උණුසුම් පුවත්කාලීනදේශපාලන

අයහපත් රාජ්‍ය පාලනය සහ මහ බැංකු දූෂණ

විමල් වීරවංශ සමඟ සාකච්ඡාවක්

 ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ ජනාධිපති අනුර දිසානායකගේ රජය විසින් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ධුරයෙන් ඉවත් නොකිරීමට හේතු සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම පිළිබඳවයි. මහ බැංකු නිලධාරීන් වෙනුවෙන් අතිශය ඉහළ පොලී අනුපාත සහ මූල්‍ය වංචා (අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැඳුම්කර සිද්ධියට සමාන බවට සැසඳීමක් ද සහිතව) පිළිබඳව විස්තර කෙරේ. තවද, අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දේශපාලන පසුබිම සහ දරුවන් හිංසනයෙන් ආරක්ෂා කිරීමේ පනතට ගෙන එන ලද සංශෝධන ගුරු වෘත්තියට ඇති කරන අහිතකර බලපෑම ද විවේචනයට ලක් කරයි.

මේ ඔහු සමඟ කෙරුණු සාකච්ඡාවේ දී අපෙන් යොමු කෙරුණු ප්‍රශ්න
ප්‍රශ්නය - අනුර දිසානායක ජනාධිපතිතුමා සහ මාලිමාවේ දේශකයෝ කීප දෙනෙක්ම පහුගිය කාලේ ඡන්ද කාලෙදි වත්මන් මහ බැංකුවේ අධිපති නන්දලාල් සහ මේ මහින්ද සිරිවර්ධන කියන දෙන්නාව වහාම තනතුරු වලින් ඉවත් කරනවා කියන බලාපොරොත්තුවක් සහ අදහසක් දීලා තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. මේ වෙනකොට ඊට වඩා හොඳින් ඔවුන් දෙදෙනාම පිහිටුවලා. ඒක සිද්ධ වුණේ කොහොමද? විදේශීය බලපෑමක් නිසා තියාගන්න සිද්ධ වුණාද කියන එක ඔබතුමාගෙන් අහන්න කැමතියි.
දෙවෙනි කාරණාව, මේ මහ බැංකුවේ EPF, ETF පොලී අනුපාතයත් පහුගිය කාලේ ඉතා විශාල, සැලකිය යුතු ගානකින් ඉහළ ගියා.  අනිත් අර්ධ රජයේ සේවකයන්ට තියෙන හා පෞද්ගලික අංශයේ සේවකයන්ට තියෙන ගාන නෙවෙයි මහ බැංකුවේ අයට තියෙන්නේ. ඒක ගෙවිඳු කුමාරතුංග පාර්ලිමේන්තුවේදී කීප වතාවක්, පහුගිය කාලේ මතු කළත් ඒක ඉස්මතු වුණේ නැහැ. දෙවෙනි කාරණාව, ඒ ගැනත් අවධාරණය කරන්න කැමතියි.
තුන්වෙනි කාරණාව, මේ අර්ජුන් මහේන්ද්‍රන් කරලා තියෙන අපරාධය සහ වරදත්, නන්දලාල් වීරසිංහ කරලා තියෙන අපරාධය සහ වරදත් අතර මොන වගේ සමානත්වයක්ද තියෙන්නේ?
විමල් ඒ ප්‍රශ්න තුන ගැන දක්වන ලද අදහස්
පිළිතුර - ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇතුළු එහි ප්‍රබල පුද්ගලයන්, මම කලිනුත් සඳහන් කළා වගේ, ජනාධිපතිවරණයට පෙර වර්තමාන මහ බැංකු අධිපතිවරයාවත්, මීට පෙර හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ භාවිතයත් ඉතාම බරපතල ලෙස විවේචනයට ලක් කළා, චෝදනාවට ලක් කළා. "විශේෂයෙන්ම ජනාධිපති අනුර දිසානායක ඒ තනතුරට පත්වෙන්න කලින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, ඔවුන් බලයට ආපු විගස මේ අය පිළිබඳව දැඩි තීරණ ගන්නවා කියලා. නමුත් කිසිම දෙයක් වුණේ නැහැ**. ඉතින් ඒ කාරණය විතරක් නෙවෙයි, කියපු ගොඩක් දේවල් එහෙම වුණේ නැහැ. ඒ නිසා රටට ඒක එච්චර අරුමයක් නෙවෙයි. නමුත් කියපු විදිහට මේකවත් වුණේ නැහැ. මේක මුදල් වියදම් වෙන දෙයක් නෙවෙයිනේ. මේකවත් වුණේ නැහැ.
වුණේ නැත්තේ වෙන මොකක්වත් නෙවෙයි. මේගොල්ලොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී තිබෙන මාර්ගෝපදේශකත්වය අනුව තමයි ගමන යන නිසා. එහි වහල් රූකඩ බවට පත්වී තිබෙන නිසා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගහන පදයට හැර තමන්ගේ පදයකට නටන්න කිසිම හැකියාවක් මේ අය හිමි කරගෙන නැති නිසා. ඒ නිසා මේගොල්ලෝ ඔය කියන පම්පෝරි ගහලා ආවත්, මොනතරම් ගර්ජනා නගලා, චෝදනා නගලා ආවත් මහ බැංකු අධිපතිටවත්, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාටවත් අත තියන්න බැරි වුණා. ඒකට හේතුව ‘‘ඒ දෙදෙනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තේරීම වීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තේරීමක් බව මම හොඳටම දන්නවා. මේ අයව නිර්දේශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවසාන කාල පරිච්ඡේදයේ රටේ ආර්ථිකය ඉතාම තියුණු අර්බුදයකට පත්වෙලා තිබිච්ච වෙලාවේ නිව්යෝර්ක් වලින්. නිර්දේශ කළා විතරක් නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ලංකාවට පැමිණි හැම වෙලාවකම ඔවුන් ධුරයේ තබා ගැනීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය නැවත නැවත අවධාරණය කරලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ ගැන අපට ඇතැම් අවස්ථාවල ප්‍රකාශ කළා. ඉතින් ඒ කරුණු අනුව පැහැදිලිව පේනවා මේ දෙදෙනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෝරා ගැනීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකට දීග කන, මූල්‍ය අරමුදලේ පදයට නටන, ඒ මූල්‍ය අරමුදලේ රූකඩ පාලනයකට වෙනත් පදයකට නටන්න කිසිම හැකියාවක් නැහැ.
මේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් හෝ මම කියපු කලින් හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධයෙන් ඡන්දවලට කලින් කියපු පම්පෝරියට අනුව පියවර ගන්න බැහැ. ඒ නොහැකියාව සහ බැරිකම තමයි ඔය පෙන්නුම් කරමින් ඉන්නේ. ඊළඟට, ඔබ සඳහන් කළා මහ බැංකුවේ ඉහළ ඉන්න අය මිලියන ගණනින් වැටුප් වැඩි කරගත්තා කියලා. ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවයේ සිටින අනිත් අයට EPF, ETF වල පොලී අනුපාතයට වඩා ඉහළ පොලී අනුපාතයක් මහ බැංකුවේ ඉන්න අයට වෙනම විශේෂයෙන් ඔවුන් විසින් තීරණය කරගෙන තියෙනවයි කියලා. ඒ කියන්නේ ‘‘හැන්ද තියෙන අය, මුදල් අච්චු ගහන අය, සල්ලි අතේ තියෙන අය, මූල්‍ය ක්ෂේත්‍රයේ පාලනය තියෙන අය තමන්ට අභිමතාකාරයට තමන්ගේ හැන්දෙන් උපරිමෙන් තමන්ට බෙදාගන්නවා‘‘. හැබැයි හැන්ද නැති අය කීයක් හරි බෙදාගන්න ඉල්ලුවම ඒ සම්බන්ධයෙන් ඉතාම සෘණාත්මක, ප්‍රතික්ෂේප කරන සුළු ප්‍රතිචාර දක්වනවා.
ඒක තමයි මහ බැංකුවේ මෙතෙක් භාවිතාවේ අපි දැක්ක දේ. EPF වලත් මේ අතිශය විශාල ලාභයක්, ඉහළ පොලී අනුපාතයකින් අතිශය විශාල ආදායමකට හිමිකම් කියන මේ අය තමයි, මහ බැංකු අධිපතිවරයාම තමයි, අනිත් පැත්තෙන් අපි මේ අනාවරණය කරපු, ඔහු විසින්ම නිකුත් කරපු මහ බැංකු බැඳුම්කරවල, මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් වල මුදල් ආයෝජනය කරලා, මිලදී අරගෙන, මේ අතිශය විශාල ලාභයක් ඒ මගින් උපයන්නේ. ඉතින් මේ හැම එකකින්ම පේනවා, හැන්ද තියෙන අය තමන්ට අභිමතාකාරයට තමන්ගේ ධනය තර කර ගැනීම සඳහා ඒ හැන්ද පාවිච්චි කරනවා. මේ රටේ පොදු ජනතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කර්මාන්තකරුවන් ගොඩගැනීම සඳහා, ඔවුන්ගේ දුක් වේදනාවන් වලට පිළිසරණ වීම සඳහා ඒ හැන්දෙන් බෙදන්න කිසිම සූදානමක් නැහැ කියන එක මේකෙන් පැහැදිලිව අනාවරණය වෙනවා. ඉතින් අපි තවදුරටත් මේ හැන්ද තියාගෙන ඉන්න අයට තමන්ගේ බඩගෝස්තරය තර කරගන්න ඉඩ දීලා බලන් ඉන්නවද? නැත්නම් එවැනි අසාධාරණ, අයුක්ති සහගත ලෙස තමන් අතේ තියෙන හැන්ද පාවිච්චි කරන උදවියව කනෙන් අල්ලලා එළියට දාන්න පුළුවන් ගමනකට මේ රට හරවනවද කියන එක තමයි මේ රටේ පොදු ජනතාව තීරණය කරන්න ඕනේ.
ඇත්තටම ‘‘අර්ජුන මහේන්ද්‍රන් එක්තරා දුරකට කළේ මේ හා සමාන ක්‍රීඩාවක්‘‘. එකම දේ ඔහු කළේ, මහ බැංකු බැඳුම්කරවල අසාධාරණ පොලියක් තීරණය කරලා ඒකෙන් අයුතු වාසිය ගන්න පුද්ගලයාට මාටියා ගහගන්න ඉඩ හදා දීපු එක. ඒ වෙලාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු, මුදල් අමාත්‍යවරයා ඇතුළු කට්ටියත් මාටියා ගහන්න ඇති. ඒකෙන් අතිරේක ලාභයක් ලබාගන්න පුළුවන්කම ඇලෝසියස්ට ලැබුණා. ඒ අතිරේක ලාභයෙන් කොටසක් කට්ටියට බෙදාගන්න පුළුවන්කම ලැබුණා. ඒකත් මේ විදිහේම හොරකමක්. මෙතන වෙලා තියෙන්නේ වෙන කෙනෙකුට ඒ අතිරේක ලාභය ගන්න දීලා නැහැ. ‘‘නන්දලාල් මහත්තයා මොකද කරන්නේ? ඔහුම තීරණය කරනවා ආයෝජනය කරන්න. ඔහුම මිලදී ගන්නවා භාණ්ඩාගාර බැඳුම්කර. ඔහුම මිලදී අරගෙන ඔහුම අතිරේක ලාභය ලබනවා‘‘. අර වෙන කෙනෙක් ලබලා ඒකෙන් ගසා කෑමයි, තමන්ම අතිරේක ලාභය ලබා ගැනීමයි කියන දෙක අතර තියෙන සුළු වෙනස ඇරෙන්න, අර්ජුන මහේන්ද්‍රන් කරපු වැඩෙයි නන්දලාල් කරන වැඩෙයි අතර ලොකු වෙනසක් නැහැ.
ප්‍රශ්නය - ඒ කාලේ නම් ඒකට කිව්වේ 'මහා දවල් මහ බැංකු මංකොල්ලය' කියලා. මේ ප්‍රවෘත්තියට තවම නමක් නැහැ.
පිළිතුර - මේකත් ඉතින් මහා දවල් නෙවෙයි, මේක රෑත් වෙනවා ඇති මට පේන්නේ. ඒ තරම් තක්කඩි ක්‍රියාවක්.
ප්‍රශ්නය - දැන් මේකට නීතිමය වශයෙන් ගන්න පියවර කියන්න.
පිළිතුර - ඔව්, අපි දැන් ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. පළමුවෙන්ම අපි බලාපොරොත්තු වුණා, සැලකිය යුතු විශ්වාසයක් අපට නැතත්, රහස් පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කරන්න. ඒ වගේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් පැමිණිලි කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයක් කියලා එකක් තියෙනවා. ඒගොල්ලොන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් විශාල ක්‍රියාමාර්ග ගන්න. මෙවැනි අකටයුත්තක් කරපු මහ බැංකු අධිපතිවරයෙක්ව ඒ ධුරයේ තබා ගත යුතුද නැද්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් බරපතල පියවරකට යන්න පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට පුළුවන්. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගන්න පියවර, උත්තර දෙන මට්ටමකට තල්ලු කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා නොපමාව මේ තියෙන විපක්ෂය ඒ වැඩෙත් කරයි කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ කවුරුහරි මන්ත්‍රීවරුන්ට අපි ආරාධනා කරනවා, කරුණාකරලා අඩු තරමේ දවසක කල් තැබීමේ යෝජනාවක් හරි ගෙනල්ලා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡාවට, විවාදයට භාජනය කරලා ආණ්ඩු පක්ෂයේ අයට මේකට උත්තර දෙන්න සලස්වලා, ඔවුන් දරන මතය රට හමුවේ අනාවරණය කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා අපි ඔවුන්ගෙනුත් මේ වෙලාවේ ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නය - දැන් අල්ලස් කොමිසමේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඔබතුමාත් ඒ කාලේ දන්නවා ඇති නේද මේ නන්දන ගුණතිලක මහත්තයා ප්‍රකාශ කරපු දේ ගැන. ඔබත් ඒ කාලේ හිටියා නේද?
පිළිතුර - දැන්, මම ඔය නීති කමිටුව රැස් කරන්න මම කොයි වෙලාවකවත් සම්බන්ධ වෙලා නැහැ. මම ප්‍රචාරක ලේකම් හැටියට හිටියේ, ප්‍රචාරක හා සන්නිවේදන කටයුතු භාරව. ඒ නිසා නැහැ. හැබැයි මට මතකයි, මට පසුව, මම මේ මතක් කරාම මට මතකයට ආවා, එක්තරා අවස්ථාවක නන්දන ගුණතිලක සහෝදරයා දේශපාලන මණ්ඩලයට ඔය නීති කමිටුව පිළිබඳව විස්තර කරද්දී ඔය නමත් කියවුණා කියලා මට මතකයක් තියෙනවා. නීති කමිටුවේ සාමාජිකයන් අතර මෙන්න මෙහෙම කෙනෙකුත් ඉන්නවා කියලා, ඒ නම් කීපයක් කියාගෙන යද්දී මේ නමත් කියවුණා කියන මතකය මට තියෙනවා.
ප්‍රශ්නය - ඒ කියන්නේ ඔබට හොඳ මතකයක් තියෙනවා.
පිළිතුර - ඔව්, ඔව්. සමහර ඒවා හොඳට මතකයි.
ප්‍රශ්නය - ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් ඉඳලා තනතුරකට එන්න බැරිද?
පිළිතුර - විනිශ්චයකාරවරයෙක් වෙන්න බැහැ. එහෙමනම් එයා දිවුරුම් ප්‍රකාශයකින් කියන්න ඕන තමන් මේ කාලේ මෙන්න මෙහෙම එකක හිටියා කියලා.
ප්‍රශ්නය - පක්ෂයක ඉන්න බැහැ.
පිළිතුර - බැහැ. කලින් හිටියා නම් ඔහු ඒක කියන්න ඕන. එහෙම දෙයක් ඒ තනතුර ගනිද්දී කියලා නැහැ. අනික, මේ කොහොමද ස්වාධීන කොමිෂන් සභාවක පක්ෂයක හිටපු කෙනෙක් දාන්නේ? ඒක ස්වාධීන වෙනවද? දැන් මේ නීතිම, බරපතල ලෙස දරදඬු නීති ගෙනල්ලා, ඒ කොමිසමේ DG පත් කරන්න ඕන නිර්ණායක කියලා වෙනම පනතේ තියෙනවා. ඒ පනතේ තියෙන නිර්ණායකවලට පටහැනියි මේක. ඔහු මෙතෙක් දරපු විනිශ්චයකාර තනතුරටත්, මේ තනතුර දරන්නත් මේක අභියෝගයක්. දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී නීති කමිටුව කියන්නේ ඒකේ අභ්‍යන්තර කමිටුවක්. නිකම් ඡන්දේ දුන්නා කියන එක නෙවෙයි. ඒ නීති කමිටුව කියන්නේ දේශපාලන මණ්ඩල සභිකයෙක් ගිහිල්ලා කැඳවන කමිටුවක්. ඒකේ වැදගත්කම ඔබට පේනවනේ. මේක අල්ලස් හෝ දූෂණ කොමිසමට කරපු චෝදනාවක් නෙවෙයි. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙන චෝදනාවක්. ඉතින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒකට පෞද්ගලිකව ක්‍රියාමාර්ග ගන්නවා මිසක්, අල්ලස් හෝ දූෂණ කොමිසම මේක බදාගෙන ක්‍රියාමාර්ග ගත යුතු නැහැ. ඒක විහිළුවක්.
ප්‍රශ්නය - දැන් 88 කාලෙත්, ඊට පස්සේ කාලෙත් අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ, ඝාතන සිද්ධ වුණා... ඊට පස්සේ දේශපාලනයට ආවා ඒ සියල්ල ඉවත් කරලා. කෙනෙකුට එන්න බැරිද සියල්ල අමතක කරලා?
පිළිතුර - පුළුවන්, පුළුවන්. මේ තනතුරු දරන්න බැහැ. වෙන ඕන දෙයක් කරගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නය - දේශපාලනයේ ඉන්න පුළුවන්? දේශපාලන පක්ෂයක් හැටියට තහනම් කරපු පක්ෂයකින් ඇවිල්ලා ආයේ හොඳට පාලනයේ ඉන්න පුළුවන්නේ.
පිළිතුර - ඉතින් ඔය ඉන්නේ. තනතුර සම්බන්ධයෙන් පනතේම අවශ්‍ය සුදුසුකම් තියෙනවනේ. ඉතින් ඒ නීතියම තියෙනකොට ඒක කොහොමද ඔය කියන උදාහරණයට සමාන වෙන්නේ?
සංවාදය වෙනත් මාතෘකාවක් වෙත යොමු කරමු
ප්‍රශ්නය - දැන් මේ අගමැතිතුමිය කියනවා, දැන් සමාජ කතිකාවක් යනවා 'මේ දරුවන්ට හිංසා කරන්න එපා' කියලා. පැහැදිලිව කියනවා, ඒක 'දරුවන්ට හිංසා කරන්න එපා' කියන එකේ තියෙන වගන්තියක් පමණයි, නැතුව මේ ගෙනියන තරම්, මේ සමාජ කතිකාවතේ තියෙන තරම් එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා.
පිළිතුර - අගමැතිනියට දරුවන් ගැන තේරෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන අවාසනාව. අගමැතිනිය නොදන්නවා වුණාට, ඔය දණ්ඩ නීති සංග්‍රහයට ආපු සංශෝධනවල, පනතේ අන්තිමට තියෙනවා උදාහරණ ටිකක් දක්වලා. මානසික හිංසනය කියන්නේ මොකක්ද, ශාරීරික හිංසනය කියන්නේ මොකක්ද කියලා උදාහරණ තියෙනවා. අන්න ඒ උදාහරණවල තියෙනවා 'ශිෂ්‍යයෙක්, ගුරුවරයෙක්' කියලා. එතකොට මේක ශිෂ්‍යයන්, ගුරුවරුන් සම්බන්ධව කෙරිච්ච සංශෝධනයක් නෙවෙයි නම්, උදාහරණයට ඇයි 'ශිෂ්‍යයෙක්, ගුරුවරයෙක්' කියලා දාලා තියෙන්නේ? දැනටමත්, ඔය ලෝක ළමා දිනයේදී, අන්න ගුරුවරයෙකුට ගැහුවා මොණරාගල පැත්තේ ඉස්කෝලෙක, ශිෂ්‍යයෙක් චාජර් එකක්ද ෆෝන් එකක්ද තියාගෙන, ඒක ගත්තයි කියලා. ගුරුවරයා ඉස්පිරිතාලේ.
ඉතින් මේ පනත ගැන ආරංචි වෙච්ච පමණින් එසේ නම්, පනත සම්මත වූ පසුව කවර කතාද? මම කියනවා, ‘‘පනත සම්මත කළොත්, ඕකට අත උස්සපු හැමෝම ඉස්කෝලවල ගුරුවරු බවට පත් කරලා, වහාම අත්‍යවශ්‍ය රාජකාරියට යවන්න‘‘. දරුවන්ගෙන් කන කෑමක් කාලා, ආයේ ලේ පෙරාගෙන එන්න පුළුවන් එතකොට. පුළුවන් නම් ඒ අභියෝගය භාර ගන්න. ඔය මන්ත්‍රී ධුරය වෙන අයට භාර දීලා පුළුවන් නම් යන්න ඉස්කෝලෙක ගුරුවරයෙක් වෙන්න. මේ ආවේ උගත් බුද්ධිමත් ආචාර්යවරුනේ. ඉතින් ඒගොල්ලොන්ට ගුරු පත්වීමක් ලබාගන්න කිසිම නුසුදුසුකමක් නැහැනේ. ගිහිල්ලා ගුරු පත්වීමක් ලබාගෙන දරුවන්ට උගන්නවලා, හොඳ පාරවල් ටිකක් ලේ පෙරෙන්න කාලා ආවම, එතකොට තේරෙයි පනතේ සංශෝධන සිදු වුණේ කවුරුන් ඉලක්ක කරගෙනද කියලා.
ප්‍රශ්නය - ඒ කියන්නේ පාසල් ගුරුවරයෙක් වෙනවා කියන්නේ යුද්ධයට යනවා වගේ සන්නාහයක් දාගෙන යන්න ඕන.
පිළිතුර - මේ පනත සම්මත වීමෙන් පසුව මේ රටේ ගුරු වෘත්තියට සිද්ධ වෙන්නේ ඒකමයි. ගුරුවරු ඊට පස්සේ ආරක්ෂණවාදීව තමයි වෘත්තියේ නියැලෙන්න වෙන්නේ. දරුවෝ නිවැරදි මාර්ගයට ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්න ගුරුවරුන් මේකෙන් පස්සේ පැකිළෙනවා. 'අපි මොකටද අනුන්ගේ දරුවෝ හදන්න ගිහිල්ලා නිකම් පරිප්පු කන්නේ' කියලා ගුරුවරුන්ට හිතෙන්න පටන් ගන්නවා. විශ්‍රාම යාමට කිට්ටු වයසේ ඉන්න වැඩිහිටි ගුරුවරු ඉක්මනට විශ්‍රාම යන්න කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ මගින් ගුරු සේවයේ පුරප්පාඩු ප්‍රමාණය තවත් වැඩි වෙනවා. තරුණ උපාධිධාරීන් ගුරු සේවයට එන්න තියෙන ලැදියාව නැති වෙනවා. 'ඊට වඩා හොඳයි වෙන කම්කරු රස්සාවක් කරන එක' කියලා ඒ උපාධිධාරීන්ට හිතෙන්න පටන් ගන්නවා. **හැම පැත්තකින්ම සමාජය බිඳ වැට්ටවීමට, කඩා වැට්ටවීමට මේ ගොන් ආණ්ඩුවේ ගොං සංශෝධනය හේතුපාදක වෙනවා".
ප්‍රශ්නය - ඔබ බිල්ලෙක් මවනවා නිකන්, බය කරන්න වගේ.
පිළිතුර -  බිල්ලෝ මැව්වේ ඒගොල්ලොනේ. දැන් ඒගොල්ලොනේ ගොබෙල්ස්ලා වෙලා තියෙන්නේ. ඉතින් බිල්ලෝ මවපු කට්ටිය ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි බිල්ලෝ මවලා, 'රත්තරන් අස්සයෝ', 'උගන්ඩාවේ සල්ලි තියෙනවා' කියලා එක එක විදිහට මවලා ඒ බිල්ලෝ මත පදනම් වෙලා තමයි ඡන්ද ටික ගත්තේ. ඉතින් ඒගොල්ලොන්ට ගොබෙල්ස් සම්මානය අනිවාර්යයෙන් දැන් ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙම අයට නොබෙල් එකත් තව ඉස්සරහදී හම්බවෙයි.