උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසතියේ සටහන

ආණ්ඩුවේ පතෝල නිවේදනේ!

ජගත් ගේ සතියේ සටහන  -  62

පුංචි ඡන්දෙට ජනතාව උනන්දුවක් නැති පාටයි

 මැයි 06 වැනිදා පැවැත්වීම‌ට නියමිත පළාත් පාලන මැතිවරණ පිළිබඳව සාමාන්‍ය ජනතාව තුළ උනන්දුවක් හෝ උද්‍යෝගයක් දක්නට නැති වුවත් දේශපාලන පක්ෂ නම් දැන් සිට ම ඡන්ද ප්‍රචාරක කටයුතු අරඹා තිබෙනවා.

ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ හා දුමින්ද නාගමුව ආදී නායකයින් සතියක පමණ කාලයක සිට ඔවුන්ගේ අපේක්ෂකයින් හා සංවිධායකයින්ට ඡන්ද ප්‍රචාරක කටයුතු කරගෙන යා යුතු ආකාරය රැස්වීම් පවත්වමින් පැහැදිලි කරමින් සිටිනවා.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රචාරක කටයුතු ඉකුත් 27 වැනිදා රුහුණෙන් ආරම්භ කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණ වලට ප්‍රධාන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රාශියකින් ඉදිරිපත් කොට තිබූ නාමයෝජනා පත්‍ර 425 ක් ප්‍රතික්ෂේප වීම එම පක්ෂවලට බලවත් ප්‍රශ්නයක් වී තිබෙනවා.

පෙරේදා වන විට පෙත්සම් 16 ක් 

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම ගැන මැතිවරණ කොමිෂන් සභාවට හා තේරීම්භාර නිලධාරීන්ට එරෙහිව පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් අධිකරණය හමුවට ගොස් රීට් ආඥා නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම් 16 ක් පෙරේදා වන විට ඉදිරිපත් කොට තිබුණා.

පුංචි ඡන්ද නාමයෝජනා ප්‍රතික්ෂේප වීම

ජාතික ජන බලවේගයේ ද නාමයෝජනා කිහිපයක්  ම ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙක් එම පක්ෂය විසින් මැදවච්චිය, දමන හා මාවනැල්ල ප්‍රාදේශීය සභා සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි ව මැතිවරණ කොමිසම, තේරීම්භාර නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් පෙරේදා රීට් ආඥා ඉල්ලා පෙත්සම් ගොනුකොට තිබුණා.

මේ සතිය වන විට මේ අයුරින් තවත් පෙත්සම් රාශියක් ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ද වාර්තා වෙනවා.

මෙසේ අධිකරණය හමුවේ ගොනු කරනු ලබන පෙත්සම් විභාග කොට තීන්දුව දීමට කාලයක් ගත වෙනවා. එවිට එම පෙත්සම් ඉදිරිපත් වී ඇති පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි වෙන බැවින් ඒවායේ ඡන්ද විමසීම් කල් දැමීමට සිදුවෙනවා.

2023 නාමයෝජනා භාර ගැනීමෙන් පසු ප්‍රතික්ෂේප වූ නාමයෝජනා වෙනුවෙන් අධිකරණය හමුවේ නඩු ගොනු කර තිබීම නිසා මන්නාරම, ඇල්පිටිය, පුනරීන් හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මැතිවරණ කල් දමනු ලැබුවා.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ බොහෝ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නාමයෝජනා සඳහා අපේක්ෂකයින් තේරීම අන්තිම මොහොතේ සිදු කිරීමත්, නාමයෝජනා බාරදීමද අවසන් දිනයේ අන්තිම පැය භාගය තුළ සිදු කිරීමට යාම නිසාත් වැරදි හා අඩුපාඩු සිදුවීම හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප වන බවයි.

මැතිවරණ කොමිසම පවසන පරිදි බොහෝ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබෙන්නේ අපේක්ෂකයින්ගේ ජාතික හැඳුනුම්පත හා උප්පැන්න සහතික සාම විනිසුරුවරයකු ලවා සහතික කොට නොතිබීම නිසාවෙනි.

එම නාමයෝජනා පත්‍ර යළි නිවැරදි කොට භාරදීම සඳහා ඇතැම් පක්ෂ කාලයක් ඉල්ලා ඇතත් මැතිවරණ කොමිසම එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා. කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසන්නේ කොමිෂන් සභාව මැතිවරණ පනතේ විධිවිධාන අනුව කටයුතු කොට ඇති බැවින් එය අභියෝග කරන්නේ නම් නෑම පාර්ශ්වයකට අධිකරණය හමුවට යා හැකි බවයි.

෴෴෴෴෴෴෴෴෴෴෴෴

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ආරාධනයක් අනුව අප්‍රේල් මස 4 වැනි දා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ගේ සංචාරයේ තොරතුරු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බව ඉන්දියාවේ පළවන 'හින්දුස්ථාන් ටයිම්ස් ' පුවත්පත වාර්තා කොට තිබෙනවා.

හවුරුදු 38 කට පස්සේ කෙරෙන ගිවිසුම්ගත වීම

1987 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර අත්සන් තැබූ  ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමට පසු ඇති කර ගැනිමට යන ප්‍රථම ආරක්ෂක ගිවිසුම බව ද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා. ‍

මෙම නව ආරක්ෂක ගිවිසුම හරහා ඒකාබද්ධ යුද අභ්‍යාස සහ සමුද්‍රීය නිරීක්ෂණ හරහා දෙරට අතර සහයෝගිතාව තීව්‍ර කරමින් ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව ඉහළ නැංවීමට නියමිත බව ද එම වාර්තාවේ තව දුරටත් සඳහන් වෙනවා.

තමිල්නාඩු ධීවරයන් ගේ බලහත්කාරකම්!?

තවද ඉන්දීය අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛයිපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවද දැනගන්නට තිබෙනවා.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුසු සීමාව උල්ලංඝණය කරමින් පැමිණ උතුරු මුහුදේ මසුන් ඇල්ලීම, උතුරේ ජනතාවට මෙන් ම ශ්‍රී ලංකාවට ද බලවත් ප්‍රශ්නයක් වී තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසිව් දේශසීමා උල්ලංඝණය කරමින් පැමිණෙන ඉන්දීය ධීවරයින් හා ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම තමිල්නාඩුවේ දැඩි විරෝධයට හේතු වි ඇති අතර මේ වන විට ඉන්දීය ධීවරයින් 92 ක් හා ධීවර යාත්‍රා 46 ක් ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ තිබෙනා බව ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී පවසා තිබුණා.

මෝදි අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී මෙම ධීවර ගැටලුව පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇතැ යි තානාපති ආරංචි වාර්තාවලින් වාර්තා වෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ සමීප හිතවතකු වන ගෞතම් අදානිට අයත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම පසුගිය වසරේ රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආණ්ඩුව මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආරමභ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කොට තිබුණා. එම සමාගම මඟින් නිපදවන සුළං බල විදුලිය ඒකකයක් ඩොලර් ශත 08 ක් බැගින් ශ්‍රී ලංකාව මිල දී ගතයුතු බව ද ඒ ගිවිසුමේ සඳහන් වුණා.

එ‌හෙත් පසුව බලයට පැමිණි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව එම ගිවිසුමේ සඳහන් මුදලට වඩා අඩු මුදලකට එයින් විදුලිය මිලදී ගත හැකි බව පවසා අලුතින් සමාගමක් කැඳවීමට පියවර ගත්තා.

ග්‍රීන් එනර්ජි ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු යි - රනිල්

දැනට සති දෙකකට පෙර අදානි සමාගම තමන් එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවත් එහෙත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ඉදිරිපත් වන බවත් පවසා තිබුණා. ඉන්පසු ඔවුන් තවත් නිවේදනයකින් කියා සිටියේ විදුලි ඒකකයක මිල අඩු කිරීමකට තම කිසි විටෙකත් එකඟ නොවන බවයි.

මස් රාත්තල ම ඉල්ලන අදානි 

පසුගියදා යළිත් ඉන්දියාවේ සංචාරයක ගොස් පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ ඉන්දියාව අමනාප කර නොගෙන අදානි ග්‍රීන් එනර්ජි සමාගම සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවයි ප්‍රකාශ කරන ලද්දේ.

කෙසේ වුවද නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සමඟ පැවැත්වෙන නිල සාකච්ඡාවලින් පසු ආණ්ඩුව මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට ම යළි ලබාදීමට පියවර ගනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා.

අප්‍රේල් 04 වැනිදා ලංකාවට පැමිණෙන ඉන්දීය අගමැතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සමඟත් නිල සාකච්ඡා පවත්වන අතර ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට නියමිතව තියෙනවා.

මේ කාලය තුළ ඉන්දීය අගමැතිවරයා අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය හා ත්‍රීකුණාමලේ කෝනේෂ්වරම් හින්දු කෝවිල වන්දනා කිරීමට නියමිත බව ද ආරංචි මාර්ග පවසනවා.

෴෴෴෴෴෴ ෴෴෴෴෴෴

බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ හා එල්ටීටීඊ යේ හිටපු නායකයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව පසුගිය 24 වැනිදා සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව බොහෝ දෙනා අප්‍රසාදය පළ කරනවා.

නියෝජ්‍ය ආරක්ෂක ඇමති දන්නෙ නැතැ ලු

 එම ප්‍රකාශය නිකුත් වූ දිනයේ මාධ්‍යවේදීන්  නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතාගෙන් ඒ ගැන විමසූ විට ඔහු පැවසුවේ තමන්ට එවැනි දෙයක් ගැන දැනගන්නට ලැබී නැති බවයි.

ඒ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් යුද්ධය ආරම්භ කිරීමට විධායක ජනාධිපති වශයෙන් අණ දුන්නේ තමා බවත් තමා එහි වගකීම බාර ගන්නා බවත් ප්‍රකාශ කළා. ආරක්ෂක හමුදාව කළේ තමාගේ නියෝග ක්‍රියාත්මක කිරීම බවත් ඔහු විසින් දන්වා තිබුණා.

ආණ්ඩුවේ පතෝල නිවේදනය

බ්‍රිතාන්‍ය ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන ෂවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය හා වසන්ත කරන්නාගොඩ යන නිලධාරීන්ට සම්බාධක පැන වූ නමුත් යුද්ධයට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගැන කිසිවක් සඳහන් නොකිරීම හා ඔහුට සම්බාධක නොපැනවීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

මේ පිළිබඳව පසුගිය 26 වැනිදා එනම් බ්‍රිතාන්‍ය නිවේදනයෙන් දින  දෙකකට පසු විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට දන්වා තිබුණේ බ්‍රිතාන්‍යයේ මේ තීරණය ඒකපාර්ශ්විකව ගත් එකක් බවයි. එය සාමය හා සංහිදියාව ඇති කිරීමට බාධාවක් බව ද හේරත් මහතා ගේ නිවේදනයේ සඳහන් වුණා.

මේ ගැන සඳහන් කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසුවේ ආණ්ඩුවේ නිවේදනය පතෝල නිවේදනයක් බවයි.

උතුරේ දෙමළ ඡන්ද බලාගෙන ආණ්ඩුව මේ ගැන ඇඟ බේරාගෙන කටයුතු කරනා බව පෙනෙන්නේයැ යි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසුවා.

ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය උතුරට හොඳ වුණාට පළාත් පාලන ඡන්දයේ දී දකුණට අයහපත් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

 - ජගත් -