උණුසුම් පුවත්කාලීනදේශපාලන

ආණ්ඩුවේ උද්දච්චකමත් අදූරදර්ශීභාවයත් හොඳින් පේනවා – විමල් වීරවංශ

මහජන විරෝධය හමුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජය ගත් තීරණය, රටේ දරු පරපුරේ යහපත උදෙසා ගත් වැදගත් පියවරක් වුවද එය ආණ්ඩුවේ “අදූරදර්ශී ක්‍රියාකලාපය හා උද්දච්චකම” මනාව පිළිඹිබු කරන ප්‍රබලම සාක්ෂියක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසී ය. කොළඹදී  අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

මෙම ප්‍රතිසංස්කරණ තුළ නිදහස් අධ්‍යාපනය මරණයට ඇද දමන සහ පෞද්ගලික පාසැල් ප්‍රවර්ධනය කරන ලක්ෂණ අන්තර්ගත වූ බැවින් විද්වතුන්, සිවිල් සංවිධාන, ආගමික නායකයන් සහ දේශපාලන පක්ෂ මීට දැඩි විරෝධයක් එල්ල කළේයැ යි වීරවංශ මහතා අවධාරණයෙන් සඳහන් කළේ ය. විචාර බුද්ධියක් ඇති ආණ්ඩුවක් නම් මෙවැනි ප්‍රතිසංස්කරණ, හඳුන්වා දීමට පෙර, එහි ඇති අනර්ථය වටහාගත යුතුව තිබූ බවද හේ පැහැදිලි කළේ ය.

ආණ්ඩුව මීට පෙරද  දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධන, විරෝධය හමුවේ හකුලා ගත් බව,  කී වීරවංශ මහතා, ආණ්ඩුව වළවල් දෙකකට වැටී ඇතැයි ද, මින් ඉදිරියට හෝ විවේචන වලට ඇහුම්කම් දී නිවැරදි ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කළ යුතුත්තේ යැ යි පැවසීය'

“විචාර බුද්ධියක් තියෙන ආණ්ඩුවක් නම් බාහිර පාර්ශ්වයකින් විරෝධය එල්ල වෙන්න ඕනේ නැහැ මේවා වටහගන්න. එහෙම විරෝධයක් එල්ල නොවී, ඒක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ ආණ්ඩුවකට"

දැන් මේ ආණ්ඩුව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මීට කලින් ගෙනාව දණ්ඩ නීති සංග්‍රහයට දෙමාපියන්ට තමන්ගේ දරුවට පුංචි තරවටුවක් කරන්න බැරි වෙන විදියේ, ගුරුවරුන්ට යම්කිසි විනය පවත්වාගෙන යාම සඳහා පියවරක් ගන්න බැරි වෙන විදියේ, පාසැලා අරාජිකත්වයට ඇද දමන විදියේ, දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ආවා. ඒකට දසාතෙන් විරෝධය එල්ල වුණාම අකුල ගත්තා. නමුත් මොලයක් තියෙනවා නම්, කල්පනා කිරීමේ ශක්තියක් තියෙනවා නම්, ඥානයක් තියෙනවා නම් එවැනි පනත් කෙටුම් පතක් ගේන්න කලින් තේරුම් ගන්න ඕනේ, මේකේ තියෙන අනර්ථය.”

විමල් වීරවංශ මහතා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව සම්පූර්ණයෙන්,

අද මෙම මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවන්න කල්පනා කරේ. ඊයේ ආණ්ඩුව ගත්තු තීරණය, විශේෂයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ඒ අය අරගෙන ආපු ක්‍රියාවලිය හකුලා ගැනීමට ගනු ලැබූ තීරණය පිළිබඳවත්, එයින් මතුවෙන අතුරු කාරණා කීහපයක් පිළිබඳවත් ඔබේ අවධානයට යොමු කරන්න.

පළමු කොටම මහජන විරෝධය හමුවේ ප්‍රමාද වී එම තීරණය ගනු ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. එය වෙන කාගෙවත් යහපත සඳහා නෙවෙයි. මේ රටේ දරු පරපුරේ යහපත සඳහා ගතයුතුව තිබිච්ච තීරණයක්. රටේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් සිදු කිරීම පිළිබඳව අපිට විවාදයක් නෑහැ. ඒ ගුණාත්මක වෙනස එක්තරා පක්ෂයක හෝ ආණ්ඩුවක දේශපාලන අභිලායන් අනුව පමණක් සිදුවිය යුතු දෙයක් නෙවෙයි.

ඒ ගුණාත්මක වෙනස කල් පවත්නා වෙනසක් වෙන්න ඕනේ. ඊළඟට බලයට පත් වෙන ආණ්ඩුවකට වෙනස් කරන්න හිතෙන්නේ නැති විදියේ වෙනසක් වෙන්න ඕනේ. මේ රටේ දරුවන් දෙමාපියන් සහ සියලු වැඩිහිටියන් කැමැත්තෙන් බාර ගන්න වෙනසක් වෙන්න ඕනේ. නිදහස් අධ්‍යාපනයට කිසිම ආකාරයකින් තරජනයක් එල්ල නොවෙන ආකාරයේ වෙනසක් වෙන්න ඕනේ.
පෞද්ගලික පාසල් වඩවාලන්නත් නිදහස් අධ්‍යාපනය ක්‍රමානුකූලව මරණයට රැගෙන යන්නත් තුඩු නොදෙන පරිවර්තනයක්, වෙනසක් බවට පත්වෙන්න ඕනේ. ඉතින් ඒ ලක්ෂණ මේ කියන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නොතිබූ නිසා, ඒ ලක්ෂණ වෙනවට ඊට පටහැනි ලක්ෂණ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අන්තර්ගතව තිබුණු නිසා, ඒ කරුණු පදනම් කොටගෙන තමයි බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම විද්වතුන්, ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන, මේ රටේ ආගමික නායකත්වය මේ රටේ දේශපාලන පක්ෂ, මේ සියලු දෙනාම පාහේ මේකට විරුද්ධ වෙන්නේ මේ කරුණු පදනම් කොටගෙන.
ඇත්තටම යම්කිසි විචාර බුද්ධියක් තියෙන පාලනයක් නම්, මේවා කවුරුවත් බාහිරින් පෙන්වා දෙන්න ඕනේ නැහැ තේරුම් ගන්න. විචාර බුද්ධියක් තියෙන ආණ්ඩුවක් නම් බාහිර පාර්ශ්වයකින් විරෝධය එල්ල වෙන්න ඕනේ නැහැ මේවා වටහගන්න. එහෙම විරෝධයක් එල්ල නොවී ඒක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ ආණ්ඩුවකට.
දැන් මේ ආණ්ඩුව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මීට කලින් ගෙනාව දණ්ඩ නීති සංග්‍රහයට දෙමාපියන්ට තමන්ගේ දරුවට පුංචි තරවටුවක් කරන්න බැරි වෙන විදියේ, ගුරුවරුන්ට යම්කිසි විනය පවත්වාගෙන යාම සඳහා පියවරක් ගන්න බැරි වෙන විදියේ, පාසැලා අරාජිකත්වයට ඇද දමන විදියේ, දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ආවා. ඒකට දසාතෙන් විරෝධය එල්ල වුණාම අකුල ගත්තා. නමුත් මොලයක් තියෙනවා නම්, කල්පනා කිරීමේ ශක්තියක් තියෙනවා නම්, ඥානයක් තියෙනවා නම් එවැනි පනත් කෙටුම් පතක් ගේන්න කලින් තේරුම් ගන්න ඕනේ, මේකේ තියෙන අනර්ථය.
ඒ මුකුත් නැතුව ඔහේ අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තු ගෙනල්ලා විවාද කරලා විරෝධය මතු වුනාම අකුල ගන්නවා. මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ නිවේදනය නිකුත් වුනාම අකුල ගන්නවා. දැන් මෙතන වුනෙත් ඒක. මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ මුල සිටම සාධනීය විවේචන ගොඩක් ආවා. ඒ ක්‍රියාවලියේ අඩුපාඩු ගැන පවා ආවා. ඒ වගේම ඒකේ අන්තර්ගතයේ තියෙන දුබලතා, දරුවන්ට එකෙන් වෙන අගතිය ගැන, බොහෝම ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් වුණා බොහෝ පාර්ශ්වයන්ගෙන්. ඒ කිසිවකට සැලකිල්ලක් දැක්වුවේ නැහැ.
බොහොම අත්තනෝමතික මනසකින්, කවුරු විරුද්ධ වුණත් මේක අපි කරගෙන යනවා. ඒක වළක්වන්න කාටවත් බෑ, වගේ පුරාජේරු කතා කිව්වා. අන්තිමට ඒගොල්ලන්ට පෙනුණා ඒ උද්දච්ච මානසිකත්වයෙන් හිටියොත්, දැවෙන බලවත් විරෝධයකට මුහුණ පාන්න වෙනවා. නැවත හකුලගන්න බැරිවෙන විදිය විරෝධයකට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා තමයි, ඒ අන්තිම මොහොතේ තත්පරයේ නුවණ පෑදිච්ච හින්දා තමයි ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ හකුලා ගැනීම සිදු වෙන්නේ.
ඉතින් එතනින් පේනවා ආණ්ඩු පාලනය කරන්න බෑ මහජනයගේ විරෝධය දිහා බල බල... විරෝධය නොඑන විදිහට කොහොමද කටයුතු කරන්නේ? සාධාරණ විවේචනයක් ආවම කොහොමද ඒක කල්තියා තේරුම් අරගෙන, නිහතමානීව ඒක පිළි අරගෙන ඒක වෙනස් කරගන්නේ. එමගින් කොහොමද හැමදෙනාගෙම සහයෝගය ලබා ගැනීම සඳහා පියවර ගන්නේ. එහෙම දියුණු මනසක් නැතිකමේ ප්‍රතිවිකය තමයි අද මේ වුණේ.
එක පැත්තකින් බොහොම උද්දච්ච කතා කියලා “කවුරු මොනවා කිව්වත් අපි මේක අහකුලන්නේ නෑ” කියලා හකුල ගන්නත් වුණා. අනිත් පැත්තෙන් ඒ හකුල ගන්නා තාක්කල් මෙකට කරපු වියදම දැන් ගඟේ මුහුදේ දැම්මා වගේ වුණා. එහෙම එකක්කුත් මේකේ වෙනවා අතුරුඵලයක් හැටියට.
දැන් බලන්න නිවාඩු... පහුගිය නිවාඩු කාලෙම ගුරුවරුට ට්‍රේනින් ට්‍රේනින් කිය කියා තිබ්බා. ඕවට විශාල වියදමක් දැරුවා. ඊළඟට කාල සටහන් වෙනස් කෙරුවා. හත වසරෙන් උඩ දරුවන්ටත් කාලටහන් වෙනස් කෙරුවා. ඊළඟට දෙමව්වපියෝ ගේන්නලා රැස්වීම් තිබ්බා. ඊට පස්සේ “ස්මාට් පන්ති කාමර” හදන්න කියලා දරුවන්ගෙන් සල්ලි එකතු කර කර ඒවා නවීකරණය කරන්න පටන් ගත්තා. බැරි මරගාතේ බොහෝ පාසැල්. ඊළඟට අනිත් පැත්තෙන් දැන් මොකද වෙන්නේ?

" ආයේ හයේ පන්තියට “පරණ සිලබස් එක” මුද්‍රණය කරලා දැන් මේ සති දෙකක් ඇතුලත බෙදා හරින්න ඕන. ආය පාසල පටන් ගන්න ඕනේ. ඒ අතර තුර දෙමව්පියන්ට මොකද වුනේ? හය වසරට යන තමන්ගේ දරුවන්ට මේ “මොඩියුලේ” තියෙන දේවල් ෆොටෝ කොපි ගහන්න කමියුනිකේෂන් සෙන්ටර් වල පෝලිමේ ගිහිල්ලා ඉන්න වුණා. 25,000යි 30,000යි අන්තිමට බිල. දෙමව්පියෝ විශාල මුදලක් මේකට වැය කරලා... පුළුවන්කමකට නෙවෙයි. දරුවට මදිබ පුංචිකමක් පාසලේදී නොවීම සඳහා. ඒ දරුවා අසීරුතාවයට පත් නොවීම සඳහා. අනිත් දරුවන් ඉස්සරහා ඒ දරුවා අවමානයට ලක්වෙන එක වළක්වා ගැනීම සඳහා"

කනකර උගස් තියලා රුපියල් 25,000  - 30,000 වියදම් කරලා ඡායා පිටපත් ගහගත්තා කොමියුනිකේෂන් ගාව පෝලිමේ ඉඳගෙන දෙබව්පියො. හය වසරට යන දරුවා වෙනුවෙන්. දැන් ඒ ඔක්කොම වතුරේ.

ඒ නිසා විශාල මිනිස් පැය සංඛයාවක්, විශාල මුදලක් මහජනයාගේ මුදල්, පෞද්ගලික මුදල් ගත්තත්... මේ හැමදේම නාස්ති කරා මේ උද්දච්ච මානසිකත්වයෙක්. මේක කල්තබා තේරුම් අරගෙන මේකේ මේකේ තියෙන අඩුපාඩු හඳුනා ගැනීම සඳහා විශේෂ මැදිහත් වීමක් කරා නම්, තවත් පාර්ශව ගණනාවක් එක්ක මේක ගැන සාධනීය සාකච්ඡාවක නිරත වුණා නම්, මේ විදිහේ අර්භුදයකට මුහුණ පාන්න වෙන්නේ නෑ. එහෙම අරබුදයකට මුහුණ දෙන්න වෙන්නේ නෑ.

නමුත් ඒසේ නොකිරීම, එසේ නොකිරීම නිසා තමයි මේ විදියේ අරබුදයකට මුහුණ දුන්නේ. අද ඒකෙන් වුනේ ඒ අධ්‍යාපන අමාත්‍යයංශය හැටියටත්, ගුරුවරු හැටියටත් විශාල කාලයක් මේ වෙනුවෙන් කැප කරලා, වැය කරලා නාස්ති කරගෙන, ඒ වගේම දරුවොත් ඒකෙන් අසහනයට පාත්‍ර වෙලා, අනිත් පැත්තෙන් දෙමව්පියනුත් විශාල වීදමක් දරලා, මේ හය වසරට යන දරුවා වෙනුවෙන් සූදානම් වෙන තත්ත්වයකට පත් වුණා.

ඉතින් මේකට වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. මේකෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ආණ්ඩුව හිතනවා නම් තමන්ට ඕනම දෙයක් රටේ සුගතියට අදාලද නැද්ද කියන එක නොසලකා තමන්ට හිතුූ හිතු ඕනම දෙයක් කරන්න බලයක් ලැබිලා තියෙනවයි කියලා, හිතනවා නම් ආණ්ඩුව, ඒක එහෙම නෙවෙයි කියලා දෙවෙනි වතාවටත් මේ සටන විසින් ඔප්පු කරුණු ලැබුවා.

ඒ නිසා අපි දැන්වත් කියන්නේ ආණ්ඩුවට, වළවල් දෙකකට වැටිලා තියෙනවා මේ වෙනකොට, ඒ දෙකකට වැටිලත් මොලේ පෑදෙන්නේ නැත්නම් ඉතාම කණගාටුදායකයි. ඒ නිසා මෙතනින් ඉදිරියටවත්, ඔය 2027 දි ගේනවයි කියලා කියන එක ගේනවාම නම්, කරුණා කරලා මේ සමස්ත විවේචනවලට ඇහුම්කම් දීලා, ඒවය තියෙන ඉදිරිගාමී අදහස් සැලකිල්ලට අරගෙන, ඒ සියලු අදහස් වලින් පෝෂණය වෙච්ච නිවැරදි ප්‍රතිසංස්කරණයක් ගේන්න.

හැබැයි ඉතින් මේගොල්ලොන්ට එහෙම හැකියාවක් නෑහැ. මේ “පොඩි මොලවල්” මේගොල්ලොන්ට එහෙම චින්තනයක් නෑහැ. නැත්නම් ඉතින් මොඩියුලවල මේ විදියේ දෝෂ විශාල ප්‍රමාණයක් එන්න විදියක් නැහැනේ. ඉතින් ඒ නිසා බැරි වැඩ කරන්න යන්න ඕනෙත් නැහැ. මම හිතන්නේ නැහැ ඔය කිව්වට 27 දී ඕක උස්සන් එයි කියලා. එනවා නම්... ආයෙම ආය වතාවක් “මට්ටු වෙන්නේ නැති” වෙන විදිහට හරියට දෙයක් අරගෙන එන්න. නැත්නම් මේ රටේ ජනතාව ඒකට ඉඩ තියන්නේ නෑහැ.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, දේශපාල මණ්ඩල සභික, හිටපු අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද  ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත මධුකමාර මහතා ද මේ මාධ්‍ය හමුවට  එක්වූහ.