විපක්ෂ නායකවරයා ගේ තෛපොංගල් පණිවිඩය
ශ්‍රී ලංකාවාසී සහ සකළ ලෝකවාසී හින්දු ජනතාව ස්වභාව ධර්මයට කෘතගුණ සලකණු වස් බැතියෙන් සහ ගෞරවයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයක් එක් කරනුයේ ඉමහත් සතුටිනි.
මානව පරිණාමයේ මුල් අවදියේ සිටම අප ස්වභාව ධර්මය හා බැඳුණු දිවි පෙවෙතකින් යුක්ත විය. එහි දී ලොවට ජීවය ලබා දෙන හිරු දෙවියන් වන්දනා කිරීම අතීතයේ සිට සිදු වූවකි. මෙකී හිරු දෙවියන් කෙරෙහි ඇති අපරිමිත විශ්වාසය සහ ගෞරවය උදෙසා පවත්වනු ලබන විශේෂ උත්සවයක් ලෙස තෛපොංගල් උත්සවය පෙන්වා දිය හැකිය. මිනිසා හා ස්වභාව ධර්මය අතර ඇති අන්‍යෝන්‍ය බැඳීමට කෘතගුණ සැලකීමේ මහඟු අවස්ථාවක් වන තෛපොංගල් උත්සවය හින්දු ජනතාවගේ ආධ්‍යාත්මික ජීවන රටාවට යහපත් සිතුවිලි එක් කරන උත්සවය ලෙස ද හැඳින්විය හැකිය.
අලුතින් නෙළා ගත් අස්වැන්න හිරු දෙවියට පූජා කර එළැඹෙන වසරේ යහපත උදා කර දෙන මෙන් මෙහි දී ඉල්ලා සිටියි. අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමඟ ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ තිබේ. මෙකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු වේ. ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක 1 රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිමි.