ප්‍රතිසංස්කරණ ඇස්තමේන්තුවක් නොමැතිව ලෝක ආධාර සමුළුව කොඩ උඩ - ගම්මන්පිල කියයි
ජනවාරි මස නව විගණකාධිපතිවරයෙක්
පසුගිය සති දෙකේ විවිධ සංවිධාන විසි ගණනක් මාස අටක් පුරා විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීමට ජනාධිපති අනුර දිසානායක මැතිතුමා අසමත් වීම පිළිබඳ ප්‍රශ්න කර තිබුණා. සිය කණස්සල්ල පළ කර තිබුණා. මේ ප්‍රශ්න කිරීම් මීට කලින් සිදුවුණා නම් ආණ්ඩුවෙන් ස්වාධීන පත් කිරීමක් බලාපොරොත්තු වෙන්න තිබුණා. ඒ සඳහා තිබුණු අවස්ථාව ජනවාරි 2 දා අවසන් වෙනවා. මොකද ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින් තුන් දෙනාගේ තුන් අවුරුදු නිල කාලය ලබන සතියේ අවසන් වෙනවා. 2025 ජූලි 14 දින අපි මාධ්‍ය හමුවක් පවත්වලා ජනාධිපතිවරයා විගණකාධිපතිවරයෙකු පත් නොකර කල් මරන්නේ ජනවාරි මාසය උදා වන තුරුයි කියලා මේ කාරණය හෙළිදරව් ක.
මාලිමා ආණ්ඩුව ස්වාධීන ආයතන වලටත් පත් කරන්නේ එක්කෝ කැළණි සගයෝ. නැතිනම් මාලිමා සහෝදරවරු. ජනාධිපති, අගමැති සහ සභානායක එකට එකතු වෙලා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත් කර ගත් දූෂිත මෙහෙයුම අපි රටටම හෙලි කලානෙ. එහෙම තමයි ස්වාධීන පත්වීමේ වෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථා සභාවට පත් කරන නියෝජිතයින් ස්වාධීනව කටයුතු කරාවි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.
ව්‍යවස්ථා සභාවේ නියෝජිතයින් ගණන දහයයි. කතානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් පත් වෙනවා. බිමල් රත්නායක සභානායකතුමා ජනාධිපති නියෝජිතයා ලෙස ඉන්නවා. ආදම් බාවා මන්ත්‍රිතුමා අගමැතිනිගේ නිර්දේශය මත පත් වී තිබෙනවා. අජිත් පෙර්රා මන්ත්‍රිතුමා විපක්ෂ නායකගේ නිර්දේශය මත පත් වී තිබෙනවා. සිවඥානම් ශ්‍රිදරන් මන්ත්‍රිතුමා සුළු පක්ෂ නියෝජිතයා ලෙස පත් වී තිබෙනවා. ඉතිරි තුන් දෙනා පත් කරන්නේ සිවිල් සමාජය වෙනුවෙන්.
වර්තමාන ව්‍යවස්ථා සභාව තුල ඉන්න සිවිල් සමාජ නියෝජිතයින් තමයි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිනිය, මහචාර්ය දිනූෂා සමරනායක මැතිනිය සහ ආචාර්ය ප්‍රතාබ් රාමනුජන් මැතිතුමා. මේ තිදෙනා තමයි පසුගිය වසර තුනේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය රැක්කේ. සාමාන්‍යයෙන් හරිනි අමරසූරිය, බිමල් රත්නායක, ආදම් බාවා සහ ශ්‍රීදරන් යන හතර දෙනා ජනපතිගේ නිර්දේශයට පක්ෂව තමයි කටයුතු කරන්නේ. සජිත් ප්‍රේමදාස සහ අජිත් පෙරේරා යන දෙදෙනා බොහෝවිට ජනපතිගේ නිර්දේශයට විරුද්ධව තමයි කටයුතු කරන්නේ. කතානායකට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ පක්ෂව සහ විරුද්ධව සමානව ඡන්දය භාවිතා කර තිබෙන අවස්ථාවක පමණයි. ඒ නිසා සිවිල් නියෝජිත තුන් දෙනාගේ මතය අනුව තමයි යම් නිර්දේශිත නාමයක් අනුමත වෙනවා ද නැද්ද යන එක තීරණය වෙන්නේ.
ජනාධිපතිවරයා අගවිනිසුරුගේ විරෝධය ද නොතකා දූෂිත විනිසුරුවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට උත්සාහ දරපු වෙලාවේ මේ නියෝජිතයින් ඒකට විරුද්ධ වුණු නිසා තමයි ඒ පත්වීම නවත්වා ගන්න පුළුවන් වුණේ. විගණකාධිපති තනතුරට සැබෑ සුදුස්සා වෙනුවට කැළණි සගයින් සහ මාලිමා සහෝදරවරුන් පත් කිරීමට ජනාධිපති දැරූ උත්සාහය පරාජය වුණේ මේ විරුවන් තිදෙනාට පිං සිදු වෙන්නයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සැබෑ සුදුස්සා වන මාධව තෙන්නකෝන් වෙනුවට රංග දිසානායක පත් කර ගැනීමට පුළුවන් වුණේ සභානායකවරයා තමන්ව බොරු කියලා නොමග යැවූ නිසා කියලා මේ අය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීලා දැනුම් දුන්නා.
වත්මන් ආණ්ඩුවේ විතරක් නොවේ තමන්ව පත් කළ පසුගිය ආණ්ඩුවේ පවා අවස්ථා ගණනාවක දී තමන්ට එකඟ වෙන්න බැරි නිර්දේශ ප්‍රතික්ෂේප කරන්න මේ නියෝජිතයින් තුන්දෙනාට කොන්ද තිබුණා. ඔවුන් තනතුරින් සමු ගන්නා මොහොතේ ඔවුන්ගේ අදීනත්වයට ජාතියේ ප්‍රණාමය ඔවුන්ට පුද කළ යුතුයි.
2026 ජනවාරි මාසයේ දී ව්‍යවස්ථා සභාවේ සාමාජික සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනාගේ ධූර කාලය අවසන් වෙනවා. මේ තිදෙනා අගමැති සහ විපක්ෂ නායකගේ එකඟතාවයෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් දෙදෙනාම එකඟ වෙන තුන්දෙනෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. ඒ නිසා අවසානයේ දී සිදුවුණේ අගමැති එක් අයෙකුත් විපක්ෂ නායක එක් අයෙකුත් නම් කරලා එක් අයෙක් විතරක් දෙදෙනාගේම එකඟත්වයෙන් නම් කිරීමයි. ඒ නිසා අගමැති නම් කරන පුද්ගලයා මාලිමාවේ හෙංචයියෙක් වුණොත් ව්‍යවස්ථා සභාවේ බහුතරය ආණ්ඩුවට ලැබිලා ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින්, විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති විගණකාධිපති වගේ වැදගත් තනතුරු වලට මාලිමා හෙංචයියන් පත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඔන්න ඔය කාරණය ජනාධිපතිතුමා දැන සිටි නිසායි විගණකාධිපති පත් කිරීම ජනවාරි උදා වන තුරු කල් මැරුවේ. අපි 2025 ජූලි 14 තරම් ඈතක මේ කුමන්ත්‍රණය රටට හෙලි කරත් ජනවාරි උදා වන තුරුම විගණකාධිපතිවරයා පත් කරන්න ආණ්ඩුවට පීඩනයක් එල්ල කරන්න විපක්ෂය සහ සිවිල් සමාජ ක්‍රියාකාරින් අසමත් වුණා.
ආණ්ඩුවක වංචා දූෂණ හෙලිදරව් කරගෙන පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ විගණකාධිපති. ලංකා ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් තමන්ගේ හෙංචයියෙක් විගණකාධිපති කර ගන්න මෙහෙම උත්සාහ කරලා නෑ. ලංකා ඉතිහාසයේ බිහි වුණු දූෂිතම ජනාධිපති අනුර දිසානායකයි කියන එකට මීටත් වඩා නිදසුන් ඕනෑ නෑ. තමන්ට වඩා දූෂිත ජනාධිපතිවරයෙකු සිටියා නම් ඒ කවුදැයි නම් කරන්න කියා අපි අනුර දිසානායක මැතිතුමාට අභියෝග කරනවා.
ප්‍රතිසංස්කරණ ඇස්තමේන්තුවක් නොමැතිව ලෝක ආධාර සමුළුව කොඩ උඩ
ලෝක බැංකු වාර්තාවේ මූලාශ්‍ර විශ්වාසනීයත්වයෙන් තොරයි
දිට්වා කුණාටුව විසින් ශ්‍රී ලංකාවට කර තිබෙන විනාශය පිළිබඳ දැනට එකිනෙකට වෙනස් ඇස්තමේන්තු තුනක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පළමු ඇස්තමේන්තුව ඉදිරිපත් කලේ අත්‍යාවශ්‍ය සේවා මහ කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා. දිට්වා කුනාටුවෙන් සතියක් ඇතුලත ඔහු ප්‍රකාශ කල දළ ඇස්තමේන්තුවට අනුව ප්‍රතිසංස්කරණ වියදම ඩොලර් බිලියන 6 ක් සහ 7 ක් අතර ගණනක්. අපි ඩොලර් බිලියන 6.5 ක් කියමු. ඊට පස්සේ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව කිව්වේ විනාශයේ වටිනාකම ඩොලර් බිලියන 4.1 ක් කියලා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවට අනුව ආර්ථික හානිය ඩොලර් බිලියන 16 ක්. ඒක දැවැන්ත මුදලක්. ප්‍රතිසංස්කරණ වියදම, විනාශයේ වටිනාකම සහ ආර්ථික හානිය එකිනෙකට වෙනස් සංකල්ප තුනක්. යම් අලෙවිසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වුණාම ඒ ගොඩනැගිල්ලේ උපකරණවල සහ බඩු තොගයේ වටිනාකම තමයි විනාශයේ වටිනාකම. ප්‍රතිසංස්කරණ වියදම කිව්වාම නැවත ඒ ගොඩනැගිල්ල ඉදි කිරීමට යන වියදම. ආර්ථික හානිය කිව්වාම විනාශයේ වටිනාකමට නැවත ඉදි කරන තුරු අහිමි වන ව්‍යාපාරික ලාභයත් එකතු වෙනවා.
දිට්වා කුණාටුවට මුහුණ දී මාසයක් ගත වුණත් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ දළ ඇස්තමේන්තුවට වඩා යමක් කරන්න ආණ්ඩුව අසමත් වෙලා. ආණ්ඩුව දැන් ලෝක ආධාර සමුළුවක් පැවැත්වුවහොත් ඒකේ දී සාකච්ඡා කරන පදනම් ලේඛණය විධියට පාවිච්චි කරන්න තිබෙන්නේ ලෝක බැංකු වාර්තාව විතරයි. ඒ වාර්තාවේ ඇස්තමේන්තුව ලංකාණ්ඩුවේ දළ ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 2.4 ක් අඩුයි. ඩොලර් බිලියන 2.4 ක් කියන්නේ සුළුපටු මුදලක් නොවේ. දැවැන්ත මුදල් සම්භාරයක්.
ඒ විතරක් නොවේ. ලෝක බැංකු වාර්තාවත් ආධාර සමුළුවේ දී අභියෝගයට ලක් වෙන්න පුළුවන්. තමන් තොරතුරු ලබා ගත් මූලාශ ඒ වාර්තාවේ දක්වා තිබෙනවා. ඒ අතරේ ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් අසත්‍ය තොරතුරු පතුරන බවට චෝදනා ලබා තිබෙන විශ්වාසනීයත්වය බිඳ ගත් රූපවාහිනි නාලිකා සහ වෙබ් අඩවි තිබෙනවා. මේ පසුබිම යටතේ ආණ්ඩුව විසින් තමන්ගේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම අතිශයින්ම වටිනවා. අවාසනාවට තවමත් ප්‍රතිසංස්කරණ වියදම පිළිබඳ නිල ඇස්තමේන්තුවක් හදා ගන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. දිට්වා අවසන් වී දෙවන මාසය ගත කරද්දිත් තවමත් ලෝක ආධාර සමුළුවට දින යොදා ගැනීමට ආණ්ඩුව කල් මරන්නේ නිල ඇස්තමේන්තුව හදා ගන්න බැරිවීම නිසා. ආණ්ඩුවට තවමත් ප්‍රතිසංස්කරණ වියදම සකසා ගන්න බැරි වුණේ ඇයි කියන එක රටට පැවසීම මුදල් ඇමති මෙන්ම ආපදා කළමනාකරණ ඇමති ලෙස ජනාධිපතිතුමාගේ වගකීමක්.
අපි මීට කලින් ද පැවසූ අයුරින් ආණ්ඩුව කල් මරමින් ඉන්නා අතරේ ලෝකයේ වෙනත් රටක ස්වභාවික අනතුරක් වී ලෝක අවධානය ඒ රටට යොමු වුණොත් ආධාර සමුළුවක් පවත්වලා වැඩක් වෙන්නේ නෑ. ඒ අනතුරේ හද කම්පා කරන රූපරාමු ලොව පුරා විකාශනය වන විට ලෝක ආධාර යන්නෙත් ඒ රටට. ඒ නිසා තව දුරටත් පමා කරලා ලෝක ආධාර සමුළුව පැවැත්වීම සමාන වෙන්නේ අශ්වයා පැන ගියාට පස්සේ ඉස්තාලය වැසීමටයි.
