ආර්ථිකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණයසංස්කෘතික

ආයතන කිහිපයක් ඒකාබද්ධ කර හස්ත කර්මාන්ත අධිකාරියක් පිහිටුවීමට සැළසුම්

පේෂකර්ම ක්ෂේත්‍රය සංස්කෘතික උරුමයක් ලෙස පමණක් නොව, නවීන නිර්මාණකරණය, තාක්ෂණය සහ වෙළඳපොළ අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීමත් අරමුණුකි

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජාතික ශිල්ප සභාව, ජාතික සැලසුම් මධ්‍යස්ථානය (National Design Centre) සහ ලක්සල ඒකාබද්ධ කර 2027 වන විට
“ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය” නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.

මේ හරහා සාම්ප්‍රදායික පේෂ කර්මාන්තය නවීන Fashion, Design සහ තාක්ෂණික ක්ෂේත්‍ර සමඟ ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් තරඟකාරී
කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

2021–2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපතිගේ ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව සහ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පදනම් කරගනිමින් එහි ප්‍රගතිය, අභියෝග සහ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණේ එම රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අවස්ථාවේදී ය.

පේෂකර්ම ක්ෂේත්‍රය සංස්කෘතික උරුමයක් ලෙස පමණක් නොව, නවීන නිර්මාණකරණය, තාක්ෂණය සහ වෙළඳපොළ අවශ්‍යතා සමඟ සම්බන්ධ වූ ආර්ථික ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කාරක සභාවේදී අනාවරණය විය.

එමෙන්ම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) හරහා උසස් අධ්‍යාපන හා තාක්ෂණික පුහුණු අවස්ථා පුළුල් කරමින් තරුණ පරපුර මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව නිලධාරීහු පැවසූහ.

දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය, අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ ගණකාධිකාරීවරුන්ගේ පුරප්පාඩු, පළාත් මට්ටමින් පේෂකර්ම උපදේශකවරුන් බඳවා ගැනීම නතර වී තිබීම සහ ඒ හේතුවෙන් පුහුණු වැඩසටහන්වලට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.