උණුසුම් පුවත්

අම්පාරේ පොහොට්ටු මන්ත්‍රී සමගි ජන බලවේගයට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (ජුනි 3) අම්පාර මහඔය බොරපොළ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 218 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කළේ ය. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පිරිනැමී ය. මෙම පාසලේ ඉගෙනුම ලබන දක්ෂ දරුවකු වන හෂාන් තිලකරත්න සිසුවිගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රු. 25000 ක මුදලක් ද පරිත්‍යාග කළේය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වීම විශේෂ සිද්ධියකි.

මේ එන්නත් සඳහා යොදා ගත් වැඩිපුර මුදල් සුහුරු පන්ති කාමර සකස් කරන්න යොදා ගැනීමට තිබූ බවත් මේ වන විට රටේ සිදුවන්නේ පැය 24ම ඇන්දවිල්ල රැවටිල්ල බොරුව බවත් ලක්ෂ 220 මෝඩයෝ ගාණට දමා පාලකයෝ කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බොරු ප්‍රවෘත්ති දැමීම, බොරු ප්‍රකාශ කර ව්‍යාකූල කිරීම, රැවැට්ටීම් සිදු කර කොමිස් ගැසීම් පවා සිදු කරනා බැවින් සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයෙන් යුක්තව දූෂණය මර්දනයට කිරීමට කැපවූ රටේ ලක්ෂ 220 ජනතාව ජීවත් කරවන්න කැපවූ යුගයක් බිහි කරනා බවත් ඒ යුගය තුළ සියලුම හොරකම් පිටුදැක හොරා කාපු සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් රටට අහිමි වූ මුදල් නැවතත් රටට ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට පුරාම සිදුවෙන්නේ රැවටිල්ලයි මුසාවයි විතරයි

අප රටේ බොහෝ විට සිදුවන්නේ රැවටිල්ල, මුලාව, මුසාව, බොරුව, ඇන්දවිල්ල බවත් ඔවුන් එක් එක් ප්‍රදේශවලට ගොස් ඡන්ද මල්ල ගැන සිතා සිංහල පමණයි දමිළ පමණයි කියමින් යන බවත් ඔවුන් එසේ ගියත් තමා යන්නේ ඡන්ද මල්ල වැඩි කර ගැනීමට වඩා ජනතාවට ඇත්ත ඇති සැටියෙන් කියා දීමට බවත් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.