උණුසුම් පුවත්සංස්කෘතික

අවුරුදු අරන් යුදහමුදාපති ‘විකුම් පුර’ යයි

විකුම්පුර ගම්වැසි පවුල් 36 කට වියළි සලාක බෙදා දෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ 542 බලසේනාවේ බලසේනාධිපති වශයෙන් කටයුතු කළ සමයේ ඉදිකළ "විකුම්පුර" ගම්මානයේ ජනතාවට උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් වියළි සළාක බෙදා දීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) සිදුකෙරුණි.

නරිකාඩු නමින් එම ගම්මානය ඉදිකර මන්නාරම් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් අවතැන් වූවන්ට ලබාදීම වෙනුවෙන් වත්මන් යුද්ධ හමුදාධිපතිවරයාට කරනු ලබන කළගුණ සැලකීමක් වශයෙන් ගම්වාසීන් මෙම ගමට විකුම්පුර ලෙස නම් තබා ඇති අතර මෙය ඉතිහාසයට එක්වන්නේ මේජර් ජෙනරාල් ජනක පෙරේරා සිහිවනු වස් බිහිකළ ජනකපුරට පසු යුද්ධ හමුදා නිලධාරියෙකුගේ නමින් බිහිවූ දෙවැනි ගම්මානනය ලෙසයි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියද එම අවස්ථාවට එක් වූ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදුන් වියළි සළාක පාර්සල් "විකුම්පුර" ගම්මානයේ මේවන විට දිවි ගෙවන පවුල් 36 ක් වෙනුවෙන් බෙදාදෙන ලදී.