හෙළදිව කෙටිකතාව
සිතුවම - එල්. ටී. පී. මංජශ්‍රී (උපුටා ගැනීම - අන්තර්ජාලයෙනි)
"අම්මේ.... අම්මේ "
පුටුව උඩම අඩ නින්දකට වැටී සිටි සුජාතා ගැස්සී අවදි වුණේ නිපුනිගේ හඬින්.
නිපුනි අද මේ වෙලාවට නිවසේ සිටින්නේ ඇයි දැයි ඇයට එක්වරම සිතාගත නොහැකි වූවත් එය සෙනසුරාදා දිනයක්.
" ඇයි...?ඇයි??"
''මට ටිකක් නින්ද ගියා"
" අම්මේ, ලොකු හාමුදුරුවෝ වැඩමකරළා"
" කෝ, කොහෙද ?"
තුනටියේ වේදනාව අමතක වුණු, සුජාතා පුටුවෙන් නැගිට්ටේ ඉද්ද ගැහුවා වාගේ ය.
" ඉස්තෝප්පුවේ! මම පුටුවකට සුදු රෙද්දකුත් දාලයි ආවේ. අම්මව හම්බවෙන්නමයි වැඩමකරලා තියෙන්නේ."
ඇඳන් හිටිය ගවුම ගලවලා ඇඳ උඩට දාපු සුජාතා , ඉස්කිරිමේ තිබුණු හෝදපු ගවුමක් ඇඳගත්තා. පනා පාරවල් දෙක තුනක් ගහලා, කොණ්ඩෙ එක්තැන් කරගෙන ඉස්තෝප්පුවට ගියේ, මූණේ පවුඩර් ටිකකුත් උලාගෙනයි.
" අපේ හාමුදුරුවනේ!, ඔබ වහන්සේ වැඩමකරන්න මහන්සි වුණේ, පණිවිඩයක් එව්වා නම් මම පංසලට එනවනේ"
සුජාතා කිව්වේ පාත්වී හාමුදුරුවන්ට වඳින ගමන්.
" අනේ ඒකට කමක් නැහැ ඉස්කෝලෙ හාමිනේ. තවත් ගෙවල් හතර පහකට යන්නත් එක්කමයි අද දොට්ට බැස්සේ. මෙහෙන්ම ගමන පටන්ගන්න හිතුවා. ලොකු ඉස්කෝලේ මහත්තයා ඉන්න කාලෙත් ඕනෑම සුභ කටයුත්තක් පටන්ගන්ගනිද්දි මුලින්ම වැඩියේ මෙහෙටනේ. ඉස්කෝලෙ මහත්තයා නැතිවුණාට පස්සෙ ඉස්කෝලෙ හාමිනෙත් අපිට බොහොම උපකාර කරලා තියෙනවා."
" එහෙමයි හාමුදුරුවනේ! "
" පංසලේ බෝධි ප්‍රාකාරය දැන් බොහොම අබලන්.තැන තැන පුපුරලා.මුල් ගිහිං. දායක සභාවෙ අදහස තියෙන්නේ බැම්ම ඉවත්කරලා රන් වැටක් හදන්නයි.එහෙම කලොත් බොහොම අලංකාරයට හිටීවි. ලොකු මුදලකුත් යනවා. ඒ මුදල් එකතුකරගන්න වෙන්නේ ගමේ දානපතියන්ගෙන්ම තමයි. ටවුමේ තොග කඩේ සිරිවර්ධන මුදලාලි යන මුදලින් බාගයක්ම දෙනවා .ඉතිරි මුදල තමයි අපට හොයාගන්න තියෙන්නේ" යි වදාළ ලොකු හාමුදුරුවෝ,
''ඉතින්, ඉස්කෝලෙ හාමිනේගේ පිංවත් දෑතින් ම මුලින් ම ආදාර පත්තරයට ගණනක් ලියන්නකෝ. අදම මුදල් දෙන්න ඕන නැහැ.ලබන මාසෙ පළවෙනිදා වෙනකොට ලැබුනොත් ඇති ." යි පැවසූ හ.
"සුජාතගේ ඉහ මොළ දාලා ගියේ, බැංකු පොතේ තියන සොච්චම මතක් වෙලා. දෙන්නගෙම පැන්ෂන් එක ලැබුණත් බෙහෙත් වලටයි, ගෙදර අඩුවැඩියටයි ගියහම, මාසෙ අන්තිමට පොතේ ඉතුරුවෙන දෙයක් නැහැ.
ඒත් සිරිවර්ධන මුදලාලි මතක්වෙද්දී දැනෙන්නේ ලැජ්ජාවක්. ඒ කාලේ කඩේ බඩු කිරන්න ගිය කොල්ලා,.දැන් මහ මුදලාලි කෙනෙක්. දැක්ක තැන " ඉස්කෝලේ හාමිනේ" කියලා ඔළුව පාත්කරනවා තමයි.
" අනේ අනිච්චං අපිට ගිය කලක් " සුජාතාට හිතුණා.
මොනවා කරන්නද ? ඉස් ඉස්සෙල්ලම ආපු නිසා ලක්ෂයක් වත් නොලියා බැහැ.ලක්ෂ දෙකක් වත් ලියන්න තිබුණා නම් හොඳයි. ඒත් පොතේ ඉතිරිවෙලා තියෙන්නෙත් ලක්ෂ දෙකයි. ඒකත් බොහොම අමාරුවෙන් බේරගෙන ඉන්නේ.ලෙඩක් දුකක් හැදුණොත් බෙහෙත් ගන්න, නැත්නම් තමන්ගේ අවසන් කටයුත්තකට හරි ගන්න හරි කියලා තමයි ඕක ඉතිරිකරගත්තේ.
"නිපුනි දන්නවානම් ඕකටත් විදලා "
සුජාතාගේ හිතේ දුව ගැන ඇතිවුණේ කලකිරීමක්.
"දැන් ගමේ හැමතැනම අලුත් සල්ලිකාරයෝ. ලක්ෂය හොඳටම මදි. මැරුණු මහත්තයටත් හොඳ නැහැ. ලක්ෂ දෙකක්ම ලියනවා. ලෙඩ වුණොත් ආණ්ඩුවේ ඉස්පිරිතාල තියෙන්නේ. මැරුණොත් ඉන්න එකෙක් වලලන්න ,පුච්චන්න බැරිනම් කාණුවකට හරි ඇදලා දාන්නේ නැතෑ . යනකොට ගෙනියන්න තියන්නේ ඔච්චරයි."
එහෙම හිතපු සුජාතා රුපියල් ලක්ෂ දෙකක්ම ලියලා, දෝතින්ම ආදාර පත්තරය, ලොකු හාමුදුරුවන්ට පිළිගන්වලා වැන්දා.
සුජාතාගේ කරට උඩින් ආදාර පත්තරය කියවපු නිපුනි, කතා නොකරම ගෙට ගියා. ලොකු හාමුදුරුවෝ ආපහු වඩිනකොට වඳින්නවත් ආවේ නැහැ.
"කොච්චරවත් නෑ , නෑ කිව්වට අම්මා ළඟ තියෙන සල්ලි, එළියට එන්නේ ආදාර පත්තරයක් දැක්කොත් තමයි."
රෑට උයන ගමන් නිපුනි කිව්වා.
"ඇයි මම උඹලගෙ ඕනෑ එපාකම් වලට දෙන්නේ නැද්ද?"
එහෙම කියාගෙනම කුස්සියෙන් පිටවුණු සුජාතා, කාමරයට ඇවිත් ඇඳේ ඇලවුණා. හවස හයියෙන් හයියෙන් එහාට මෙහාට ඇවිදපු නිසා කොන්දෙ අමාරුව වැඩිවෙලා.
සුජාතාට දරුවෝ දෙන්නයි. වැඩිමලා නිපුනි. පුතා රුචිර. නිපුනි ඉස්කෝලේ යන කාලෙමයි කැලුම් එක්ක සම්බන්ධයක් පටන්ගත්තේ.
"ඕක නිසා තමයි නිපුනිට කැම්පස් යන්නත් බැරිවුණේ."
සුජාතා තනියම කියවනවා.
තරවටු කළත් අවවාද අනුශාසනා දුන්නත්, ඒ සම්බන්ධය බිඳින්න බැරිවුණා. උසස් පෙළ කරලා මග නවතින්න සිද්ධවුණා.
"මක්කරන්නද කරුමෙ "
සුජාතා තොල් මැතිරුවා .
රජයේ ලිපිකාර විභාගයට පෙනී ඉඳලා තමයි ඔය රස්සාව හම්බවුණේ.
" ඉස්කෝලෙ මහත්තයා මොනතරම් මහන්සි වුණාද ඕකවත් හදලා දෙන්න"
සුජාතට මහත්තයා මතක්වෙලා සුසුමක් පිටවුණා.
නිපුනි රස්සාවට ගිහින් ටික කලකින්ම කැලුම්ව බැන්දා. කැලුම් වැඩකළේ මොකක්දෝ පුද්ගලික තැනක.එක තැනක වැඩි දවසක් රැඳෙන්න බැරි ගතියක් කැලුම්ට තියනවා.දැනට රස්සාවල් දහයක් පහලොවක් කරලා ඇති.එකක්වත් ස්තිර නැහැ.ගන්න ගානත් බීමටම වියදම් කරනවා.කුලී ගෙවල් මාරු කරකර ඉන්දැද්දි ඉස්කෝලෙ මහත්තයමයි කිව්වේ මහගෙදර ඇවිත් නතරවෙන්න කියලා.මහත්තයා නැතිවුණේ ගේ ඔප්පුවකින් පවරලා නෙවෙයි.
" නැත්නම් මෙළහකට මේකත් උගස් කරලා"
සුජාතාගේ හිතට ආවේ තරහවක්.
රුචිර නම් බැංකු නිලධාරියෙක්.ගමේ එන්නෙ යන්නේ කලාතුරකින්. කසාද බැඳලා එහෙම බින්න බැස්සා.මහගෙදර අක්කා ඉන්න එක ගැන ඉන්නේ නොහොඳින්. අවුරුද්දටත් රෙදි කෑල්ලක් අරගෙන පවුල පිටින් ඇවිත් කරපොවලා යනවා විතරයි.
නිපුනිගේ පඩිය මදි දරුවෝ දෙන්නගේ කටයුතු කරගන්නවත්. ඉස්කෝල වෑන් එකටම පහළොස් දාහක් ඕන. පංති ගාස්තු ඊට වැඩී. ඒ නිසා ගෙදර වියදම දරන්න වුණේ සුජාතාට. හොඳ වෙලාවට ලයිට් බිල විතරයි. වතුර ළිඳෙන්. ඒත් ඒකත් ලයිට් බිලටම එකතුවෙනවා.
කැලුම් නම් සත පහක් ගෙදර වියදමට දෙනවද කියලා සැකයි. ඒත් කැලුම්ට විරුද්ධව වචනයක් කිව්වොත් නිපුනි එන්නේ හැපින්න වගේ පෙනේ පුප්පගෙන.
" හෙටම ගිහින් සල්ලි ටික බැංකුවෙන් ගන්න ඕන. ගත්ත ගමන්ම පංසලට ගිහින් හාමුදුරුවන්ට දීලම එන්න ඕන. නිපුනි දැනගත්තා මගේ ළඟ සල්ලි තියෙන බව.නැත්නම් හෙට හවසම මොකක්හරි අහකදාන්න බැරි වුවමනාවක් කියාගෙන සල්ලි ටික ඉල්ලගෙන එයි.
සුජාතා ඇඳේ ඉඳගෙනම කල්පනා කළා.
සල්ලි ගෙදර ගෙනත් තියාගන්නත් බැහැ. කොට්ටෙ යට තියාගත්තත් අතුරුදහන් වෙනවා. නිපුනි ගන්නවද, ළමයි ගන්නවද කියලා හිතාගන්න බැහැ. කැලුම් නම් සුජාතාගේ කාමරයට එන්නේ නැහැ.
"මම හෙට උදේ ටවුමට යනවා . " රෑට කෑම කන ගමන් සුජාතා , නිපුනිට කිව්වා.
" හදිස්සියෙම. බැංකුවට යන්නද?"
නිපුනි උත්තරය කටටම දුන්නා.
"මේ ගේ ඇතුළෙවත් ඇවිදගන්න බැරුව අම්මා කොහොමද තනියම බැංකුවට යන්නේ."
"වෙනදා යන විදියටම තමයි. මොකෝ, වෙනදත් උඹලා මගේ තනියට එනවද ? උඹලගේ වුවමනාවකට සල්ලි ගන්න දවසකට ඇරෙන්න."
"ඒක තමයි මම ඒකාලෙම අම්මට කිව්වේ කාඩ් එකක් හදාගන්න කියලා. වැඩ ඇරිලා එන ගමන්ම සල්ලි ගෙනත් දෙන්න තිබුණා.
" හොඳට තියෙයි. එහෙම වුණානම් මෙලහකට කීයක්වත් පොතේ නැහැ."
සුජාතා, හිතින් හිතුවා මිසක් කටින් පිට කලේ නැහැ.
කාඩ් එකක් ඉල්ලන්න මැනේජර් මහත්තයා ළඟට ගියපු වෙලාවක කියපු කතාවක් සුජාතට මතක් වුණා.
" කාඩ් එකක් අරගෙන මිස්ට පරිස්සම් කරගන්න පුළුවන්ද? ගෙදර අයගෙන් තමයි වැඩිපුරම පරිස්සම් කරගන්න වෙන්නේ."
සුජාතා ,එදා හිතාගත්තා කවදාවත්ම කාඩ් එකක් ගන්නේ නැහැ කියලා.
සුජාතා නින්දට ගියේ පහුවදාට ඇඳන් යන්න සාරියයි හැට්ටෙයි සූදානම් කරලා.අලුත් සාරියක් නම් ගත්ත කාලයක් මතක නැහැ.දැන් හැමතැනටම අඳින්නේ මගුල් ගෙවල්වල ඇඳලා පරණ වූණු සාරි දෙක තුනක්.සුදු සාරියක් නම් මීට අවුරුදු දෙකකට විතර ඉස්සර අරගත්තා.මරණෙට,දානෙට,පිංකමට සේරටම අඳින්නේ ඒ සාරිය.
විශ්‍රාම අරගෙනත් දැන් කොච්චර කලක්ද? ඒකාලෙ ඇඳපු සාරිත් විශ්‍රාම ගත්තයින් පස්සේ දුන්නේ නිපුනිටම තමයි.උගන්වන කාලෙ නම් සුජාතා පිළිවලට ඇන්දා.
සුජාතා කොහොමත් පාන්දරින් නැගිටිනවා. මොනතරම් අතේ පයේ අමාරු තිබුණත් නිපුනිට උයන්න පොල් ටිකක් හරි ගාලා දෙනවා.එදා නම් නැගිටගන්නවත් බැරි තරමටම කොන්දේ කැක්කුම වැඩි වෙලා. නැගිට්ටේ හිතේ හයියට.ඒ තරම්ම ඇඟේ කෙඩෙත්තුවකුත් තිබුණා.තෙල් ටිකක් ගාන්නවත් නිපුනිටත් වෙලාවක් නැහැ.තෙල් තලි ගාගෙන බස් වල යන්නත් බැහැ.වෙනදා වගේ කුස්සිය දිහාවට යන්නේ නැතිව හෙමි හෙමින් මූණ හෝදගෙන සාරිය පටලවාගත්තා.
"අපි යනවා. අම්මා පරිස්සමෙන් යන්න. රත්තරං බඩු එහෙම දාගෙන යන්න එපා "
කියාගෙන නිපුනි දරුවෝ දෙන්නත් එක්කම පිටවෙලා ගියා.
සාරියේ කටුව ගහන්නවත් කෙනෙක් නැහැ.කටුව ගහන්න යුද්ධයක් කරන්න වුණා.ඒක ගහලා ඉවරවෙනකොට අත් දෙකත් රිදෙනවා.මූණට පවුඩර් ටිකක් දාගෙන කණ්නාඩියෙන් බැලුවහම කර පාළුයි.
" චේන් එකක් වත් නැතිව ගෙයින් එලියට යන්න පුළුවන්ද?"
සුජාතා රත්තරං චේන් පොට දාගත්තා.ඒ පෙට්ටියෙම තිබුණු වලල්ලත් අතක දාගත්තා.බැංකු පොතයි,හැඳුනුම්පතයි අනිත් කළමනා ටිකයි දාපු බෑග් එක උරේ එල්ලගත්තා.කුඩේ ගන්න හැදුවත් ඕනෑ නෑ කියලා හිතුනා.
හතහමාරෙ බස් එක ටවුමට එනකොට අටහමාරයි.බස් ස්ටෑන්ඩර්ඩ් එකේ ඉඳලා බැංකුවට තියෙන දුර ත්‍රී වීලරයක යනවද කියලා කල්පනා කලත්
" එනකොට එනවා" කියලා හිතුවා.
උදේ අව්ව වුණත් හරි සැරයි.කකුලත් බැරි අමාරුවෙන් අද්දගෙන බැංකුවට යන්නම පැය බාගයක් විතර ගතවුණා.එක වරම පෝලිමට එකතු නොවී පුටුවක වාඩි වුණේ හිටගෙන ඉන්න බැරිකමටමයි.එදා සඳුදා දවසක් නිසා පෝලිමත් දිගයි.පැන්ෂන් දවස් නිසා තවත් කලබලයි.
ටිකක් වාඩිවෙලා ඉඳලා නැගිටින්න හැදුවත් කොන්දේ අමාරව පිට දිගේ ඉහලට ඇදෙනවා.සුජාතා හෙමිහිට පෝලිමට එකතුවුණා.සල්ලි අරගෙන ඇවිත් ආයෙමත් පුටුවක ඉඳගත්තා.බෑග් එක ඇරලා සල්ලි ටික පරිස්සමට ඇතුල් සාක්කුවට දාලා වැහුවා.වායුසමිකරණ යන්ත්‍ර තිබුණත් සුජාතාව දාඩියෙන් තෙත් වෙලා.ගිනිගහන අව්වක් පායලා තියෙනවා වීදුරුවෙන් පේනවා.ඒත් මෙතෙන්ට වෙලා වාඩිවෙලා හිටියොත් දහයාමාරේ බස් එක මගහැරෙයි කියලා බයයි.
හෙමින් පුටු ඇන්ද අල්ලගෙන නැගිටපු සුජාතා බෑග් එක හොඳින් කිහිල්ලට තද කරගත්තා.සාරි පොට අරගෙන බෑග් එක නොපෙනෙන විදියට කර වටේ ඔතාගත්තා.බැංකුවේ පඩි පෙළ බැහැලා පාරේ ගමන්කරන සෙනග අතරට එකතු වුණා. ත්‍රී වීලරයක්වත් පේන මානයක තිබුණේ නැහැ.
" අඳුනන්නේ නැති ඒවට නගින්නත් බයයි."
අනිත් අතට හිතුණා.
" ටික දුරනේ. හෙමින් හෙමින් යනවා "
මීටර් දෙතුන් සීයක් යනකොට වෙනදා නැති හතියකින් පපුව හිරවෙනවා වගේ සුජාතාට දැනුණා. ඇස් දෙක නිලංකාර වුණා. පාරේ යන එන නොපැහැදිලි රූප අතරේ තමන් ඉන්නේ කොතනද කියන එක සුජාතාට අමතක වුණා. වාරු නැති දෙපා ඉදිරියට ඇදගෙන යන්න හැදුවත් තව දුරටත් ඒවා ප්‍රතිචාර දැක්වූයේ නැහැ. කිහිල්ලට තද වී තිබූ බෑග් එක ගිලිහෙනවාවත් සුජාතාට දැනුනේ නැහැ. කපා හෙලූ ගසක් වගේ සුජාතා පදික වේදිකාව අයිනේ ඇද වැටුණා.හිරු අහසේ බැබලෙමින් තිබුණා.
"අල්ලන්න....අල්ලන්න"
" ඇම්බියුලන්ස් එකකට කතා කරන්න "
කොහෝදෝ ඈත ලෝකයකින් සුජාතාට ඇහුණා.
