කඳු වළල්ලෙන් වට වූ මිටියාවතක විශ්වීය මිනිසා සෙවීම
ඔහු රුවන්පුරෙහි ය. මා ගාලුපුරෙහි ය.
ඔහු, මා පළමු වරට හමුවූයේ අදින් හවුරුදු පනස් පහකට හෝ පනස් හයකට පෙර දොහක ය.
අපි දෙන්නා ගෙන්දගං පොළොවේ එක ම මාවතක දෙපැත්තෙහි වූ ස්ථාන දෙකක සිටියෙමු. ඒ කොළොම්පුරේ කොටහේනේ, බාබර් වීදියේ මැද හරියේ ය. පාර ඒ පැත්තේ හුන් ඔහුට හෙවණ සැළසුණේ අංක 131 යෙනි. ඒ මඟෙහි මේ පැත්තේ, මා විසුවේ 95 දරණ ස්ථානයෙහි ය.
ඔහු රාජ්‍ය සම්මානිත ලේඛකයෙකි. ගත්කරුවෙකි. නිර්මාණකරුවෙකි. මේ වන විට ඔහු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගමන් කරමින් හෙළ සාහිත කෙත අස්වද්දමින් ලියැදි 33 ක වපුරා ඇත්තේ සාරගර්භ බෝගවලිනි. මේ ඔහු අස්වද්දන ලද අලුත් ලියැද්දේ ඵලය යි.
''කළුගං මිටියාවතේ පුරාවෘත්තය'' ඔහු ඉකුත් මහේ ජන හිත සුව පිණිස එක්කරන ලද බෝගය යි.
මේ අටුවාව ටිකාව රුවන්පුරේ, රතනජෝති මාවතේ දිවි ගෙවන මිතුරා ගැන කරන ලද ඌනපූරණය යි.
හේ නමින් ආරියපාල ය. ජී. ඇල්. ආරියපාලයාණන් ය.
මීට මසෙකට කලින් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූ නිර්මාණ කෘතියක් අද (09) දහවල් තැපැල්කරු විසින් මා අත පත් කෙරුණි.
නොතිත් ආසාවකින් යුතුව එය ආවරණය කඩිමුඩියේ ඉවත් කළ විට දැක්කේ බෝ වියපත් මිනිසකුගේ රුවක් සහිත අපූරු පිටවැස්මකි.
එහි මෙසේ ලියැවී ඇත්තේ ය.
''සාහිත්‍යකරුවන් යැ' යි කියාගන්නා අහංකාර වර්ගයා අතර වෙසෙන ලේඛකයෙක් වනාහී, මහා භයානක මිනිසුන් ය.
ලේඛකයන් පිළිබඳව අඩු තක්සේරුවකින් සිතීම, සුළුකොට තැකීම, කිසිවෙක් නො කළ යුත්තේ ය.
මක්නිසාද යත්,
ඔවුන් වචන හා හැඟීම් වලින් සන්නද්ධ ස්නයිපර්වරුන් වන බැවිනි.
ඔවුහු වචන වලින් ඉලක්ක කරන්නේ කවුරුන් ද?,
ඡේද වලින් වෙඩිතියන්නේ කාටද,
හැඟීම් සහිත පද වලින් ඝාතන සාධාරණීය කරණය කරන්නේ කෙසේදැ'යි යන්න හොඳින් දැන සිටිති.
මේ අපේ මිතුරාගේ අදහසක් නොවේ. නිකිටා ගිල් නම් කිවිඳිය ගේ වදන් ය.
නිකිටා ගිල් නම් ඉන්දු - අයර්ලන්ත සම්භවයක් ඇති කිවිඳියක වන ඇගේ සටහනක් ආරි විසින් උපයෝගි කරගෙන සිය නවතම නිර්මාණ කෘතියේ තෙවන පිටුවෙහි බහාලීම ඔහුගේ යාවත්කාලීන වීම කෙබඳුදැ යි හිතා ගන්නට ොහඳ කාරණාවකි.
ඉංග්‍රීසියෙන් පරිවර්තනය කළ, නිකිටා ගිල් දකුණු එංගලන්තයේ වෙසෙන අයර්ලන්ත - ඉන්දියානු කිවිඳියක්, නාට්‍ය රචිකාවකි, ලේඛිකාවකි. සහ චිත්‍ර ශිල්පිනියකි
