හිතන්නවත් එපා. ජනතාවගේ ධනය හොරාකෑ, මාධ්‍යවේදීන් ඝාතනය කළ, පුරවැසියන්ගේ අයිතිවාසිකම් කප්පාදු කළ, ජාතිවාදය වැපිරූ ඉතිහාසයේ සාරයක් තමයි ඔවුන්ට තිබෙන්නේ.
අපට ජනතාවගේ විශාලතම බලයක් ලැබී තිබෙනවා. අපට සිතන්නේ නැති ඡන්දදායෙක්ගෙන් වැඩක් නැහැ. අපට අවශ්‍ය, සක්‍රීය ඡන්දදායකයෙක් ප්‍රතිචාර දක්වන ඡන්ද දායකයෙක්. අපට අවශ්‍ය අනුගත වන ඡන්දදායකයෙක් නොවේ, ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන ඡන්දදායකයෙක්. ඒ සියල්ල අතර අවසන් සටනේ අපිව ආරක්ෂා කරන ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි. තීරණාත්මක මොහොතේ හරි බල කදවුර තෝරා නිවැරදි තීන්දු තීරණ ගන්නා ඡන්දදායකයෙක් අපට අවශ්‍යයි. ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන ඡන්දදායකයෙක් නොමැතිව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න බැහැ. අනුගත සාමාජිකත්වයෙන්, අනුගත ඡන්දදායකයන්ගෙන් විනාශකාරීත්වයට ඇදගෙන යන්න පුළුවන්. හැබැයි යහපත් දේ කැඳවා ගෙන යන්න නම්, සිතන, ප්‍රතිචාර දක්වන, විරෝධය දක්වන, තීරණාත්මක මොහොතේදී අපිව ආරක්ෂා කරන ඡන්දදායකයෙක් අපිට අවශ්‍යයි. අපි නැවත නැවත ජනතාව කියන උරගලේ උරගා බැලිය යුතුයි. නිද්‍රාශීලී අනුගත වන සාමාජිකයාගෙන් රටක පරිවර්තන ඇති කරන්න බැහැ.
අවුරුදු පනස් නවයකට වඩා අපි ගත කළේ බලය ලබා ගැනීමට පොර බදපු ඉතිහාසයකයි. අපි රෑ, දවල්, නිවාඩු දින කිසිවක් සැලකිල්ලට භාජනය නොකර හෘදසාක්ෂියට එකඟව මේ රට පත්වෙලා තිබෙන විපත්තියෙන් බේරා ගැනීමට කටයුතු කළා. අප මෙය අත්හරින්නේ නැහැ. අපිට වැරදෙන්නේ වචනයක් දෙකක් හෝ ඒ වචනොවලට දෙන අර්ථකථන පමණයි. අපිට මේ අලුත් පරිච්ඡේදයක්. අප වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා. අප ආණ්ඩු බලය හෙබවීම සඳහා පුරුදු පුහුණු වූ කණ්ඩායමක් නෙවෙයි. බලය ලබා ගැනීම සඳහා දිගු ඉතිහාසයක් පුරා පොර බදලා අපි මෙතැනට පැමිණ තිබෙන්නේ. අප රටටත් ජනතාවටත් අසීමිත ආදරයෙන් මෙතනට පැමිණියේ. ඒ නිසා අප වැඩ කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් වැඩකරනවා. අපි සෑමවිටම කටයුත් කරන්නේ හෘදෙසාක්ෂියට අනුවයි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් ගොඩනැගී තිබෙනවා හෘදසාක්ෂිය සමඟ වැඩ කරන. ආණ්ඩුවක් ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා, අණ පනත්වලින් බැඳීසිටිනවා. ඒවා සංශෝධනය කළ හැකියි. නමුත් අපි තුළ ඇත්තේ නීතියෙන්, ව්‍යවස්ථාවෙන් තිබෙන බැඳීමක් නෙවෙයි. මේ රටේ ජනතාව සමඟ අපි හෘදසාක්ෂියෙන් බැඳී සිටිනවා. මේ රට ගොඩනැගීම වෙනුවෙන් අපට තිබෙන අසීමිත ආසාව හෘදසාක්ෂියෙන් යළි යළිත් විමසමින් කටයුතු කරනවා.
නියමිත තැන, නියමිත හැරවීමේ තීන්දුව ගන්න අපි කටයුතු කරනවා. නියමිත තැන නියමිත දිශාවට ගෙන යන්න අප එඩිතර වෙනවා. අපේ එඩිතර භාවය ඇඟෙන් මනින්න එපා. යුග ගණනකට ඈත ඉතිහාසයක් අපේ දේශපාලනයේ තිබෙනවා. නිශ්චිත තැනදී පැකිලීමකින් තොරව නිසි බරෙන් නිසි තීරණ ගැනීමට මේ පක්ෂයට, මේ ආණ්ඩුවට එඩිතරභාවයක් තිබෙනවා. අපේ ව්‍යාපාරය අපේ ආණ්ඩුව එක්ක විපක්ෂය අලගු තබන්නවත් සුදුසු නැහැ. අපි ව්‍යවහාරික බුද්ධියෙන් කටයුතු කරනවා. අප විසින්ම ගොඩනඟා තිබෙන සංකල්ප මත හිරවෙයි කියලා විපක්ෂය සිතුවා. ඒ නිසා ඩොලරය ඉහළ යයි, තෙල් පෝලිම් ඇති වෙයි කියා බලාපොරොත්තුවෙන් සිටියා. අපි ව්‍යවහාරික බුද්ධියෙන් පෝෂණය වු දේශපාලන ව්‍යාපාරයක් නිසා එසේ වැරදුනේ නැහැ.
අපි පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා බලය ගන්න විට කිව්වා මාස තුනෙන් ආණ්ඩුව වැටෙනවා කියලා. දැන් කියනවා උඳුවප් මාසෙ ජනාධිපති කෙනෙක්ව පත් කරනවා කියලා. අපේ ආණ්ඩුකරණය යනු විශ්මිත ක්‍රියාමාර්ගවලින් සමන්විත ක්‍රියාවලියක්. අපට එරෙහිව තිබෙන දේශපාලන ව්‍යාපාරය ළදරු, අපරිනත, හිස් ව්‍යාපාරයක්. මේ මාතෘ භූමියේ අභියෝගවලින් මුදා ගැනීමට සාර්ථකව කටයුතු කරන ව්‍යාපාරය ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුවයි.
දැන් අපට ජුනි දෙවෙනිදායින් පසුව ගමේ බලය ලැබෙනවා. ජන වරම හොඳට තේරුම් ගත යුතුයි. අපිට පැහැදිලිව බලය ලැබුණ පළාත් පාලන ආයතනවල සභාව පිහිටුවනවා. සභාව පිහිටුවීමට පොර බදින්න තිබෙන්නේ පළවෙනි කණ්ඩායම සහ දෙවෙනි කණ්ඩායමටයි. ඒ නිසා එය ලබාගත් කණ්ඩායමට සභා පිහිටුවීමට අයිතියක් තිබෙනවා. එයට අකුල් හෙලන්න, බාධ කරන්න එනවා නම් නීතියේ ඕන තරම් ඉඩකඩ තිබෙනවා. අපි සෑම විටම ජනවරමට ගරුකරනවා. මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මහ මැතිවරණයට යොදා බැලුවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය විසි දෙකක් ඉන්නවා. අනූ හතරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ මන්ත්‍රීවරු අනූ හයයි. 2015 රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට මන්ත්‍රීවරු එකසිය දෙකයි. එහෙම බැලුවම ඊටත් වඩා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියෙන් ජාතික ජන බලවේගය ඉන්නවා. ඒ නිසා මෙවර ජයග්‍රහණය ලැබූ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපි සූදානම්. එයට අභියෝග කරනවානම් අපි අභියෝගය භාරගන්න සූදානම්. අපිට තිබෙනවා හෘදසාක්ෂියේ බලය, අපිට තිබෙනවා එඩිතර බවේ බලය. අපිට තිබෙනවා ව්‍යාහාරික බවේ බලය. පාර්ලිමේන්තු අනපනත්වල බලය. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය. ඕන නම් ව්‍යවස්ථාව සංශෝධනයකට යා හැකියි. අපි වගකියන්නේ ජනතාවගේ පාරමාධිපත්‍යයටයි. ඒ නිසා මේ අවස්ථාව අපි අත් නොහැර කටයුතු කරනවා. ඒ සඳහා අප සියලු දෙනාට ආරාධනා කරනවා.