ජගත් ගේ සතියේ සටහන - 109
ඉරාන බලධාරීන් ගේ හදිසි ඉල්ලීමෙන් ආණ්ඩුවට විමතිය හා සැකයක්
පෙබරවාරි 26 වැනිදා ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබුණේ ඉරාන නාවික හමුදා නැව් 3 කට ශ්‍රී ලංකාවේ වරායකට පැමිණීමට අවසර දෙන ලෙස. මෙම නැව් තුන මාර්තු 9 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වරායකට ඇතුළු වීමට මෙසේ අවසර ඉල්ලා තිබුණා. එයට හේතු වශයෙන් මෙම නැව් පැමිණෙන්නේ සහයෝගිතාව වර්ධනය කිරීමේ සංචාරයක් සඳහා බවයි එරට බලධාරීන් දැනුම් දී තිබුණේ.
සාමාන්‍යයෙන් විදේශ හමුදා යාත්‍රාවක් වෙනත් රටක යම් වරායකට සහයෝගිතා සංචාරයක් සඳහා පැමිණෙන්නේ නම් ඒ සඳහා අදාළ රටේ අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කොට අවසර ලබා ගත යුතු යි. එහේ ඉරාන බලධාරීන් හදිසියේ ම කළ මෙම ඉල්ලීම මෙරට බලධාරීන්ගේ විමතියට හා සැකයට හේතු වී තිබුණා.
පසුව මේ ගැන සොයා බැලූ බලධාරීන්ට වාර්තා වුණේ මෙම නැව් තුන ම ශ්‍රී ලංකා මුහුදු සීමාව අසලට ම පැමිණ ඇති බව යි.
මේ ගැන ආරක්ෂක මණ්ඩලය ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබුණා. ඒ අතර මෙම නැව් තුනෙන් එක නැවක් වන 'අයිරිෂ් ඩෙනා' ගාලු වරයාට සැතපුම් 40 ක් පමණ ඈත මුහුදේ දී ඇමරිකානු සබ්මැරීනයකින් 'ටෝපිඩෝ' බොම්බ ප්‍රහාරයක් එල්ල කොට ගිල්වා දැමූ බව වාර්තා වුණා. මෙම නැවට ප්‍රහාරයක් එල්ල වී අනතුරකට පත්වී ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට දැන ගැනීමට ලැබී තිබුණේ මාර්තු 4 වනදා අලුයම 5. 08 ට යි.

නාවික හමුදාවේ දැනුම් දීම අනුව එම ප්‍රදේශයට ගිය ගුවන් හමුදාවේ 'බීච් ක්‍රාෆ්ට්' නිරීක්ෂණ යාත්‍රාව වාර්තා කළේ මුහුදේ විශාල තෙල් පැල්ලමක්, දක්නට ඇති අතර ඒ අවට පිරිසක් පාවෙමින් සිටින බව යි. ඒ අනුව නාවික හමුදාවේ ගාල්ල කඳවුරෙන් ඩෝරා යාත්‍රා දෙකක් පිටත් කර හරිනු ලැබුවා. නැව් අනතුරෙන් පසු මුහුදේ පාවෙමින් සිටි 32 කු බේරා ගෙන ගාල්ල ජාතික රෝහල වෙත ගෙන එන ලද අතර තවත් 84 දෙනකුගේ මළ සිරුරු ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව සමත් වුණා.
එහෙත් 'අයිරිෂ් ඩේනා' නැව ගිලීගියේ කෙසේදැ යි නාවික හමුදාව හෙළිකළේ නැහැ. එසේ වුවද ඇමරිකානු රාජ්‍ය ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) 4 වනදා රාත්‍රියේ පවසා තිබුණේ ජාත්‍යන්තර මුහුදේ දී ඇමරිකානු සබ්මැරීනයක් මඟින් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන නැවක් ගිල්වා දැමු බව යි.
මේ අතර ඉරාන බලධාරීන් ශ්‍රී ලංකාවෙන් තවත් ඉල්ලීමක් කරමින් තම රට අයත් තවත් නැවකට කොළඹ වරායට පැමිණීමට අවසරය දෙන ලෙස ඉල්ලා තිබුණා.

දකුණු ඉන්දියාවේ විශාඛා පට්ටම් හි මුහුදේ පැවති 'මිලාන් 26' ජාත්‍යන්තර යුද අභ්‍යාසය සදහා පැමිණ තිබු ඉරාන නැව් තුනෙන් එකක් වන 'අයිරිෂ් බුෂර්' නැව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු තීරයේ පානදුර ප්‍රදේශයේ මුහුදේ නැංගූරම් ලා තිබු බවයි කොළඹට වාර්තා වුණේ.
මේ ගැන ආරක්ෂක මණ්ඩලය යළිත් රැස්වී සාකච්ඡා කළේ මෙම නැවට කොළඹ වරායට ඒමට ඉඩ දෙනවා ද නැද්ද යන්න පිළිබඳව යි.
මෙම නැව ශ්‍රී ලංකා මුහුදු තිරයේ රැඳී සිටින බැවින් පළමුව එහි නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කළ හැකි දෙයක් කළ යුතු බව ආරක්ෂක මණ්ඩලය දීර්ඝව සාකච්ඡා කළා.
''මේ නැව කොළඹ වරායට ගේන්න බැහැ. එවිට මේක යුද ඉලක්කයක් විය හැකියි. ඒ වගේම කොළඹ වරායේ ඉරාන නැවක් තියෙනව කියලා ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රචාරයක් යන්න පුළුවන්. කොළඹ වරාය තමයි අපේ රටේ ආර්ථිකයේ හදවත. ඒ නිසා නැව කොළඹට ගේන්න ඉඩ දෙන්න බැහැ. ඒත් අපි පළමුවෙන් නැවේ සිටින පුද්ගලයින්ගේ ජීවිත බේරා ගත යුතු යි. ඒක ජාත්‍යන්තර නීතියටත් එකඟයි" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා තිබෙනවා.

අන්තිමට මේ සාකච්ඡාවෙන් තීරණය වී තිබෙන්නේ 'අයිරිෂ් බුෂර්' නැව ත්‍රීකුණාමලයට යැවීමටත්, එහි සිටින නාවිකයින් 208 දෙනාට වැලිසර නාවික කඳවුරේ නවාතැන් පහසුකම් සැපයීමටත්.
එහෙත් ඇමරිකාව මෙයට කැමැත්ත දක්වා නැහැ. ඇමරිකානු බලධාරීන් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ කලින් නැවේ සහ දෙවැනි ඉරාන නැවේ නාවිකයින් ආපසු ඔවුන් ගේ මව්රටට (ඉරානයට) නොයැවිය යුතු බව යි.
මේ ගැන නවදිල්ලියේ දී මාධ්‍යවේදිනියක එරටට ගොස් සිටින විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ගෙන් විමසීමක් කළා. එම නාවිකයින් ආපසු ඉරානයට යවන්නේ දැ යි ඇය ප්‍රශ්න කළ විට විජිත හේරත් මහතා පැවසුවේ ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට අනුකූලව මානුෂික අයුරින් ඔහුන් ගැන කටයුතු කරන බව යි.

ශ්‍රී ලංකා රජය ඇමරිකාවේ ඉල්ලීම නොතකා කටයුතු කළහොත් එය අනාගතයේ දී ශ්‍රී ලංකාවට අහිතකර අයුරින් බලපා හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
ආණ්ඩුවට ප්‍රශංසා!
එසේ වුව ද ඉරාන නැව හා නාවිකයින් සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය කරු ජයසූරිය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, යන මහත්වරු ඇතුළු බොහෝ පිරිසක් අනුමත කොට තිබෙනවා.
එමෙන්ම ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ජනමාධ්‍යය ද ශ්‍රී ලංකාව ඉරාන නැවියන් ආරක්ෂා කිරීමට ගත් පියවර ගැන ආණ්ඩුවට ප්‍රශංසාව පළ කොට ඇති බව ද වාර්තා වෙනවා.
මේ අතර ඉරාන නැව් කණ්ඩායමේ තුන්වැනි නැව ඉන්දියාවේ කොචින් වරායට ගෙන යෑමට ඉන්දීය රජය අනුමැතිය දී තිබු අතර දැනටමත් නැව කොචින් වරායේ රඳවා තිබෙනවා. ඇමරිකාව ඒ ගැන මෙතෙක් ප්‍රකාශයක් කළ බවක් දැනගන්නට නැහැ.
අප ඉකුත් සතියේ දී සඳහන් කළ අන්දමට නොරොච්චෝලේ ලක් විජය බලාගාරයට ගල් අඟුරු ගෙන්වීමේ දී සිදුවී ඇතැ යි කියන වංචා හා අක්‍රමිකතා පිළිබඳව ප්‍රශ්නය දැන් ආණ්ඩුවට මඟ හැරිය නොහැකි තත්වයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා.
මෙම ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ගෙන්වීම නිසා රජයට රුපියල් බිලියන 737 ක විශාල පාඩුවක් සිදුවී ඇති බව පෙන්වා දෙන විපක්ෂය එයට වගකිවයුතු බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා එම තනතුරෙන් ඉවත් කරන්නැ යි ආණ්ඩුවට බලකර සිටිනවා.
පොහොර සංස්ථාවේ මගඩියකට ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා භාරදීලා
මේ අතර කුමාර ජයකොඩි ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය කටයුතු කරගෙන යන බව ද එහි ආරංචි මාර්ග පවසනවා.
කුමාර ජයකොඩි මහතා 2008 වසරේපොහොර සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරමින් සිටිය දී එහි කාපට් ඇතිරීමේ ටෙන්ඩරයක් හිතවත් ආයතනයකට ලබාදීමෙන් රජයට රුපියල් ලක්ෂ 88 ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය සතියේ කොළඹ මහාධිකරණය හමුවේ ඔහුට විරුද්ධව අධිචෝදනා භාරදී තිබෙනවා.
මෙතෙක් කල් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වුණේ ගල් අඟුරු ටෙන්ඩරයේ කිසිදු වංචාවක් නොමැති බවත්, එය නියමාකාරයට ලබාදී ඇති බවත් ය. ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු සැපයූ ටෙන්ඩර් කරුට අධිභාරයක් පනවා එයින් සිදුවන පාඩුව පියවා ගන්නා බව ද ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළා.
එහෙත් හිටපු බලශක්ති ඇමතිවරයකු වන පාඨලී චම්පික රණවක, සජබ මන්ත්‍රීවරුන් වන එස්. එම්. මරික්කාර්, අජිත් පී. පෙරේරා යන මහත්වරු ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්තා උපුටා දක්වමින් ගල් අඟුරු ටෙන්ඩරයෙන්, රජයට සිදුවන අලාභය ගැන දීර්ඝ ලෙස විස්තර කොට තිබුණා.
පොහොර සංස්ථාවේ ටෙන්ඩරයේ දී සිදුවී ඇති වංචා පිළිබඳව අධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින, වර්තමාන ගල් අඟුරු ටෙන්ඩරයේ වගකිව යුත්තා ලෙස සැලකෙන කුමාර ජයකොඩි ඇමතිවරයා ආරක්ෂා කිරීමට ආණ්ඩුව තව දුරටත් කටයුතු කරනවාදැ යි දේශපාලන විචාරකයින් ප්‍රශ්න කරනවා.
පොහොර ටෙන්ඩරයේ දී සිදුවී ඇති දූෂණය පිළිබඳව කුමාර ජයකොඩි මහතා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට පසුව මහාධිකරණයේ නඩු පැවරිය යුතු වූවත් ඔහුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කෙළින් ම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීම සම්ප්‍රදායෙන් පිට පැනීමක් ලෙසයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ.
සිය බිරිද ගේ උපාධි ප්‍රදානෝත්සවයට ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා රුපියල්1, 68 00000 ක මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කොට අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළා. ඉන් පසුවයි ඔහුට අධිචෝදනා ගොනු කළේ.
මෙය ආණ්ඩුව නීතිය නැමීමක් ලෙසයි දේශපාලන විචාරකයින් හඳුන්වන්නේ. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද මේ ගැන පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ නමුත් ආණ්ඩුව පැත්තෙන් එයට පිළිතුරක් ලැබුණේ නෑ.
මේ තත්වය ආණ්ඩුවේ ප්‍රතිරූපයට අහිතකර අන්දමින් බලපාන බැවින් කුමාර ජයකොඩි ඇමතිවරයා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම්දීම හෝ ඇමති ධුරයෙන් ඉවත් කිරීම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉක්මනින් තීරණයක් ගතයුතුව ඇතැ යි ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් පවසනවා.
