උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

අවසර පිය සබඳනි! අසත්වා මා ඇසූ දේ කියන්නට ඔබ යොමන්න දෙසවන්

ඔබ මට වඩා ඉදිරියෙන් බව දනිම් මම්

 "වේදිකාවේ රැඟූ රැඟුමට

පෙම්බැඳ

නාට්‍ය නිමා වූ සැණින්

ගියෙමි ඈ සොයා

නේපථ්‍යාගාරයට

හොවා බිළිඳෙකු ඇකයේ

කිරි දෙමින් සිටි ඇය දැක

....................."

මේ මට මතක හැටියට 1974 වසරේ දී වගේ මා කියවූ උදේනි සරච්චන්ද්‍රයන්ගේ "සොල්දාදුවා සහ විජිතය'' කාව්‍ය සංග්‍රහයේ පළවූ කවක අන්තර්ගතය මට මතක ලෙසින්.

උදේනිගේ ඒ කවිය මතක් උනේ අද උදාසන බෞද්ධයා ගුවන් විදුලියේ විකාශය කළ පූජ්‍යපාද සුදස්සන නම් වූ හිමි නමකගේ ධර්ම දේශනයක් ඇසීමේදීය.

අද ඇසූ උන්වහන්සේ දේශනා කළ එම ගැඹුරු දහම උන්වහන්සේගෙන් තරම් සරළව මා මෙතෙක් කිසිවෙකුගෙන් අසා නැත්තෙමි.( සමාවෙන්න මට!

මා එතරම් බණ අසන්නෙකු නිසා හෝ තවමත් ධර්මය හදාරෙන්නෙකු නිසා ද එසේ විය හැකිය.)

උදේනිගේ කවියෙන් කියන්නේ ඇය රැඟුමට පෙම් බැන්ඳ බව කීවත් ඇත්තටම පෙම් බැඳ ඇත්තේ ඇයට ය. එසේ නොවන්නට ඇය අන්සතු  ළඳකි,මවක යන ප්‍රත්‍යාවේශය ආ සැණින් ඇයගේ රංගණය හා ඇයට බැඳි ස්නේහය ශුන්‍ය වී යන්නේ කෙසේද?

අද දම් දෙසුමේ ගැඹුරු හරය වූයේ ද අපේ සිත එසේ අපිව රවටන නිසා අපි බොහෝ දේ හා එල්බ ගෙන සසර කර්ම රැස්කරන බවයි.

උන්වහන්සේ දෙසූ ලෙසින් අපි අතීතය හා අනාගතය අල්ලා ගන්නේ එය තිබුණා  එය තිබෙන්නේය යන අල්ලා ගැනීම නිසාය.

අපි දකින දේවලට අන්න්‍යතා රෑප හා නාම ලබා දෙන්නේ ඒවා ඉස්සර තුබුණා යන නිර්මිතය පරිභෝජනයට ගැනීමෙනි.

එය තවත් තිබෙන්නේය යන සංකල්පය හා බැඳී යන්නේ එය අපේ සිතින් අත් නොහැරීම නිසාය.

ඒ නිසා අපි එයින් විවිධ සංකල්ප රූප ,පරිකල්පනයන් බෝ කර ගනිමු.

ඒ සියල්ල හා බැඳීමෙන් නොනැවතී ඇළීම නිසා අපි ඵල බෝ කරනු ලබයි. එම බෝ කරීම යනු නැවත නැවත එය තිබුණි, තිබෙන්නේය යන සිපිරි ගෙය තුළ යළි යළිත් තැන්පත් කරවීමකි.

ඒ නිසා අපි ඒ මොහොතේ සිට සසර, බවගාමි චාරිකාව යළි යළිත් වියමු.

එම වියමන කොතෙක් ගැඹුරු ද කිවහොත් අපිට සැබෑවටම ලෝකය අපේ වෙයි. භූමිය අපේ වෙයි. වස්තුව අපේ වෙයි. ප්‍රේමය,බිරිඳ ,දරුවො, යාන වාහන, නිලතල අපේය.

අපි සර්පයා වල්ගයෙන් අල්ලා ගන්නටම වෙර දරමු.

මේ නිසා සම්මුතිය සත්ත්‍යය ලෙස ගැනීමෙන් හා ඒ සමග ඇළීමෙන් අපි පහසුවෙන් ලැබිය හැකි වූ නිවීම දැල්වෙමින් ඇවිළීමක් බවට පත් කර නොගන්නේ ද?

ඒ අනුව බුදුන් වහන්සේ දෙසූ වර්තමානයේ ජීවත් වෙන්න යැයි දෙසූ සරළ පාඨ්‍ය තුළම මේ සසර බව ගමනින් මිදීම ඇතැයි මට සිතේ.

මේ මට හිතෙන දෙයයි.

ඔබ මට වඩා ඉදිරියෙන් බව මම සිතමි.

කියා දෙන්න මට මෙන්ම අන් අයටද...

අපි සිතමු බවය නිවීම එතැනද කියා.....

ආදරණීයම ඔබට නිවන් සුවයම ලැබේනම් එයම නොවේද උතුම්....?

චම්මින්ද වෙලගෙදර .

2025 / 06/ 10.