ජගත් ගේ සතියේ සටහන - 81
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේ කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබෙන විශ්වාස භංග යෝජනාව ඔවුන් විසින් ඉල්ලා අස්කර ගැනීමට යන බව විපක්ෂයේ ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.
එයට හේතු වී තිබෙන්නේ නීතිමය ප්‍රශ්නයක්.
නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මහතාට ආරක්ෂක කටයුතු පිළිබඳව කිසිදු විෂයයක් ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපති වරයා විසින් පවරා නොතිබීම නිසා එවැනි අයකුට විශ්වාස භංගයක් ගෙන ඒමට නෛතික ප්‍රතිපාදන නොමැති බව නීති විශාරදයින් පෙන්වා දී තිබෙනවා.
මෙම විශ්වාස භංග යෝජනාව කතානායකවරයාගේ උපදෙස් පිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට නැහැ. මේ පිළිබඳව කතානායකවරයා නීතිපතිවරයා ගේ උපදෙස් විමසා ඇති බවත් පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.
අරුණ ජයසේකර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන අවස්ථාවේ යුද හමුදාවේ නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ හෙයින් ඔහු ආරක්ෂක නියෝජ්‍ය ඇමති වශයෙන් කටයුතු කිරීම පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ වලට බාධාවන බවයි විපක්ෂය පවසන්නේ. එබැවින් ඔහු නියෝජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීම සඳහා යි විපක්ෂය මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ.
මේ අතර විපක්ෂය මෙම විශ්බාස භංග යෝජනාව ඉවත්කොට ගෙන ඒ වෙනුවට අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව එම චෝදනාව ද ඇතුළත් කොට දෝෂාරෝපණ යෝජනාවක් ගෙන ඒමට කටයුතකු කරන බව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ කණ්ඩායමේ ප්‍රමුඛයකු වන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
කෙසේ වුවද විශ්වසා භංග යෝජනාව සම්බන්ධයෙන් කතානායක ජගත් වික්‍රමරත්න මහතා හෙට (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.
xxx xxx xxx xxx xxx xxx xxx xxx
වර්තමාන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වන බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව අයථා මුදල් පරිහරණය සම්බන්ධයෙන් නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කොට තිබෙනවා.
ජයකොඩි මහතා 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටිය දී මුදල් අයථා ලෙස පරිහරණය කොට ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණවලින් පසු මෙසේ නඩු පැවරීමට යන බවයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට සහ තවත් දෙනෙකුට මෙසේ නඩු පැවරීමට යන්නේ රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ බව ද එම ආරංචි මාර්ග පවසනවා.
පොහොර සංස්ථාවේ ටෙන්ඩරයක් ප්රදානය කළ කමිටුවේ ප්‍රධානියා ලෙස එකල කුමාර ජයකොඩි මහතා කටයුතු කොට තිබනවා.
වර්තමාන ආණ්ඩුවේ දූෂණ චෝදනාවලට මුහුණ දෙන පළමු ඇමතිවරයා බවට කුමාර ජයකොඩි මහතා පත්වෙනවා.
මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී මීට පෙර මෙම ප්රශ්නය මතු කරමින්, පොහොර සංස්ථාවේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ පුද්ගලයකු ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු ලෙස කටයුතු කරනා බව ප්‍රකාශ කොට තිබුණා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගේ අල්ලස් හෝ දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වා ගෙන යෑම පිළිබඳව බොහෝ දෙනා චෝදනා කළේ ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සඳහා මෙම පරීක්ෂණ සිදු කරන බවයි.
එහෙත් වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකුට විරුද්ධව නඩු පැවරීමට යාමෙන් පෙනී යන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ස්වාධීනව කටයුතු කිරීමට බලයක් තිබෙන බව යැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
මේ අතර පසුගිය ආණ්ඩුවේ කම්කරු හා විදේශ රැකියා සම්බන්ද ඇමතිවරයා වශයෙන් සිටි මනූෂ නානායක්කාර මහතාට අගෝස්තු 20 වැනිදා ට (අනිද්දා) පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිනා සේ දැනුම් දී තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව කරන ලද විමර්ශනයකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර හිටපු ඇමතිවරුන් වන පියසේන ගමගේ, වජිර අබේවර්ධන, ලක්මන් යාපා අබේවර්ධන හා මහීපාල හේරත් යන මහත්වරුන් ද පසුගිය සතියේ මෙම වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගෙන තිබුණා.
ඉදිරි දින කිහිපය තුළ තවත් හිටපු ඇමතිවරුන් හා නිලධාරීන් ගණනාවක් ද ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවා ඇතැ යි එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
හිටපූ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපා හැරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති කැබිනට් තීරණයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් රැස්වී ඇතත් අවශ්‍ය තීරණයක් ගෙනනැති බව යි දැන ගන්නට තිබෙන්නේ.
මේ පිළිබදව හිටපු ජනාධිපතිනි චන්ද්‍රකි බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා තිබෙන්නේ තමා වරප්‍රසාද කැපීමට එරෙහිව කිසිදු ව්‍යාපාරයකට සම්බන්ධ නොවන බව යි.
රනිල් වික්‍රමසිංහ මහතා ද මේ ගැන නීතිමය ක්‍රියා මාර්ගවලට නොයන බව පසුගිය සතියේ ප්‍රකාශ කොට තිබුණා.
මහින්ද ගමේ යනවා ලු
එසේ වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥයින් පිරිසක් ජනාධිපති වරප්‍රසාද කැපීමේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ නම්,
හිටපු ජනාධිපතිවරුන් ගේ වරප්‍රසාද කැපීමේ ආණ්ඩුවේ තීරණය අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබෙන නිල නිවෙස, කාර්ය මණ්ඩලය හා වාහන අහෝසි වෙනවා.
එහෙත් ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුප කපා හැරීමේ හැකියාවක් නැහැ. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දී තිබීම යි.
මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවස අහිමි කෙළාත් තමා තංගල්ලේ කාල්ටන් නිවෙසට යන බව යි.
වර්තමාන ආණ්ඩුවට එරෙහිව ප්‍රබල සන්ධානයක් ?
රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ සිය නිවෙස තිබෙන බැවින් ඔහුට ප්‍රශ්නයක් නැහැ. එසේ වුව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආපසු පොළොන්නරුවට යෑමට සිදුවනවා ඇති.
වර්තමාන ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂවල ප්‍රබල සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව පසුගිය දිනවල කොළඹ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි හිටපු ඇමති ජී. එල්. පීරිස් මහතා ගේ නිවසේ සාකච්ඡා කිහිපයක් පැවැත් වී තිබෙනවා.
මෙම සාකච්ඡාවලට පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන පක්ෂ ගණනාවක නායකයින් සහභාගි වූ බව ද වාර්තා වෙනවා.
මහාචාර්ය ජී. එල්. පීරිස්, පාඨලී චම්පික රණවක, දයාසිරි ජයසේකර, මිලින්ද මොරගොඩ, අනුර ප්‍රියදර්ශන යාපා, රමේස් පතිරණ, මහින්ද අමරවීර, මනෝ ගනේෂන්, රිෂාඩ් බද්උද්දීන්, වසන්ත දිසානායක හා ප්‍රේමනාත් සී. දොළවත්ත යන අය සහභාගි වූ මෙම රැස්වීමේ දී ලබන සතියේ සිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ තවත් පක්ෂ නායකයින් හමුවී සාකච්ඡාකිරීමට ද තීරණය වී තිබෙනවා.
මෙම රැස්වීමේ අරමුණ වර්තමාන ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් නොව රටේ ප්‍රශ්න ගැඹුරින් සාකච්ඡා කිරීම බව රැස්වීමෙන් පසු ප්‍රකාශයක් කළ පාඨලී චම්මික රණවක මහතා ප්‍රකාශ කළා.
ගම්වලට ගොස් ජනතාව දැනුවත් කරමු
මේ අතර පොදුජන එක්සත් පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් 300 ක් පමන කැඳවා කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතියේ වැඩ මුළුවක් පවත්වා තිබෙනවා.
එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා ඇත්තේ ගම්වලට ගොස් වර්තමාන ආණ්ඩුවේ දුර්වලකම් හා දුන් පොරොන්දු ඉටු නොකිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස යි.