උණුසුම් පුවත්කාලීනපරිසරයසෞඛ්‍යය

ආබාධිත අන්තර්කරණ සේවා සැපයීම වැඩි දියුණු කිරිමේ සැසි‍යෙන් පසුව….!!!

මුල්ම විගණන වාර්තාව මෙසේ පිරිනැමුණු වගයි

ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින්, ආබාධ සහිත පුද්ගලයන්ට පොදු ස්ථානවලට සහ රජයේ ආයතනවලට ප්‍රවේශ වීමේ පහසුකම් පිළිබඳ ප්‍රවේශ පහසුකම් මුල්ම විගණන වාර්තාව ඊයේ (04) නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර පියස පරිශ්‍රයේ දි කම්කරු අමාත්‍යංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය වෙත එම පාර්ලිමේන්තු සංසදයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා විසින් නිල වශයෙන් පිරිනමනු ලැබිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ම‍හතාගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ සහ මැතිවරණ පද්ධතිය  සඳහා වූ ජාත්‍යයන්තර පදනම ( IFES ) හා ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහිතව ප්‍රවේශ පහසුකම් විගණන, උපදේශක ටිකිරි කුමාර ජයවර්ධන මහතාගේ මෙහෙය වීම යටතේ ආබාධිත තැනත්තන්ගේ විගණන කණ්ඩායම සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ඇතුළු නිලධාරි මණ්ඩලයකගේ සහභාගිත්වයෙන් පැවැති අතර එහි හඳුනාගත් ගැටලු හා විසඳුම් ඇතුළත් කරමින් මෙම ප්‍රවේශ පහසුකම් විගණන වාර්තාව සකස් කර තිබේ.

‍මෙහිදි මෙම වාර්තාව භාර දෙමින් සුගත් වසන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ,  2025 නොවැම්බර් 20 දින පවත්වන ලද “ ආබාධිත අන්තර්කරණ සේවා සැපයීම වැඩි දියුණු කිරිමේ සැසි‍යෙන් පසුව, අපගේ මැදිහත්වීම මත කම්කරු අමාත්‍යංශය ගනු ලැබූ පියවරයන් ගැන මම ඉතාම සතුටු වෙනවා. මෙය සමස්ත ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කරන සද් කාර්යයක් ලෙස දකිනවා. අප මෙහිදි ඉදිරිපත් කළ ප්‍රධාන නිර්දේශයක් වූයේ කම්කරු දෙපාර්තමේන්තුව සහ කම්කරු අමාත්‍යංශය පිහිටි මෙහෙවර පියස නව ගොඩනැගිල්ලේ භෞතික ප්‍රවේශය නිසි ලෙස සැලසුම් කර ඇත්දැයි සොයා බැලීමයි. අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තුව ඒ් අනුව කටයුතු කිරිම ඉතාම ප්‍රශංසනීයයි. විශේෂයෙන්ම මෙහිදි කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාට විශේෂ ස්තුතිය පුද කරනවා.

IFES ආයතනයේ පහසුකම් සැපයීම යටතේ, ආබාධිත පුද්ගලයන්ද ඇතුළත් අපගේ කණ්ඩායම ඉතා කෙටි කාලයකින් මෙම විගණනය සිදු කර නිර්දේශ සහිත වාර්තාව සකස් කළා. මීළඟ පියවර වන්නේ මෙය ක්‍රියාත්මක කිරීමයි. ඇතැම් වැඩිදියුණු කිරීම් මෙම වසරේ අයවැයෙන් සිදු කළ හැකි අතර, තවත් සමහරක් සඳහා මීළඟ අයවැය චක්‍රයේදී ප්‍රතිපාදන වෙන් කළ හැකිය. තවද, පොදු ප්‍රවේශ්‍යතාව සඳහා රුපියල් මිලියන 1,000 ක් වෙන් කර ඇති අතර, අවශ්‍යතාව අනුව සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය හරහා අතිරේක සහාය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

කම්කරු අමාත්‍යාංශ ලේකම් එස් එම් පියතිස්ස මහතා

මෙම තාක්ෂණික වාර්තාව වඩාත් අන්තර්කරණය වූ පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරකි. බොහෝ පැරණි ගොඩනැගිලි ඉදිකර ඇත්තේ සමාජ අවබෝධය සීමිත වූ යුගයකයි. අද වන විට අප රාජ්‍ය අංශය තුළ ප්‍රවේශ්‍යතාවය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය.

ප්‍රවේශ පහසුකම් විගණන, උපදේශක ටිකිරි කුමාර ජයවර්ධන මහතා

ප්‍රවේශ්‍යතාව යනු බාධාවකින් තොරව පරිශ්‍රයකට ඇතුළු වීමට, එහි හැසිරීමට සහ සේවාවන් ලබා ගැනීමට ඇති හැකියාවයි. අපගේ ඇගයීම රෝද පුටු භාවිතා කරන්නන් ඇතුළු ශාරීරික ආබාධ සහිත පුද්ගලයින් මෙන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයින්ගේ අවශ්‍යතා කෙරෙහි ද අවධානය යොමු කළා. මෙහිදී ගැටළු 32 ක් හඳුනාගත් අතර, ඒවා විසඳීම සඳහා රූපසටහන් සහ නිදර්ශන සහිත නිර්දේශ 28 ක් ඉදිරිපත් කර තිබෙනවා.

නිර්දේශයන් ක්ෂණික, මධ්‍යකාලීන සහ දිගුකාලීන වශයෙන් වර්ග කර ඇත. වසර දෙක තුනක් ඇතුළත මේවා ක්‍රියාත්මක කළහොත්, මෙය අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාද ආදර්ශයක් වනු ඇත. මෙහිදී 2006 ගැසට් පත්‍රය පදනම් කරගත් අතරම, ගෝලීය වශයෙන් භාවිත වන නමුත් දේශීයව තවමත් නිල වශයෙන් සම්මත කර නොමැති 'සර්වකාලීන සැලසුම්කරණ' (Universal Design) මූලධර්ම ද ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව, ඉදිකිරීම් උපදේශකයින් සහ කොන්ත්‍රාත්කරුවන් ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් පිළිබඳව දැනුවත් කිරීම, සංඥා භාෂා පුහුණුව ඇතුළුව ආබාධිත පුද්ගලයින්ට සහාය වීම පිළිබඳව කාර්ය මණ්ඩලයට අඛණ්ඩ පුහුණුවක් ලබා දීම සහ කම්කරු නීති තුළ 'සාධාරණ නවාතැන්' (Reasonable Accommodation) මූලධර්ම පැහැදිලිව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.