මව් ගුණ වරුණ
"මාතුපාදං නමාමි"------ -ඇය ගියේ නෑ මැකිලා---- (අපේ අම්මා වෙනුවෙනි. ඔබට දිග වැඩි කියා හිතේවි. ඒත් අම්මලා වෙනුවෙන් අපිට එහෙම කියන්න පුළුවන් ද? ඒත් කියවන නොකියවන එක ඔබට බාරයි)
"දවසක් පැල නැති හේනේ අකාල මහවැසි වැස්සා තුරුළේ හංගා ගෙන තෙමුණා ඔබ අම්මේ''......
( ර.බ.සෙ ) අද වගේ දවසක අපේ රත්තරං අම්මා අප හැර යනවා. කෝවිඩ්වලට වහපු රට ඉස්සෙල්ලාම විවෘත කරපු දවසේ.
අම්මා නිහඬව ශාන්තව ඒ ගමන ගියා හැමදාමත් එයාගේ මුව අග රැඳුණු හීං හිනාවත් තියා ගෙනම.
"අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ"
ධර්මසිරි අය්යා කීව ඒ දේට වඩා, තවත් විටෙක ඩබ්. ඒ. අබේසිංහ නන්දා මාලිනිය ලවා රන්බණ්ඩා සෙනවිරත්නයන් කපූ ලවා කී ඒ දේට වඩා තවත් දැනෙන අම්මාවරුන්ගේ සුවඳ අප හැමෝගෙම ආත්මීය මංජුසාවල නිදන්ව ඇති. ඒ මව්ගුණ සුවඳ හදවත්වල රැඳිලා. ඒත් එක්ක හීං හීතලේට පොරව ගන්න අම්මගේ තාං චීත්තේ සුවඳත් තවමත් ඇඟ දැවටෙනව. අපි කාටත් බවගාමී මේ ජීවිතය එක්ක පහුරු ගාමින් හිත් අවදි කරන මතක අම්මාවරු, පියවරුන් ගැන අපමණව බැඳී ඇති.
අපේ අම්මගේ ලොකු දුව මා නුදුටු අක්කා බාලෙම ඔවුන් හැරගිය පසු ඔවුන්ට ලැබෙන්නේ මාත් මගේ රත්තරන් නංගිලා තුන්දෙනත්. අපේ අම්මට දරුවන් ලැබිල තියෙන්නේ අවුරුදු පහෙන් පහට. එතකොට මගේ ලොකු නංගී ලැබිල අවුරුදු දෙකක් ගිහිල්ලත් මං මගේ අම්මගෙන් කිරි බොනවා. මට මතකයි හෝඩිය පංතිය දෙවට දිගේ මං ගෙදර එන්නේ ඉඳිකඩ පැනගෙන.
අම්මා කියා ඇත්තේ මං ඉඳිකඩේ හරස් පොලු අරින්නේ ගලෝපියෝ කියා ගෙනලු. ඒ අම්මගෙ හැට්ටේ. ඇයි ආව ගමන්ම කිරි බොන්න. මගේ අම්මා මට සත් වසක් කිරි පොවලා. --- අම්මා පෙව් කිරි සුවඳ දිගේයා හදවත බර වී උණු කඳුළු ගලායා ඒ සෙනහස ලොව කොතන තිබේයා සොයා සොයා යමි මව්ගුණ බෝයා-----
හැම අම්මෙක්ම එහෙම වෙන්නැති. ඒ අතරේ පූරුවේ පව් නිසා ඒ මව්ගුණේට නිගා දෙන අම්මලා නැත්තේ නෑ. ඔවුන්ටද අම්මාවරුන්ගේ ගුණ සිහිව තමන් වැදූ දරුවන්ට මව්ගුණේ සෙත සලසාවා. තාත්තා එනකම් අම්මා අපි බලා ගත්තේ අපිට ආදරේ දෙම්න් වගේම වෙලාවකට අපිත් එක්ක ගෝරි දා ගන්නා ගමන්ම. ඒත් අම්මා අපිට කරදරයක් උනාම නොකා නොබී රැය දාවල නැතිව කැප වුණු හැටි. ඒක අම්මා කෙනෙකුට හැර A. I තාක්ෂණයෙන් හදන රුවකට හෝ බැරිවෙයි. ඒ තමයි අම්මාවරු.... මං පුංචි කාලේ භූමිතෙල් බොන්න හරි ආස ලු. ඔබට හිතුණෙණෙඊයා " කියා නේද? ඔව්! ඒත් මං පුංචි කාලේ ලාම්පු තෙල් (අපේ පැත්තේ ඉස්සර භූමිතෙල්වලට කීවෙ එහෙම. ඒ ඇයි දන්නවද අපේ ගෙවල්වල ඉස්සර රෑට පත්තු කළේ ලාම්පු. කුප්පි ලාම්පු.) මං ඒ දවස්වල අවුරුද්දට බිත්තිවල හුණු පිරියම් කරල ඊට යටින් ගාණ තාරපටියේ සුවඳ ඉඹින්නේ බිම දිගාවෙලා. ඒ සුවඳට මං ආස නිසා වෙන්නැති. බූමිතෙලිනුත් ඉස්සර ආවේ අද වගේ 'නසරාඬි' සැරක් නොවේ. දවසක් රෑක මං දැල්වෙන කුප්පි ලාම්පුවෙන් බූමිතෙල් බොන්න ගිහින් කුප්පිය පෙරළිලා ඇඳන් හිටපු ජංගියට ගිනි ඇවිළිලා . අම්මා කුස්සියේ රෑට උයමින් තාත්තා බෙලිගමුව වත්තේ වැඩට ගිහින්. මං කෑගහද්දී අම්මා ඇවිත් මාව බේරගෙන තියෙන්නේ අම්මගේ අතේ ඇඟිළිත් පුච්චගෙන ලු. ඒ දවස්වල ගලේවෙල රෝහලක් තිබිල නෑ. අම්මා මාවත් උස්සගෙන දඹුල්ල පැත්තට අඬ අඬා දුවගෙන ගීහිල්ලා. දඹුල්ලට කි.මී 16 තියෙනවා. ඒ කාලේ වාහන නෑ. මැල් කොම්පැනියේ බස් එකක් හරි පී. එල්. බෞද්ධසාර ලොරියක් ආවොත් තමා. කෝමහරි ඒ වෙලේ අම්මවයි මාවයි අරන් ගිහින් තියෙනවා පාරේ ගිය ලොරියකින්. අම්මා ගෙදර ට ඇඳන් උන්න චීත්තෙ පිටින්ම රෝහලේ. දවස් තුනක් ගිහින් තමයි මාව ගෙදර අරන් ඇවිත් තියෙන්නේ. තාත්ත කීව විදියට අම්මා ඒ දවස්තුන ම ඇඬූ කඳුළෙන්ලු හිටියේ. ඒ තමයි අම්මාවරු. තවමත් ඒ කැළලේ ලකුණ මගේ යටිබඩේ.
දවසක් මං ගෙදර යද්දී දොරවල් ඔක්කොම ඇරල. ඒත් අම්ම නෑ. මට හෙමින් මිමුණුම් හඬක් ඇහෙද්දී මං දුටුවේ තාත්තගේ සොහොන ළඟ වාඩි වෙච්චි අම්මා තාත්තගේ සොහොනට මොනවද කියනවා.
"පුතාලගේ තාත්තා මහවැව වපුරපු කාලේ ගේ පිරිලා වී ගෝනි. දැන් ලොකු කෙල්ල ඒක කරන්නේ. මේ කන්නේ අස්වැන්න අඩුයි කීවේ"
අම්මා බොන්න අරන් ගිය තේක ළඟ. මං දන්නව ඒක අම්මට නොවෙයි කියලා.
අපේ තාත්තට දවසට තේ දහයක් දුන්නත් ආදරණීයව හිනා වෙලා ඒක බොනව.
ඒ අපේ තාත්තා...
තාත්ත මියගිය පසුත් අම්මා අවුරුදු දාහතක්ම අපිවත් බලාගෙන තාත්තත් තනි නොකරම හිටියා.
ඒ අපේ අම්මා. ....
ඒ තමයි සම්මා සම්බුදු ගුණැති මව්වරුන්......
ඒ අම්මා අපි හැර ගිහින් අදට අවුරුදු තුනක්.
ඇය වෙනුවෙන් අද අපි කරන පින්කමෙන් ඔබ හැමගේ මව්වරුන්ට ද කුසල් අත්වේවා!
ජීවත්වෙන ඔබේ මව්වරුන්ට දීඝායු බෝ වේවා!
සියලු මව්වරු දුක් නොවිඳ ලොවට වැඩ ඇති දරුන් හදා නිවන් දකිත්වා!
- චම්මින්ද වෙලගෙදර -

