උණුසුම් පුවත්කාලීනදේශපාලන

ආණ්ඩුවේ ඡන්ද බැංකුව 25%ට අඩුයි

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දමන්නේ අන්ත පරාජයට බයෙන්

දිට්වා කුනාටුව නිසා පලාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා ඇමති චන්දන අභයරත්න මහතා ඊයේ ප්‍රකාශ කලා. මේක ඇත්තටම විහිළුවක්. 1988 දී ලංකාවේ පළමු පළාත් සභා මැතිවරණය පවත්වන කොට ලංකාව දෙකොන ඇවිළුනු විලක්කුවක් වගේ තිබ්බේ. උතුරේ කොටි ත්‍රස්තවාදය. දකුණේ ජවිපෙ ත්‍රස්තවාදය. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ත්‍රස්තවාදි අභියෝග දෙකක් මැද පලාත් සභා මැතිවරණය රට පුරාම පැවැත්වුවා. පලාත් සභා විතරක් නොවේ, 1988 ජනාධිපතිවරණය වගේම 1989 පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වුණේ ත්‍රස්තවාද දෙකම තිබෙන අතරේ. ඒ වගේම අවුරුදු 37ක් උතුරේ ත්‍රස්තවාදයක් තිබුණු එක කිසිම මැතිවරණයක් පවත්වන්න කිසිම ආණ්ඩුවක් බාධාවක් කර ගත්තේ නෑ. එහෙව් එකේ දිට්වා කුණාටුව නිසා පලාත් සභා මැතිවරණය පවත්වන්න බෑ කියන එක තරම් විහිළුවක් නෑ.

2018 සිට අවුරුදු අටක් කල් ගිහින් තිබෙන පලාත් සභා මැතිවරණය ලබන මාසයේ වුණත් පවත්වන්න පුළුවන්. 2018 සම්මත කර ගත් පලාත් සභා මැතිවරණ පනත අහෝසි කිරීමට වගන්ති තුනේ පනතක් ගෙනාවොත් පලාත් සභා මැතිවරණය පවත්වන්න තිබෙන නීතිමය බාධාව නැති වෙනවා. පලාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පවත්වලා පලාත් සභා පිහිටුවා ගත්තාට පස්සේ ඊ ලඟ මැතිවරණය පවත්වන්න වසර පහක්ම තිබෙන නිසා තේරීම් කාරක සභාවක් දාලා සියළු දෙනාගේම අදහස් අරගෙන සීමා නිර්ණය කරලා පලාත් සභා මැතිවරණයට කොට්ඨාශ හඳුන්වා දෙන්න පුළුවන්.

මේක සාපේක්ෂතාවාදය නොවෙයිනෙ. ඕනෑම දරුවෙකුට වුණත් තේරෙන මේක මහාචාර්ය චන්දන අභයරත්න ඇමතිතුමාට විතරක් තේරෙන්නේ නැත්තේ මොකද? තේරෙන්නේ නෑ නොවෙයි පලාත් සභා මැතිවරණය පවත්වන්න බයයි. ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරලා මීට සති දෙකකට පෙර ජනාධිපතිතුමාට රහස් වාර්තාවක් දුන්නා. ඒක කලේ පෞද්ගලික සමීක්ෂණ ආයතනයක්. ඒ වාර්තාවේ හැටියට ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ටත් පොඩ්ඩක් අඩුවෙන් තිබෙන්නේ. ආණ්ඩුවට කිසිම පලාත් සභාවක් දිනා ගන්න බෑ. ඒකයි ආණ්ඩුව පලාත් සභා මැතිවණය පවත්වන්න බය වෙලා තිබෙන්නේ.

කොහොමත් කිසිම කලබගෑනියක් වෙන්න කලින් 2025 මැයි පැවැත්වුණු පුංචි ඡන්දයේ දීත් මාලිමාව ගත්තේ 43% නෙ. පුංචි ඡන්දය පලාත් සභා මැතිවරණයක් වුණා නම් ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා විශ්ලේෂණයක් මම මගේ යූ ටියුබ් නාලිකාවේ කලා. ඒ අනුව පුංචි ඡන්ද ප්‍රතිඵලය අනුවත් මාලිමාව දිනන්නේ උතුරු මැද සහ බස්නාහිර පලාත් සභා විතරයි. එදාට පස්සේ තමයි රණවිරුවා සෙබලා වුණේ. උතුරට බෞද්ධයින් එන්නේ වෛරය වපුරන්න කිව්වේ. මුතු කුඩයක් කැඩෙන්න හාමුදුරුවන්ට ගැහුව්වේ. මාලිමා නායකයින්ගේ වත්කම් හෙලි වුණේ. ආණ්ඩුවේ වරදින් දිට්වා විනාශය වුණේ. ගල් අඟුරු වංචාව, ලුණු වංචාව හෙලි වුණේ. ඒ නිසා 43% දැන් 25%ට බැහැලා කියන එකට පදනමක් තිබෙනවා. අපටත් තේරුම් ගන්න බැරි කාරණය තමයි තවමත් 25%ක් ඡන්දදායකයින් මාලිමාව සමග ඉන්නේ ඇයි කියන එක විතරයි.

මේ වාර්තාව පිළිබඳ මම කියන කතාව බොරුවක් නම් වගන්ති තුනේ පනත ගෙනැවිත් පලාත් සභා මැතිවරණය පවත්වන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. ඒ වගේම ආණ්ඩුවට පුංචි අවවාදයක් දෙන්න කැමතියි. ඡන්ද කියන ඒවා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. 2015 පවත්වන්න ඕනි පුංචි ඡන්දය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2018 දක්වා කල් දැම්මා. ප්‍රතිඵලය මොකක්ද? 2015 දී නොතිබුණු පොහොට්ටුව කියලා පක්ෂයක් 2016 දී හැදිලා 2018 පුංචි ඡන්දය දිනා ගත් එක.

2025 ඡන්දය පැවැත්තුවා නම් පලාත් සභා දෙකක් දිනන්න තිබ්බා. දැන් ඡන්ද පදනම 25%යි. තවත් අවුරුද්දක් කල් මැරුවොත් ඡන්ද පදනම 3%ටම පල්ලම් බැහැලා තිබෙන්න පුළුවන්. මතක තියා ගන්න. ලෝක ඉතිහාසයේ ඡන්ද පදනමේ දැවැන්තම කඩා වැටීමේ වාර්තාවට හිමිකම් කියන්නෙත් මාලිමාව තමයි. 2024 නොවැම්බර් මාසයේ දී මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 69ක් ලබා ගත්තා. ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම මාස හයක් ඇතුලත 1/3 කින් නැතිනම් 34% කින් කඩා වැටීමක් ලෙසයි වාර්තා වෙන්නේ. එතැන් සිට අවුරුද්දක් යන තැන 25% හරි ඉතිරිවෙලා තියෙන එක මාලිමා ආණ්ඩුව පැත්තෙන් සැනසිල්ලට කාරණයක් කියලයි අපිට නම් හිතෙන්නේ.

ගුරු පුරප්පාඩු ගැසට් එකත් රිවස් යන්න වේවිද?

මාලිමා ආණ්ඩුව කරන කරන එක ආපසු හරවලා අපූරු වාර්තාවක් තියලා තිබෙන්නේ. ජනාධිපතිතුමා රිවස් ගියර් එක දාගත්තු ගමන් ඉන්නේ. දැන් ඔන්න සංවර්ධන නිලධාරින්ගේ උපවාසය නවත්වන්න කඩිමුඩියේ ගහපු ගුරු පුරප්පාඩු දැන්වීමත් ආපසු ගන්න වෙලා. මොකද මේකේ අඩුපාඩු එකක් දෙකක් නොවේ රාශියක්ම තිබෙනවා. පෙබරවාරි 2දා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගැසට් පත්‍රයේ පල කළ දැන්වීමේ හැටියට ගුරු සේවයට අයදුම් කරන්න පුළුවන් 2023 පෙබරවාරි 10 දිනට උපාධිය සම්පූර්ණ කළ අයටයි. ඒ කියන්නේ පසුගිය අවුරුදු තුනේම උපාධි සම්පූර්ණ කරපු අයට ඒ අවස්ථාව අහිමි වෙනවා. පසුගිය වසර තුනේ උපාධි සම්පූර්ණ කළ අය නැවත ගුරු විභාගයක් තියන තුරු අවුරුදු කීයක් බලාගෙන ඉන්න ඕනි ද? ගුරුසේවයට එකතුවීමේ පරමාර්ථයෙන්ම අධ්‍යපණවේදී උපාධිය කරපු විශාල පිරිසකුත් ඉන්නවා. මේ උපාධිධාරීන්ට අවස්ථාව අහිමිකලේ ඇයි කියලා ආණ්ඩුව උත්තර බදින්න ඕනෑ.

2023 ගුරු සේවයට අයදුම්පත් කැඳවපු ගැසට් එක ගෙඩිය පිටින් නැවත ගහන්න ගිය නිසා තමයි මේ වැරැද්ද වෙලා තිබෙන්නේ. මේ වැරැද්ද වහාම නිවැරදි කලේ නැතිනම් නුදුරු දවසක මාලිමාවෙන් උපවාස කලාව ඉගෙන ගත් උපාධිධාරින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන්න ඉඩ තිබෙනවා.

මෑතකාලින උපාධිධාරින්ට අවස්ථාව අහිමි කිරීම මේ ගැසට් පත්‍රයේ තිබෙන එකම වැරැද්ද නොවේ. උපාධිධාරින්ට පත්වීම ලබා දෙන්නේ 2022 ඡන්ද හිමි නාම ලේඛණයේ නම සඳහන් වුණු පලාතටයි. උපාධිය සම්පූර්ණ කලාට පස්සේ තමයි උපාධිධාරින් විවාහයක් ගැන හිතන්නේ. විවාහ වුණාට පස්සේ එක්කෝ බිරිඳගේ ගමට සැමියා යනවා. නැතිනම් සැමියාගේ ගමට බිරිඳ යනවා. දීග සහ බින්න විවාහ කියලා අතීතයේ කිව්වේ ඕකටනෙ. සමහර වෙලාවට දෙපැත්තේම දෙමව්පියන් බලා ගන්න ඉන්න එකම දරුවා නම් දෙපැත්තටම කිට්ටු අතරමැදි තැනක පදිංචියට යනවා. ඒ නිසා පසුගිය වසර හතරේ මේ උපාධිධාරින් බහුතරයක පදිංචිය වෙනස් වෙලා තිබෙන්නේ. එහෙම නම් 2022 පදිංචි ස්ථානය අනුව පත්වීම ලබන පාසල තීරණය කරන එකේ තිබෙන තාර්කික පදනම මොකක්ද? මේකෙන් සිදු වෙන්නේ පත්වීම ලැබුණාට පස්සේ ගමට මාරුවක් ඉල්ලා නැවත උද්ඝෝෂණයක් ඇරඹෙන එක විතරයි.

ඒ වගේම මේ ගැසට් දැන්වීම අනුව ඉතිහාසය උගන්වන්න අයදුම් කරන්න පුළුවන් ඉතිහාසය විශේෂ උපාධිධාරින්ට විතරයි. එතකොට පුරාවිද්‍යා විශේෂ උපාධිධාරින්ට මොකද වෙන්නේ? ලංකාවේ විශ්ව විද්‍යාල අටක් පුරාවිද්‍යා උපාධිධාරින් 150ක් විතර වාර්ෂිකව බිහි කරනවා. මේ අයට සෘජුව රැකියා තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ. සංචාරක ව්‍යාපාරයේත් සුළු රැකියා ප්‍රමාණයක් ලැබෙනවා. ඉතිරි අයට මොකද කරන්නේ? පුරාවිද්‍යා විද්වතුන් කියන විධියට පුරාවිද්‍යා විශේෂ උපාධියට පාසලේ උගන්වන්න අවශ්‍ය කරන ඉතිහාස දැනුම සම්පූර්ණයෙන්ම වාගේ ලැබෙනවා. එහෙම නම් පුරාවිද්‍යා උපාධිධාරින්ටත් ඉතිහාසය ඉගැන්වීමේ අවස්ථාව ආණ්ඩුව විසින් ලබා දිය යුතුයි.

අගමැතිතුමිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රිවස් ගියර් එකට දා ගත්තා වගේ මේ ගැසට් එකත් රිවස් කරලා අඩුපාඩු හදලා අළුත් ගැසට් එකක් හැකි ඉක්මනින් මුද්‍රණය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. නැතිනම් කඩතොළු මකා ගන්නට ඉඳුරුවේ ආචාරියා ගාවට ගිය කෙනාට වුණු දේමයි උපාධිධාරින්ටත් වෙන්නේ. එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණු කාරියා. ගොඩක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා.