පොත් රාක්කය
අරගලයේ අතුරු කතාවක්.
නිහාල් පී ජයතුංග
අරගලයේ අතුරු කතාවක් ඉතා රසවත් නිර්මාණ කෘතියකි. කෙටියෙන් සඳහන් කරනවා නම් එය එසේ ම ය.
කතුවරයා නිහාල් පී ජයතුංග ප්‍රකට කතාකරුවෙකි. හේ එළිදක්වන ලද මේ ගෙතුම ඔහුගේ විසි වැනි නවකතාව යි.
ලොව සරසන මල්, ගිම්හානය උදා නොවන්නයි, යුග පෙරළිය, සදාතන සෙනෙහසක්, මහදෙණියවත්ත,පවුරෙන් එහා, භීෂණයේ අතුරු කතාවක්, කළු බළල්ලු, උතුරට ගිය සෙබළකුගේ කතාවක්, සාපය, මාංචු හා සෙනෙහස, සාපලත් දේශයේ දී, සිත්තරකුගේ කතාවක් (ප්‍රථම කොටස), මල්ලිකාවෝ සහ නූතන අංගුලිමාල, සිත්තරකුගේ කතාවක් (දෙවන කොටස) රුහිරු පූජා, කමලාදේවි, ආදී නවකතා ද, ස්වර්ණලතාගේ බොඳ වූ සිහිනය, කඳුළු සලන ප්‍රතිමාවක් වැනි කෙටිකතා සංග්‍රහ දසුරිඳු අබියස, පහළ ගෙදර ඇත්තන්ගේ විත්ති නම් කාව්‍ය සංග්‍රහ ද්විත්වයක් ද, යොවුන් කතා තුනක් ද ඇතුළු ග්‍රන්ථ රැසක් හෙළ සාහිත කෙත අස්වද්දමින් ලියන ලද ඔහු 1971 අප්‍රෙල් කැරැල්ලේ චූදිතයක් වී සිරගතව දිගු කලක් රැජිණගේ බෝඩිමේ යකඩ කූරු ගණන් කළ සටන්කරුවෙකි.
මේ සියලු කතා ඔහු පබඳින්නේ සිරකරුවකු සේ විඳින ලද ඒ අත්දැකීම්වලින් ලද පන්නරයෙන් බව මගේ විශ්වාසය යි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයා බලයෙන් පහ කරන්නට තරම් ජන විරෝධයක්, රටේ පාලන බලය ජනපිබිදීමකින් නැත්නම් ජන අරගලයකින් වෙනස් කරන්නට තරම් ශක්තිමත් ගොනුවක් ඇති වූයේ රටේ පැවති ආර්ථික අර්බුදයේ ඵලයක් ලෙසිනි. ඒ ගැන කතා කිරීම නොව මෙහි අප අවධානය යොමු කළ යුත්තේ මේ කෘතියේ නිර්මාණාත්මක පැතිකඩ ගැන යි.
කතුවරයා භාවිතා කර ඇත්තේ ඉතා සරල සුමග බස් වහරකි. පාඨක සිත් මැනවින් ඇඳ බැඳ ගැනීමට හේ සමත්කම් පායි. පාඨකයාට ඉතා මැනවින් වටහා ගත හැකි බස් වහරෙහි ඇත්තේ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් ලේඛන ශෛලියක් නිහාල් ජයතුංග නම් කතාකරුවා උපයෝගි ඇත.
ඔහු ආදරයේ අරගලය ගැන වැඩි විස්තරයක් කියන්නේ නැත. එහි අතුරු කතාවක් ලෙස මේ කෘතිය ගෙත්තම් කරන්නට කතුවරයා ගත්තා වූ වෙසෙස් වෙහෙස සාර්ථක බව මගේ හැඟීම යි. කතුවරයා විසින් නිර්මාණය කරන ලද, එහි දැක්වෙන සිංහල - දෙමළ සම්බවයක් ඇති තිනෙත් නම් වෛද්‍යවරයා, හා ඔහුගේ බිරිය වන වැල්වැටිතුරෙයි ජන්මලාභය ලද ප්‍රභාකරන් ගේ ඥාතිවරියක වන වෛද්‍ය උමා, ඔහුගේ පියා තේමිය, වැඩිමහල් සොවුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත, රණවිරුවකු වන ජාලිය, ද සන් පුවත්පතෙහි උපදේශක කර්තෘ එරික් හා ගීත් ද ප්‍රධාන කොට ගත් චරිත රැසක් හරහා ඔහු අපට මේ කතාව කියයි.
පාඨකයා විටෙක දුකෙන් හා කනගාටුවෙන් මෙන් ම වේදනාවෙන් යුක්තවත් නිහාල් ගේ රචනාව කියවනු ඇති බව මගේ විශ්වාසය. රචකයා පෙන්වා දෙන කාරණා ඔස්සේ, සිය හැඟීම්, දැනීම් උකහා ගන්නට තරම් ඉතා ප්‍රාණවත් කතා විලාසයක්, මෙන් ම භාෂා විලාසයක් ද කතුවරයා සතු බව පෙනේ.
ඔහු ගේ බස රසවත් ය. හරවත් ය. භාවගීතයකි මේ පබැඳුම.
සිය කෘතිය කතාවේ අවසානය හේ එහි ආරම්භයට යොදා ගෙන ඇත. ඔහුගේ ඒ ගෙත්තමට සුදුසු අයුරිනි.
බීබීසී ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ශිර්ෂ පාඨයක් යැයි සඳහන් කරමින් නිහාල් අරගලයේ අතුරු කතාවක් උදෙසා ප්‍රවේශය ලබා ගනියි.
''අඬා වැටුණු නීතියේ දෙවඟනගෙන් සිනා පොදක්"
අරගල සමයේ නිර්මාණාත්මක චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ වන්දි පිළිබඳ ෙඑතිහාසික නඩු තීන්දුව.
වින්දිතයින් සතර දෙනාට ලක්ෂ සියයක වන්දියක්. නඩු ගාස්තු වෙන වෙනම.
වින්දිතයෝ මේ මුළු මුදලම ශිෂ්‍යත්ව අරමුදලකට ප්‍රදානය කරති.
කුමන්ත්‍රණය මෙහෙය වූ ඇමතිවරයාගේ පෞද්ගලික ධනයෙන් 50% ක්.
පොලිස් ප්‍රධානියාගේ පෞද්ගිලක ධනයෙන් 25% ක්
රජයෙන් 25% ක්
ඇමති ආරක්ෂක බුද්ධි නිලධාරියාගෙන් පාපොච්චාරණයක්. එයින් සියල්ල හෙළි වෙයි. ඇමති නිරුවත ගැලවෙයි.
2022 පසුගිය අරගල සමයේ හේතු සාධක නොදක්වා අත්අඩංගුවට ගෙන දින 207 ක කාලයක් පොලිස් ලොකප්වලත්, හතරවන තට්ටුවෙත්, රහසිගත ස්ථානවලත් රඳවා තබාගෙන වධ බන්ධනවලට ලක් වූ වෛද්‍ය තිනෙත් මුණසිංහ, හෙද පාලිකා මල්ලිකා ගුණසේකර, ඖෂධවේදීන් වන සුගත් පී. ජයසිංහ හා නන්දන මල්ලවආරච්චි යන වින්දිතයින් අවම වශයෙන් මහේස්ත්‍රාත් අධිකරණයකටවත් ඉදිරිපත් නොකළ බව මැනවින් පෙනී යයි.........." යනුවෙන් දැක්වෙන බීබීසී ප්‍රවෘත්තියක් පාදක කරගෙන නිහාල් පී. ජයතුංග සිය නිර්මාණ කුසලතා යළි යළිත් විශද කරමින් පිටු 360 ක් පුරා අරගලයේ අතුරු කතාවක් විසුරුවා ඇත.
කතුවරයා සිය මනඃකල්පිතය නිර්මාණය කර ඇත්තේ අරගලය සමයේ ඊට එක්ව හුන් අරගලකරුවන්ට ඖෂධ පිරිනමමින් වෛද්‍ය තිනෙත් හා හෙද පාලිකා මල්ලිකා ද, ඖෂධවේදීන් දෙදෙනකු වන කරන ලද සුගත් පී. ජයසිංහ හා නන්දන මල්ලවආරච්චි යන සිව් දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කරන ලද අනීතික ක්‍රියා කලාපය පාදක කර ගනිමිනි.
කෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා එක දිගට නොනවත්වා කියවීමට පාඨක සිත් ඇඳ බැඳ තබා ගන්නට නතුවරයා සමත්කම් පායි.
''දඩ බල්ලන්, වෘකයින්, කොටින්, ව්‍යාඝ්‍රයින් පමණක් නොව නිවෙස්වල ඇති කරන සුනඛයින් ද තම වපසරිය ආක්‍රමණය කරන විරුද්ධවාදියකුට එරෙහිව මුලින් ගොරවනව. දෙවනුව දත් විලිස්සා ගොරවනවා. තෙවනුව වියරුවෙන් ගොරව ගොරවා සටනට සූදානම් වෙනවා. අනතුරුව කුරුමානම් අල්ලා සටනට පිවිසෙනවා"
"උන් එහෙම කරන්නේ තම වපසරියටත් තම බලයටත් අභියෝග කරන එය පැහැර ගනීවිය යන චේතනාත්මක බියෙන්. සත්ත්ව ලෝකයේ පවතින ඒ න්‍යාය ධර්තමාවට වඩා හාත්පසින් වෙනස් පහත් ධර්තමාවයක් තමයි දියුණු යැයි සම්මත මිනිසා ළඟ තිබෙන්නේ......." (පිටුව 13)
''ඇයි මොකක්ද ප්‍රශ්නේ. ඔයා කවුද? මොන වාට්ටුවෙද ඉන්නේ කියලා" මං ප්‍රහ්න කීපයක්ම ඇහුවා. ඊට පස්සේ තමයි ඇඬීම නවත්තගෙන මංදිහා බැලුවේ"
''අනේ මැඩම් මට සමාවෙන්න. මං ආවේ දොස්තර මහත්තයා මුණගැහෙන්න. දොස්තර මහත්තයාගේ කකුල් දෙක අල්ලල වැඳල සමාව ගන්න"
මට මේ හතර බීරි කතාවක් වගේ ප්‍රහේලිකාවක්ත මං ශකිලාගේ මූන බැලුවා. ඔන්න ඔය වෙලාවේ තමයි ශකිලා මේ ලේඩි කවුද කියල කිව්වේ. කිව්වේ කැන්සර් හැදිච්ච කතාව විතරයි" (පිටුව 33)
ව්‍යෛ තිනෙත්ගේ හිත පැටලැවුණු නූල් බෝලයක් වගේ... CID කාරයින් ගැන මෙනෙහි කරන කොට ඇත්තේ සංසාරගත පිළිකුලක්. ඒක වෛරයක්ද? හිපොක්‍රටිස්ගේ පුත්‍රයන් වන ව්‍යෛවරුන්ට ලෙඩුන්ට වෛර කිරීම තහනම්. ඒත් පසුගිය කාලයේ මාස හයකට වැඩි කාලයක් පොලිසියෙත් සමහරක් CID කාරයන්ගේත් 'කාරුණිකත්වය' ජීවමානව අත්වින්දා. ඒක කවදාවත් අමතක කරන්න.
වෛද්‍ය තිනෙත් මෙහෙයුම් කාර්යාලයේ හෙදි ශකිලා අසලට එත්ම ඇය නැඟී සිටියේ උත්තේජන සෝපාහාස සිනාවකින් මුහුණ අලංකාර කරගෙන.
''සර් CID කොස්සෙක් ඇක්සිඩන්ට් වෙලා. මෙහාට ගේනවලු"
''කවුද ශකිලට කිව්වේ?"
''පොලිස් ගාඩ් එකේ SI මං කනේ ඇඟිලි ගහගන්න මිනිහට කිව්වා. හොඳවයින් ටිකක්" (පිටුව - 20)
වෛද්‍ය තිනෙත් තුවාලකරුව දැඩි පරීක්ෂාවට ලක්කරද්දි තුවාලකරුගේ මුහුන පිළිබඳව යම් මතකයක්. එය යළි යළිත් ඔහුගේ සිහියට නැගෙනුයේ කල් ඉකුත් වූ පරිගණකයකින් මතුව එන අතීත මතක සටහන් පරිද්දෙන්. ඔව් මේ එයා තමයි. ගහට ගහක් මොරටුවෙදි මුණගැහෙනවා. ඒත් මං හිපොක්‍රටිස්ගේ පුත්‍රයෙක්.
අමිහිරි වේදනාත්මක ඒ මතක අමතක කරමින් තුවාලකරුගේ හෘද ස්පන්දනය තුවාලවල තත්ත්වය, තුවාල සංඛ්‍යාව, ලේවල තත්ත්වය, අස්ථි බිඳීම් හෝ පිපිරීම්, මේ තඅවලා හදිසි අනතුරකින්? වාහන අක්සිඩන්ට් එකක් නං නෙවෙයි. කකුල්වල ඇට කැඩිල කුඩුවෙලා ඇත්තේ බර යකඩ පොලු ප්‍රහාරවලින, පපුවේ හා අත් බාහුවල ඇත්තේ තියුණු පිහි පහරවල් නැත්නම් කඩු පහරවල්, තිනේ ඇතුළු වෛද්‍යවරු තිදෙනාගේම ඒකමතික නිගමනය එයයි.(පිටුව - 24)
''මේ පේෂන්ට්ගේ භාරකාරයට අඬගහන්න"
ඒ සමඟම වාගේ වෛද්‍ය තිනෙත් ඉදිරියේ පෙනී සිටියේ මහ රෑත් අව් කණ්ණාඩි පැලඳ සිටින පුද්ගලයෙක්. උසයි. මහතයි. දඩාර් සයිස්. රාත්‍රී කාලයේ අව් කණ්ණාඩි පලඳින්නේ මෝඩයෝ. නැත්නම් වෙස් වලා ගැනීමක්. සඩාර් සයිස් වුණාට මිනහොගේ මූණේ ඉරියව්වලින් කියන්නේ බියගුලු ස්වරූපයක්.
වෛද්‍ය තිනෙත්ගේ මුවඟට හීනි ඇද මඳහසක් මෝදු වුණා.
''මේ පේෂන්ට් කවුද?"
''තේම්ස් ඇමතිතුමාගේ සිකුරිටි ඉන්චාජ් SI කෙනෙක්. නම රණබාහු"
වෛද්‍යවරයා දමනය කොට වැඩි අවධානයක් සමඟ විශේෂත්වයක් ගන්නයි ඒ තොරතුරු දැන්නුවේ. ඒ සමඟම වෛද්‍ය තිනෙත්ගේ දෙබැම හැකිළුණේ පුරන් කඳු මෙන් මොහොතක තද කල්පනාවකින්. මේ පුස්ගලයාගේ හැඩ රුව පමණක් නොව කටහඩත්... ඔව් කටහඩ හොඳට හුරු පුරුදුයි. රණබාහු.... රණබාහු... කියන නමත් අහල තියෙනවා. හතරවන තට්ටුවේ. ඒඔ් මහත්තයා රණබාහු හැඳින්වූයේ කුණකටුවා කියල.
''මට ඒ තොරතුරු වැඩක් නෑ. තමා කවුද?"
''ඕ මං මං පොලිස් අධිකාරි ජගත් වික්‍රම" ඒ වදන් පිටවූයේ සියුම් ගොතයකි. බොරුවක් කීමේදී ගොත ගැසීම සරල සිද්දියක්. ඒක බොරුව බව ඔප්පු කරන මනෝ ද්‍යිාත්මක සාක්ෂියක්.
''මට කරුනාකර පොලිස් අයිඩී එක දෙන්න"
ගොතයෙන් පැවසූ නිසා වෛදය තිනෙත්ගේ සැකය තීව්‍ර වුණා. පොලිස් හැඳුනුම්පත පරීක්ෂා කළ වෛද්‍ය තිනෙත්ට සැකය තහවුරු යි. ඔහුගේ මුව තිබුණ මඳ සිනාව විකසිත වුණා සෝපාහස අයුරින්. (පිටුව 24 – 25)
තමාට ඉතා චිරශ්චින සේ පහර දුන් පුද්ගයකු තමන්ගේ සරන පතා ගෙන එන්නේ බරපතල තුවාලවලින් යුත් රෝගියකු ලෙස යි. ඔහු තමාට කරන ලද කුරිරු පහරදීම් කෙරෙහි නොතකා තිනෙත් සිය වෘත්තීය ආචාර ධර්මවලට අනුව කරනා මෙහෙය ඒ අයුරින් ම කරන්නට කරනා වෙහෙස මහන්සිය කැපවීම මනුෂ්‍යත්වය යනු කෙබඳුදැයි විදහාපාන්නට නිහාල් සිය කෘතිය පාදක කර ගැනීම අතිශයින් ම සටහන් කළ යුතු කාරණාවකි. ලේඛකයා යනු නිබඳවම යහගුණයෙන් , මානුෂික ගුණාංගවලින් පිරිපුන් උත්තරීතර පුද්ගලයකු බව ඔහු රට ලොවට කියා පායි.
නිහාල් ගේ මේ වෑයම අස්සේ ඔහුගේ ගෙත්තම පාඨක සිත් උත්ත්‍රාසයට පත් කරන තැන් බොහෝ ය. ප්‍රස්තුතයට සරිලන සේ හේ සිය පන්හිඳ හසුරුවා ඇත්තේ අරගලයේ ප්‍රතිඵලය උත්කෘෂ්ටයට පත් කරන්නට ද? යන්න පාඨකයා සිය දැනුම ඔස්සේ සිතා බැලිය යුතු ය.
නිකිණි ගිම්හාන අහස් තලයේ ප්‍රචණ්ඩත්වය නිමා කරන වැහි වලා සතර දෙසින්ම, අහසට කළුවරක් බො වී මුළු අවට ම දැලි වලාකුළක් වෙන්නයි යසූදානම. පරිසරය තුළ ඇත්තේ නිහැඬියාවකට වඩා ශෝකාකූල බවක්. තිස් නමකට ආසන්න මහා සංඝයා වහන්සේ අසුන් ගෙන සිටින්නේ කවාකාර මේසයක් වටා. දෙපේළියකට. සුදු ඇතිරිල්ල එළාපු මූලාසනයේ අසුන තවමත් හිස්. උන්වහන්සේලා සියලු දෙනාගේම මුහුණු කයාපානුයේ වේදනාකාරී ස්වරූපයක්. කලකිරුණු ස්වරූපයක්. පිරිත් කියමින් හිඳගෙන සිටී මහා සංඝයා ඇතුළු පූජ්‍ය පූජක උතුමාණන්ලාට කඳුළු ගෑස් ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර දීම, ඊට එරෙහිව විරෝධය පෑමේ සත්‍යග්‍රහයක් පැවැත්වීම පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවක් මේ. මහානායක තෙරුන් වහන්සේගේ නියෝජිතයා, අනුනායක හිමියන් වැඩම කරන මේ මාහොතේ සියලුම හිමිවරු නැඟී සිටියා. එක්වරම උන්වහන්සේ මූලාසනයේ අසුන් ගත්තා. කැඳවුම්කාර මහාචාර්ය හාමුදුරුවෝ කාරණය පැහැදිලි කරමින්. (පිටුව - 355)
බුද්ධ පුත්‍රයන් හැටියට අපේ උත්සාහය මිසදුටු රජදරුවන්ගේ මිසදුටු පාලකයෙන් රට බේරා ගැනීම යි. ඒ වගේ ම මාස හයකට ආසන්න කාලයක් එක එක පොලිස් කූඩුවල හංගගෙන ඉන්න අපේ දෝසතර තිනෙත් මහත්යා හෙද පාලිකා මල්ලිකා නෝනා ඇතුළු හතර දෙනාට නිදහස උදාවේවා යන ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් අපි අපේ ආශිර්වාද සත්‍යග්‍රහය පවත්වනවා. මගේ ගුරු දේවයන් වන හිටපු අපේ කුලපති සිරිසීවලී නායක හාමුදුරුවන්ගේ ළඟම ඥාතියෙක්, දොස්තර තිනෙත්. මල්ලිකා නෝනා රාජකාරි කරන්නේ වැටුපක් පවා ගන්නේ නැතිවලු. ඒ නෝනලා අපේ මහා විහාරයේ වලාකුළු බැම්ම අලුතෙන්ඉදිකරල පූජා කළා. මම අහල තියෙනව ඒ නෝනා මහත්තයා විශාඛා සිටු දේවිය නමින් හඳුන්වනවා කියලා. ඒ වගේ කිසිම චෝදනාවක් නැතිව මාස හයකට වැඩි කාලයක් එක එක පොලිස් ලොකප්වල දුක් විඳින ඖෂධවේදී තරුණ ළමයි දෙන්නා. මනුෂ්‍යත්වයට ආදරය කරන දෙන්නෙක්" (පිටුව - 359)
කෝ එදා ගෝඨාගෝගම අරක් ගෙන සිටිය අරගලකරුවෝ, මේවා ගැන හිතෙන කොට මට ලොකු පසුතැවිල්ලක් ඇති වෙනවෙ. යම් වෙනසක් පිළිබඳව තරුණයින්ගේ හිත්වල කැකෑරෙන වේදනාවක් තිබෙන බව පේනවා. මටත් අවශ්‍ය කොපමණ පසුතැවිල්ලක් තිබුණත් පවතින ක්‍රමයේ වෙනසක්. ඒක මගෙත් එකම අපේක්ෂාව. (පිටුව - 271)
කවරකුට වුව මැනවින් සිය අදහස් වටහා ගන්නට, කියා පාන්නට හේ සූර ලෙස ලේඛනයේ යෙදී ඇත්තේ, මනා සංයමයකින් යුක්තව බව පැහැදිලි ය.
පාඨක කුතුහලය අවුස්සමින්, ඔහු ග්‍රහණයට ගන්නාවූ මේ රචකයා ගේ සමත්කම ගැන කියනුම කවරේ ද? එය හේ අපූරුවට ඉෂ්ට සිද්ධ කර ඇති අයුරු ප්‍රශස්ත ය.
අපහසුවකින් තොරව විනෝදයක් හා වින්දනයක් ලබන්නට, හේ පාඨකයාට ඉඩ කඩ විවර කර දේ. අරගයේ අතුරු නව්‍ය අදහස්වලින්, හැඟීම්වලින් පොහොනා රචනාවක් බව සඳහන් නොකර බැරි ය.
ඔහු යොදා ගෙන ඇත්තේ ඊට ම සරිලන ආකෘතියකි.
''අරගලයක අතුරු කතාවක් මනුෂ්‍යත්වය ගරු කරන සැවෙම රසවිඳිය යුතු නිර්මාණයක් වන බව මගේ හැඟීම යි" යනුවෙන් මේ කෘතියයට පසුවදන ලියනා නීතිඥ යූ. බී. ප්‍රේමතිලක මහතා සිය පළමු වැකියෙන් ම සඳහන් කර ඇති බව ද සටහන් කිරීම වැදගත් ය.
සිය මෙහෙය කර ඇත්තේ බොහොම මට සිලිටි වහරක් පාදක කර ගනිමින් බව පෙනේ.
සියුම් ලෙස සමාජයේ පවතින අඩුපාඩු දුර්වලතා, ආදිය ඔහුගේ පෑනට හසුවන්නේ නිසි තැනට නිසි වචන යොදා ගෙන යි. ඔහුගේ වචන ගොරහැඩි නැත. මටසිලුටු ද නොවේ.
ඒ අතින් බලන කළ කෘතහස්ථ ලේඛකයකු සේ නමක් දිනා සිටිනා නිහාල් පී. ජයතුංග මේ නවකතාව මෙතෙක් ලියන ලද සියලු නිර්මාණ අභිබවා අකුරු කරැති බව මට පෙනේ.
බස සරල ය. සුමග ය. පාඨක රුචිය වඩාලන්නට එබස් වහර පොහොනා ය.
ඔහුගේ ආකර්ශනීය බස් වහර රචනා විලාසය මනහර ය. ඒ ඒ චරිතවල මනෝභාව ඉස්මතු කරමින් නිහාල් පී. ජයතුංග සිය විසිවැනි නවකතාව ලියා ඇත්තේ අතීතාවර්ජනයක් සේ ය. ඒ අතීතාවර්ජනය පාඨක නෙත් සිත් ඇඳ බැඳගෙන එක හුස්මට කියවා රසවිඳින්නට අපූරු නිර්මාණ පරිචයකින් හේ එය නිමහම් කරැැැති බව සටහන් කරමි.
- සුගතපාල මැන්දිස් -