හෙළදිව කෙටිකතාව
දහවල් දොළහේ රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය දෙස ශාන්ති බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා. පුංචිම පුංචි දෙයක්වත් තමන්ට අතහැරෙයිද කියන බයෙන්. රූපවාහිනිය ඉස්සරහා ඉඳගන්න කලින් කණ්ණාඩි දෙකත් හොඳට පිහදාගෙනයි ආවේ. ඒ වෙලාවේ විකාශය වුණු ප්‍රවෘත්ති වලින් වැඩි වෙලාවක් වෙන්වී තිබුණේ නව රජයේ අමාත්‍ය වරුන්ගේ ලේකම්වරු වැඩ භාරගැනීමේ අවස්ථාවට. ඒ අතරින් වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් වරයාට වැඩි අවධානයක් යොමු වූයේ ඔහු කවුරුත් දැන හඳුනන ජනප්‍රිය චරිතයක් වූ නිසයි. ඉතා අඩු වයසින් ම දක්ෂ කීර්තිමත් දිසාපතිවරයකු ලෙස ලබාගත් නාමය ඔහුට මේ තනතුර ලැබීමට හේතුවී තිබුණා.
" ලතා අක්කත් ඉන්නවා"
සමීප රූප රාමුවක සිටියේ හිනා මුසු මුහුණින් යුතු ඔසරිය හැඳි ශාන්තිට වඩා වසර කීපයක් වැඩිමහලු කාන්තාවක්.
" මට මේ තරම් සතුටු නම් ලතා අක්කට මොන තරම් සතුටු ඇද්ද "
ශාන්ති හයියෙන් කිව්වේ උපනන්ද ළඟපාතක ඇතැයි සිතමින්. ඒත් ගිනි අව්ව ද නොතකා පත්තරය ගෙන ඒමට උපනන්ද කඩේට ගිය බව මතක් වුණේ වචන පිටවූවාට පසුව යි.
විශ්‍රාම ගොස් අවුරුදු පහක් පමණ ගතවූවත් බොහෝ සුළු අතීත සිද්ධියක් වුණත් දින වකවානු සහිතව මතක තබාගැනීමේ හැකියාවක් ශාන්තිට තියෙනවා. ශාන්තිට වඩා වසරක් වැඩිමහලු උපනන්දට අමතක බොහෝ දේවල් ශාන්තිට අද ඊයේ වගේ මතක යි.
ප්‍රවෘත්ති නිමා වීමෙන් පසුව රූපවාහිනිය නිවා දැමූ ශාන්ති ඒ පුටුවේ ම සිට තම කල්පනාව මෙහෙය වූයේ මීට වසර තිස් පහකට පමණ පෙර අතීතයටයි. එකල ශාන්තී සේවය කළේ හොරණ ප්‍රදේශයේ පාසලක. ශාන්තී ගේ ගමත් හොරණ ප්‍රදේශයේම යි. එකල තම එකම පුතුට වයස වසර තුනක් පමණ වන්නට ඇති. ශාන්තී උපනන්ද යි තමන්ට ම කියා නිවසක් සාදාගෙන බණ්ඩාරගම පදිංචියට ගියෙත් ඒ අවුරුද්දේ ම යි. එතෙක් ඔවුන් පදිංචිව සිටියේ ශාන්ති ගේ මහගෙදර ම යි.
මහගෙදර හිටියේ අම්මාත් තාත්තාත් පමණක් නිසා පාසල අවසන් වූ පසුව සතියකට දවසක් දෙකක් මහගෙදරට ගොඩවැදී සැපදුක් සොයා ඒම ශාන්ති ගේ සිරිතක්. ඔය කියන දවසේ ද කෙටි නිවාඩුවක් ගෙන මහ ගෙදරට ගොඩවූයේ මව මදක් අසනීපව සිටි බැවින් වැඩි වේලාවක් මව සමග රැඳෙන්නට හිතාගෙනයි. ශාන්ති ගෙට ගොඩවන විට කුඩා දරුවකු සමග පැමිණි පුද්ගලයෙකු ශාන්ති ගේ පියා සමගින් ආලින්දයේ කතාබහ කරමින් සිටිනු දුටුවත් ඒ කවුද යන මතකයක් ඇයට තිබුණේ නැහැ.
" දුවේ පොඩ්ඩක් එන්න "
තාත්තා ඇයට ඇමතුවේ මව සමගින් මවගේ අසනීපය පිළිබඳව කතාකරමින් සිටින අතරතුර ය.
" ඇයි තාත්තේ "
" දුව අඳුනනව ද මේ මාම ව "
" මූණ නම් හුරුයි. ඒත් හරියටම මතක නැහැ "
" මේ මැරුණු සීතා නැන්දාගේ මහත්තයා යසවර්ධන. මේ ඒගොල්ලන්ගේ බාල පුතා."
එවිටම විදුලි සැරයක් මෙන් ශාන්ති ගේ මතකයේ මැවුණේ මියගිය සීතා නැන්දාවයි. එය සිය දිවි නසාගැනීමක්. බෝධිය අසලින් ඇය කළු ගඟට පැන තිබුණේ දරුවාට වසර දෙකක් පමණ වන වයසේදී යි. ඒ වන විට අවුරුදු දොළහක පමණ වැඩිමල් පිරිමි දරුවෙකු ද ඔවුන්ට සිටි අතර මරණයට නිශ්චිත හේතුවක් කවුරුත් දැන සිටියේ නැහැ.
පසුව ආරංචි වූ පරිදි පොලිස් නිළධාරියෙකු වූ යසවර්ධනට රැකියාව අහිමි වී තිබුණේ බීමත්ව රාජකාරියේ යෙදීමේ වරදට ය. රැකියාව අහිමි වීවෙන් ඇතිවූ ලැජ්ජාව අගහිඟකම් මෙන්ම ඔහුගෙන් සිදුවූ අඩන්තේට්ටම් හමුවේ සිහි මද තත්වයට පත්වූ සීතා නැන්දා ගඟට පැන දිවි නසාගෙන තිබුණා. වැඩිමහලු දරුවා සීතා නැන්දා ගේ ඥාතීන් රැගෙන ගොස් තිබුණු අතර කුඩා දරුවාට අසීමිතව ආදරය කළ යසවර්ධන එම දරුවාව රැගෙන යාමට ඉඩදී තිබුණේ නැහැ. යන යන තැන දරුවා රැගෙන යමින් අතට අහුවන කුමක් හෝ රැකියාවක් කරමින් දවසම බීමතින් ගෙවූ යසවර්ධන අහල පහල නිවෙස් වල අයගෙන් ලැබෙන සහයෙන් දරුවා ලොකු කරගෙන ගත්තා. මේ පැමිණ සිටින්නේ එම දරුවා.
එදිනද යසවර්ධන පැමිණ සිටියේ ශාන්ති ගේ පියාගෙන් කීයක් හෝ ඉල්ලාගෙන යෑමට ය.
" දුවේ, මේ දරුවට දැන් අවුරුදු හයක්. ඉස්කෝලේකට දාලා නැහැ තවම. දුවට පුළුවන්ද ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. පුළුවන් නම් දූලා ගේ ප්‍රින්සිපල් එක්ක කතාකරලා බලන්න"
ශාන්ති දරුවා දෙස සැලකිල්ලෙන් බැලුවේ එවිටය. කිලුටු කමිසයක් හා හොඳටම කොට කලිසමකින් සැරසී සිටි කෙසඟ දරුවා ගේ තිබුණේ දවස් කිහිපයකින් නොනෑ පෙනුමකි.
" මෙහෙ එන්න පුතා මගේ ළඟට "
ශාන්තී දරුවා ගේ අතකින් අල්ලාගැනීමට සැරසුණු විට අත ගසා දැමූ දරුවා සතුරු බැල්මකින් ශාන්තී දෙස බලා තම පියා පිටුපස සැඟවුණි.
ඒ නෙත්වල ලියවී තිබුණේ හීලෑ නොවූ පෙනුමකි. කොණ්ඩය ද දෙකන් වසාගෙන වැඩී තිබුණු අතර දරුවාට තිබුණේ වයසට වඩා උස ගිය පෙණුමකි. තාත්තා ගේ කරුණු පැහැදිලි කිරීම හමුවේ දරුවා පාසලකට ඇතුළත් කිරීමට යසවර්ධන කැමති වූ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම භාර වූයේ ශාන්තිට ය.
එදා ගෙදර එන අතරත්, ආ පසුවත් ශාන්ති කල්පනා කළේ දරුවා පිළිබඳවය. තම පුතු දකින වාරයක් පාසා එම දරුවා වෙනුවෙන් ශාන්ති ගේ හිත හඬාවැටිනි. කෙසේ හෝ කුමක් හෝ මේ දරුවා වෙනුවෙන් කළයුතුම යැයි යන අධිශ්ඨානයෙන් නින්දට ගිය ශාන්ති උදෑසන පිබිදුණේ ඒ සඳහා සැලැස්මක් හිතේ ඇඳගෙනය.
එදා වෙනදාටත් කලින් පාසලට ගිය ශාන්තී වෙලාවක් බලමින් සිටියේ විදුහල්පතිවරයා හමුවීමටය. විශ්‍රාම යෑමට ආසන්න වයසේ පසුවූ මනා පෞරුෂයකින් හෙබි විදුහල්පතිවරයා සෘජු ගතිගුණ වල පිහිටා සිටි අයෙකි. පාසලට ඇතුළත්කිරීම පැහැර හැරි දරුවෙකු වෙනුවෙන් ඔහු කෙසේ පෙනී සිටී දැයි යන්න පිළිබඳව ශාන්තිට තිබුණේ චකිතයකි.
දහවල විවේකයෙන් පසුව තිබූ කාළඡේදයේදී විදුහල්පති හමුවූ ශාන්තී දරුවා පිළිබඳ සියළු තොරතුරු ඔහු හමුවේ තැබීය. මදක් කල්පනාවේ ගැලී සිටි විදුහල්පතිවරයා පැවසුවේ පසු දින උදෑසන උප්පැන්න සහතිකයත් රැගෙන දරුවා සමගින් පාසලට පැමිණෙන ලෙස පියාට දන්වන ලෙසයි. පාසල ඇරී මහ ගෙදරට ගිය ශාන්තී පියාට දන්වා සිටියේ කෙසේ හෝ හොඳ සිහියෙන් යසවර්ධන පසුදා පාසලට එවන ලෙසයි.
කියූ ලෙසටම ශාන්තී පාසලට පැමිණෙන විටත් යසවර්ධන දරුවා සමග පාසලේ ගේට්ටුව අසල අරලියා සෙවණේ බලා සිටියේය. ඔවුන් සමග පාසලට ඇතුළු වූ ශාන්තී කෙළින්ම ගියේ විදුහල්පති හමුවීමට ය.
පෙරදා දුටු ඇඳුම් වලින්ම දෙදෙනා ම සැරසී සිටි අතර දරුවා ගේ දෙපා වැසී තිබුණේ පමණට වඩා කුඩා සෙරෙප්පු යුගලකිනි. හරියට මුහුණවත් නොසෝදා තිබුණි. හිස කෙහෙ කලකින් පනාවක් දැක නොතිබිණි .පෙරදා බිව් කසිප්පු මතයෙන් නොමිදුණු යසවර්ධන පුටුව පෙන්වූවත් වාඩි නොවී බිත්තියට හේත්තුවී සිටියේ වැඩිය ළං වුවහොත් කසිප්පු ගඳ විදුහල්පතිවරයා ට දැනෙතැයි යන බියෙනි.
පොඩිවී කහ පැහැ ගැන්වී තිබූ උප්පැන්න සහතිකය පරීක්ෂා කළ විදුහල්පතිවරයා සැර පරුෂ ලෙස යසවර්ධන අමතමින් දරුවා ගේ අධ්‍යාපන අයිතිය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේ ය. දරුවා පාසලට නොදැමීමෙන් කර ඇති වරදේ බරපතලකම අවබෝධ කර දීම සඳහා යොදාගත් වාග් මාලාව යසවර්ධන ගේ හදවතට කාවැදුණු බව පෙනුණේ ගලන කඳුළු වලකා ගැනීමට කීප වරක්ම ඇස් පිසදමනු දැකීමෙනි. විදුහල්පතිවරයා ගේ දෙපා මුල වැඳ වැටුණු යසවර්ධන ඉල්ලා සිටියේ අනුකම්පා කර දරුවා පාසලට භාරගන්නා ලෙස ය. දරුවා පාසලට දැමීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ඔහු සතුව සතයක් වත් නොමැති බවද යසවර්ධන පවසා සිටියේ ය.
දරුවා නහවා ඇඳුම් සෝදා පිරිසිදුව සඳුදා උදෑසනින් රැගෙන එන ලෙස පැවසූ විදුහල්පතිවරයා, පොකට්ටුවෙන් ගෙන යම් මුදලක් යසවර්ධන අත තැබුවේ දරුවා ගේ කොණ්ඩය කප්පවා දත් මැද නහවාගෙන එන ලෙස දන්වමිනි. යසවර්ධන පිටව ගිය පසු කාර්යාලයේ කබඩයක් හැරි විදුහල්පතිවරයා එහි තිබූ කුඩා දරුවකුගේ නිල ඇඳුම් පාර්සලයක් ශාන්ති අත තැබූවේ මසාගෙන එන ලෙස දන්වමිනි.
දරුවා දැමීමට තීරණය වූයේ කාරුණික වැඩිමහලු ගුරුවරියක වූ පද්මා මිස් ගේ පන්තියටය. පාසල නිමවූ පසුව ශාන්තී පද්මා මිස් හමුවී නියමිත පොත් හා උපකරණ ලයිස්තුව ඉල්ලාගත්තාය. හවස උපනන්ද ආ පසුව ඔහු සමග බණ්ඩාරගම නගරයට ගිය ශාන්තී නිල ඇඳුම් රෙදි මැසීමට භාරදුන් අතර මසා නිමකළ නිළ ඇඳුම් කට්ටල් දෙකක් මිළට ගත්තා ය. දරුවාට අවශ්‍යවන පැන්සල මකනයේ සිට සියලුම උපකරණ මිලට ගත් ශාන්තී හොඳම වර්ගයේ සපත්තු කුට්ටමක් මේස් සහ දරුවාට යට ඇඳුම් ද ගත්තා ය. මේ සියල්ල අතර ඇයට දැනුණේ තමන්ගේම දරුවා පාසලට ඇතුළත් කිරීමට සැරසෙන්නාක් වැනි හැඟීමකි.
සඳුදා දිනයෙහි ශාන්තිව උපනන්ද විසින් මෝටර් රථයෙන් ම පාසලට ගොස් ඇරලුවේ ගෙනියන්නට තිබූ බඩුබාහිරාදිය හේතුවෙනි. ඒ වන විටත් දරුවා සමග යසවර්ධන අරලිය සෙවනේ බලා සිටියේ ය. දරුවා ගේ කොණ්ඩය කප්පවා තිබුණු අතර සෝදා නහවා ඇති බවක් ද පෙනෙන්නට තිබිණි. නමුත් දරුවාගේ ඇස් වල ඇති හීලෑ නොවූ බැල්ම නම් එසේම විය. තමා දමා යතැයි යන සැකයෙන් පියාගේ අතේ එල්ලී සිටියේ වඳුරු පැටවෙකු පරිද්දෙනි.
ලියකියවිලි වැඩ අවසන් කළ විදුහල්පතිවරයා දරුවාට නිල ඇඳුම අන්දවන ලෙස ශාන්තිට භාර කළේ ය. යසවර්ධනත් දරුවාත් සමග ගුරු විවේකාගාරයේ ඇතුළු කාමරයට ගිය ශාන්තී කොපමණ උත්සහ කළත් දරුවාට ඇඳුම් ඇඳගැනීමට කැමති කරවා ගැනීමට නොහැකි විය. පියා ගේ ඇඟේ දැඩිව එල්ලී සිටි දරුවා සියල්ල ප්‍රතික්ෂේප කළේ මුරණ්ඩු ලෙස කෑගසමිනි. අවසන ඇඳන් සිටි ඇඳුමෙන් ම දරුවා පංතියට රැගෙනයාමට සිදුවිය.
දරුවා පළමු ශ්‍රේණියට කැඳවාගෙන යන අතර ශාන්තී යසවර්ධනට බොහෝ උපදෙස් දුන්නා ය. දරුවා උදෑසන රැගෙන විත් නැවත දහවල් පැමිණ රැගෙන යන ලෙසත්, දරුවාට ආහාර තමන් රැගෙන එන බවත් ශාන්තී පැවසූ අතර එය ඇසූ යසවර්ධන ගේ මුහුණේ ඇඳී ගියේ සැනසුමක සේයාවකි. පංතියට යන විට පංතිය පටන්ගෙන තිබුණි. පද්මා මිස් හිටියේ දරුවා බලාපොරොත්තුවෙනි. දරුවා දුටු ගුරුතුමිය පැමිණ අතින් අල්ලා පංතිය තුළට කැඳවාගෙන යාමට සැරසුණා පමණි. ලතෝනි දෙමින් පියාගේ ඇඟේ එල්ලුණු දරුවා කුමන ආකාරයකටවත් පංති කාමරය තුළට ගත නොහැකි විය.
අවසන දරුවා ද සමගින් යසවර්ධන ද පංති කාමරය තුළට ගත් ගුරුතුමිය පංතිය කරගෙන ගියා ය. කිසිවක් කෙරෙහි කිසිදු අවධානයක් නොදැක්වූ දරුවා වැරෙන් පියා ගේ අතක් බදාගෙන සිටියේ ය. විවේකයේදී දරුවාටත් යසවර්ධනත් යන දෙදෙනාටම කෑම ගෙන ගොස් දුන් ශාන්තී දරුවා සමග මිතුරු වීමට උත්සාහ දැරුවද ඔහු ශාන්තී දෙසවත් බැලුවේ නැත. පංතිය නිමවී දරුවා සමග පිටව යන යසවර්ධනට දරුවාගේ ඇඳුම් සහ සපත්තු බාරදුන් ශාන්තී පැවසුවේ පසුදා උදෑසන ඒවා අන්දවා ගෙන පැමිණෙන ලෙස ය. දරුවා ගේ පොත් පත් ගුරුතුමිය භාරයේම තබාගත්තේ වැඩි ආරක්ෂාවට ය.
පසුවදා ශාන්තී පාසලට යන විට දරුවා සමගින් යසවර්ධන පංතිය අසල සිටියේ ය. දරුවාට නිළ ඇඳුම අන්දවා තිබුණු නමුත් දරුවා ගේ සපත්තු යසවර්ධන අතක එල්ලාගෙන සිටියේ ය. එදිනද පංතිය නිම වන තුරුම දරුවා සමගින් යසවර්ධන ද පංතිය තුළම සිටි නමුත් දරුවා පියා ගේ අත අතහැර පුටුවක තනිව වාඩිවී සිටියේ ය. එයත් යම් ප්‍රගතියක් යැයි ශාන්තිට සිතිණි.
තුන්වන දිනයේ දී උදෑසන පද්මා මිස් සමග සාකච්ඡා කරගත් පරිදි දරුවා පංතියට ඇතුළු වීමේදීම දරුවා පමණක් පංතිය තුළට ඇදගෙන යසවර්ධන පිටතට තල්ලු කර දැල් දොරටුව වසා දැම්මා ය. දරුවා මොර දෙමින් දොරට පහර දෙන්නටත් බිම පෙරළෙන්නටත් වූ අතර සපත්තු ගලවා වීසිකර දැමුවේ ය. තමන් වෙතට ආ අනෙකුත් දරුවන්ට පහර දුන්නේ ය. ගුරුතුමිය ගේ අත සපා කෑවේ සතෙකු පරිද්දෙනි.
මේ අතර යසවර්ධන ද දොරටුවට පිටතින් සිට කඳුළු සලමින් හැඬුවේ ය. සිදුවෙමින් පවතින කලබැගෑනිය ආරංචි වූ විදුහල්පති තුමා පංතියට පැමිණ මහ හඬින් වේවැලෙන් මේසයට පහර දුන් අතර බියේ වෙව්ලා ගිය දරුවා වහා පුටුවේ වාඩි විය. මේ අවසරයෙන් පංතියෙන් පිටතට පැනගත් ශාන්තී අමාරුවෙන් කැමති කරවාගත් යසවර්ධන ගේට්ටුවෙන් පිටතට යැව්වාය. එදින පංතිය නිම වන තුරුම දරුවා දැල් දොරේ එල්ලී පිට්ටනිය කෙළවර අරලිය ගස් සෙවණ දෙස බලාගෙන සිටි අතර යසවර්ධන එහි සිට පංති කාමරය දෙස බලාගත්වනම බලා සිටියේ ය.
පුදුමය වූයේ කෙතරම් අකමැති වූවත් දරුවා දිනපතා පාසැල් පැමිණීම ය. එමෙන්ම යසවර්ධන දරුවා රැගෙන ඒමය. දින කිහිපයක්ම දරුවා ඇතුළට දමාගෙන දොර වසා ගත් අතර ඒ දින කිහිපයේම පංතිය නිම වන තෙක් යසවර්ධනද අරලිය සෙවනේ රැඳී සිටියේ ය.
ඊළඟ සතියේ සඳුදා දිනයේ දී විදුහල්පති වරයා යසවර්ධන ගෙන්වා අවවාද කළේ දරුවා පංතියට දමා පිටව ගොස් පංතිය අවසන් වූ පසූව රැගෙන යාමට පැමිණෙන ලෙස ය. යසවර්ධන හඬමින් පිටව ගිය අතර දැල් දොර අතරින් පාළු අරලියා සෙවණ දෙස බලමින් දරුවා ඒ සතිය ද ගෙවා දැම්මේ ය. නමුත් දරුවා විවේකයේදී ශාන්ති ගෙන ගොස් දෙන ආහාර බලාපොරොත්තුව සිටියේ ය. ශාන්තිට මදක් හීලෑ ගතියක් ද ඔහු පෙන්වන්නට විය.
පාසලට පැමිණෙද්දී සපත්තු දමාගෙන එන්නට හුරු වූ දරුවා ආ විගසම එය ගලවා පුටුව යටට තල්ලු කර දැමුවේ ය. ආපසු යන විට අතේ එල්ලාගෙන ගියේ ය.
දරුවා කුඩා හෝ ක්‍රියාකාරකමකට හුරු කරවා ගැනීමට මසක් පමණ ගතවිණි. ගුරුතුමියේ කරුණාව හා ඉවසීම හමුවේ අකුරක් ලිවීමට හා කියවීමට හුරු වන විට මාස දෙකක්ද ඉක්ම ගොස් තිබිණි. ඒ වන විට දරුවා අනෙක් දරුවන් සමග ද යම් මිත්‍ර සන්ධානයක් ඇති කරගන්නා තත්වයටද පත්ව තිබුණි.
සෑම දිනකම ශාන්තී දරුවාට උදය ආහාරය සමඟ ම දහවලට බත් මුලක් ද බැඳගෙන ගියේ යසවර්ධනට ද සෑහෙන පරිදි ය. මාස හයක් පමණ ගතවූ තැන පංති භාර ගුරුතුමිය පැවසූවේ දරුවා සීග්‍රයෙන් ඉගෙනීමේ කටයුතු වලට එකතුවෙමින් ඉන්නා බවයි. තවත් දරවෙකු හා අත්වැල් අල්ලාගෙන ඇවිදින දරුවා පාසැල් කොරිඩෝවේදී හමුවූ දිනයේදී ශාන්තිට දැණුනේ තමන් ජයග්‍රහණය කර ඇති බවකි.
ශාන්ති හදිසියේ නිවාඩු ගන්නා දවසට දරුවාගේ උදෑසන සහ දහවල් ආහාරය පංතියට ගෙනගොස් දෙන ලෙස භාරකර තිබුණේ පාසල් ආපණ ශාලාව කරනා ලතා අක්කාට ය. ක්‍රමයෙන් දරුවා ශාන්ති නොමැති දින වලදී ආපන ශාලාවට ගොස් ලතා අක්කාගෙන් ආහාර ලබාගැනීමට හුරු විය. ඒ ආකාරයෙන් ලතා අක්කා සමගද දරුවා ගේ සුහදත්වයක් ගොඩනැගිනි.
දිනක් ශාන්තී ආපන ශාලාවට ගිය අවස්ථාවේදී ලතා අක්කා විමසා සිටි දෙයින් ශාන්තී පුදුමයට පත්විය.
" මිස්, දේශාන් ගේ තාත්තා දේශාන්ව හදාගන්න දෙන්න කැමති වෙයිද "
" කාටද "
" වෙන කාටවත් නෙවෙයි මිස් මට. මම කැමතී ඒ පුතාව හදාගන්න.මගෙම දරවෙක් වගේ ලියකියවිලි මොකුත් ඕන නැහැ මිස් මට ඕන දරුවට හොඳට උගන්නලා ලොකුමහත් කරන්න විතරයි. ඊට පස්සේ තාත්තා ළඟට ගියත් මට කමක් නැහැ. "
ඒ වන විටද උසස් පෙළ කරනා දියණියක් සිටි ලතා අක්කා හොඳ ගෙයක් දොරක් තිබූ යම් වත් පොහොසත් කමක්ද තිබූ කාන්තාවකි. ඇගේ සැමියා වූ පියසිරි අයියාද ඉතා ගුණ යහපත් පුද්ගලයෙකි.
" ඒක නම් හොඳ අදහසක්. දරුවගේ තාත්තා නම් කැමති වේවිද දන්නේ නැහැ. මම අහල බලන්නම් "
ශාන්තී , ලතා අක්කාට පොරොන්දු විය.
එදිනම හවස දරුවා රැගෙන යාමට පැමිණි යසවර්ධන ගෙන් ශාන්තී, ලතා අක්කා ගේ යෝජනාව පිළිබඳව විමසා සිටියා ය. ඒ වන විටත් රෝගී අබල දුබල තත්වයෙන් පසුවූ යසවර්ධන දරවකු හදා වඩාගන්නා තත්වයක නොසිටියේ ය. එදා වේල පිරිමහගැනීම කෙසේ වෙතත් කසිප්පු බීමට වත් මුදලක් නොමැතිව අසරණව සිටියේ ය.
කඳුළු පිරි දෙනෙතින් ශාන්තී දෙස බලා සිටි යසවර්ධන හිස සලා කැමැත්ක පළකළේ ය. මේ ආරංචිය ලතා අක්කාට පැවසූ ශාන්තී පවසා සිටියේ දරුවා හොඳින් යාළු කරගන්නා ලෙසයි. ඒ අනුව දින කිහිපයක් පාසල නිමවී ලතා අක්කා සමග ඇගේ නිවසට ගිය දරුවා පැය කිහිපයක් එහි ගතකොට හැන්දෑ වූ පසුව පියා සමග ගොස් තිබිණි.
ලතා අක්කා ගේ නිවසට හුරු වූ දරුවා එහිම නැවතිනි. අන්ත අසරණව අනාථ වන්නට සිටි දරුවකුට අම්මෙක්, තාත්තෙක්, සහෝදරියක් මෙන්ම සෙනෙහස පිරණු නිවසක් ද ලැබුණේ ඒ අයුරිනි. වරින් වර පැමිණ දරුවා දැක බලා ගිය යසවර්ධන ගේ ගමන නැවතුණේ බීමතින් පාර මාරුවීමට ගොස් ලොරියක හැපී අවසන් ගමන් යාමට සිදුවීමෙනි.
ශාන්තිට බණ්ඩාරගමට මාරුවීමක් ලැබුණේ දරුවා තුනේ පංතියේ ඉගෙනුම ලබද්දීය. ඒ වන විට ලතා අක්කා පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බව ශාන්තීට අවබෝධ වී තිබිණි. නැවත ශාන්තීට දරුවා දකින්නට ලැබුණේ වසර තුණකට පමණ පසුවය. ඒ ශාන්තී ගේ පියා ගේ අවමංගල්‍යයේදී ය. ඒ වන විට ඔහු හයේ පංතියට සමත්ව සිටියේ ය.
නිතර නිතර හමු නොවූවත් විටින් විට දුරකථනය ඔස්සේ තොරතුරු සොයා බැලූ ශාන්තිට නැවත දරුවා මුණගැසුණේ ඔහු අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්ව ප්‍රතිඵල පැවසීම සඳහා ලතා අක්කා සමගින් ශාන්තිලා ගේ නිවසට පැමිණි දිනයේදී ය. උසස් පෙළ සඳහා කලා විශයන් තෝරාගෙන තිබුණු අතර ශාන්තීද ඒ පිළිබඳ සතුටු විය.
ඔය කාලයේදීම ලතා අක්කා ගේ දියණිය ද විවාහ වී දුර බැහැර ප්‍රදේශයකට ගිය අතර දේශාන්ට මවගේත් පියාගේත් ආදරය සෙනෙහස තනිව භුක්ති විඳීමේ අවස්ථාව උදාවිය.
දේශාන් උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණු අතර නැවත ශාන්තිට ඔහුව දකින්නට ලැබෙන්නේ පියසිරි අයියා ගේ අවමංගල්‍යය අවස්ථාවේ ය. හදිසිමරණයක් වූ එහිදී දේශාන් බෙහෙවින් කම්පනයට පත්ව සිටියේ ය.
වරින් වර සිංහල අවුරුදු වලට ලතා අක්කා සමග ශාන්ති බැලීමට ආ දේශාන් විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවයට එක්විය. දේශාන් ඉදිරිපිට කිසි විටක ඔහු ගේ අඳුරු අතීතය පිළිබඳව නැවත මතක් නොකිරීමට ශාන්ති මෙන් ම ලතා අක්කා ද පරිස්සම් වූණි. දේශාන් ලතා අක්කා ඇමතුවේ ලතා අම්මා ලෙසිනි.
පිළිවෙලින් උසස් වීම් ලබමින් ඉහළට ගිය දේශාන් පරිපාලන සේවා විභාගය සමත්වි පරිපාන සේවයට එක් විය. මේ අතර ඔහු සමගම විශ්වවිද්‍යාලයේ සිටි යුවනි හා විවාහ විය. ඇය ද දේශාන් මෙන් ම යහපත් දියණියක වූ අතර දියණියන් දෙදෙනාගේ එක්වීමත් සමගම දේශාන්ට තම පවුල සම්පූර්ණ විය. තමන් වාසය කළ නිවස තම දියණියටම ලියා දී ලතා අක්කා ද දේශාන්ලා සමගින් කොළඹ නිවසේ වාසය කරන බවත් ලේලිය තමන්ට මවට මෙන් සලකන බවත් ලතා අක්කා ශාන්තිට දුරකථනයෙන් අමතා පැවසූවේ මේ මෑතකදී ය.
වරක් තමන් උගත් පාසලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේ දේශාන් ය. ශාන්තිටද ආරාධනාවක් තිබූ බැවින් ඇයටත් එයට සහභාගි වීමේ අවස්ථාව උදාවිය. එහිදී තම අතීතය පාසැල් දරුවන් ඉදිරියේ දේශාන් විස්තර කළේ ඔවුන්ට ආදර්ශයක් වන පරිද්දෙන් ය.
"ඔය දරුවන්ට ඉන්නේ එක අම්මයි. ඒත් මට මේ ජීවිතයේ මව් ගුණයෙන් පිරිපුන් මව්වරු කීපදෙනෙක් ම හමුවී තියෙනව. ඒ මව්වරුන් ගේ සෙනෙහස විඳලා තියනවා. ඒවගේම මනුසත් ගුණයෙන් පිරි පියවරු හමුවී තිබෙනවා. ඒ නිසා මම ඉතා වාසනාවන්ත දරුවෙක් "
දේශාන් ගේ කතාව අසාගෙන සිටි තමන් මෙන් ම ලතා අක්කා ද, පද්මා මිස්ද එක විටම කඳුළු පිසලනු ශාන්තී දුටුවා.
අද වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ වැඩ භාරගත්තේ ඒ දේශාන් විජේසේකර ය. ශාන්ති ගේ හදවත පිරී ඉතිරී යන්නේ තම කුසින් බිහිවූ දරුවකු පිළිබඳව ඇතිවන්නාක් වැනිම වූ ප්‍රමෝදයකිනි. වෛද්‍ය වරයකූ ලෙස තම පවුලත් සමග එංගලන්තයේ ජීවත්වන තම කුසින් බිහිවූ පුතුගේත් දේශාන්ගේත් සාර්ථකත්වය පිළිබඳ සොම්නසේ කිසිදු වෙනසක් ශාන්තිට දැනෙන්නේ නැත. අනුන්ගේ දරුවකු වෙනුවෙන් කිරි එරෙන අම්මලා ඇතිනි පරපුරේ පමණක් නොව මිනිස් සමාජයේ ද සිටින බව ශාන්තිට ප්‍රත්‍යක්ෂ ය.
