ලාංකේය ජාතිය තුළ බෙදීම් සමනය කිරීමටත්, විවිධ ජන කොටස් අතර අවබෝධය හා සහෝදරත්වය පෝෂණය කරලීමටත් ඔහු වෙහෙස විය.
ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා යුක්ති සහගත විසඳුම් ලබා දීම උදෙසා සිය ජීවිතය කැප කළ කෘතහස්ථ ලංකා පුත්‍ර රාජාවරෝතියම් සම්බන්ධන් මහතා ගේ අභාවය පිළිබඳව මම බලවත් සේ කනගාටුවෙමි. සම්බන්ධන් මහතා යනු ලාංකේය දේශපාලනයේ එක්තරා යුගයක් සේ හැඳින්විය හැකි ය.
සම්බන්ධන් මහතා වසර 50 කට අධික කාලයක් සිය ශ්‍රමය හා කාලය තම රට වෙනුවෙන් කැප කළේ ය. මුලින් ම නීතිඥයකු ලෙස ද පසුව දේශපාලනඥයකු ලෙස ද ඔහු සේවය කළේ ය. ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරමින් තම ප්‍රජාව හා ඡන්දදායකයන් වෙනුවෙනුුුත් ලාංකේය සමාජය වෙනුවෙනුත් අඛණ්ඩව සේවය කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද, 2015 සිට 2018 දක්වා විපක්ෂ නායකයා ලෙසද සේවය කරමින්, එක්සත් සහ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීමට හඬ නැඟුවේ ය. ඔහුගේ දැක්ම සහ නායකත්වය දෙමළ ජාතික ව්‍යාපාරයට ප්‍රජාකතන්ත්‍රවාදී ශක්තියක් මෙන් ම හැඩයක් ද එක් කළේ ය.
යුක්තිය, සාධාරණය, සමානාත්මතාවය හා සාමය වෙනුුුුවෙන් හැම විටම ඔහු පෙනී සිටියේ ය. ලාංකේය ජාතිය තුළ බෙදීම් සමනය කිරීමටත්, විවිධ ජන කොටස් අතර අවබෝධය හා සහෝදරත්වය පෝෂණය කරලීමටත් ඔහු වෙහෙස විය.
මමත් එතුමාත් මුලින් ම පාර්ලිමේන්තුවට පිවිසියේ 1977 වසරේදී ය. ලංකාවේ ජනවාර්ගික ගැටලුව උදෙසා තිරසාර විසඳුමක් ලබා දීමේ කාර්යයට එතුමා මුළු හදින් ම උර දුන්නේ ය. 77 දී පාර්ලිමේන්තුවට පැමිණි අප දෙදෙනාගේ ධූර කාලය තුළ මේ ප්‍රශ්නයට තිරසර විසඳෞමක් ලබා දීම සිදු කළ යුතු බව එතුමා නිතර නිතර මා සමඟ පැවසී ය.
සම්බන්ධන් මහතා සිංහල, දෙමළ හා මුස්ලිම් ආදී ලාංකේය දේශපාලන නායකයනට ආදර්ශයකි. එතුමන්ගේ පවුලේ සැමටත්, හිතවතුන්ටත් මගේත්, මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියගේත් ශෝකය මේ සමඟ පිරි නමමි.
රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රිික සමාජවාදී ජනරජයේ ජනාධිපති
2024. 07. 02.