උණුසුම් පුවත්කාලීනදේශපාලන

ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ඉල්ලයි

වන්දිය ඉල්ලා අධිකරණයේ පිහිට පතන්නේ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ය

අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් කරමින් තමන්ගේ කීර්තිනාමයට හා ගෞරවයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර ගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින්, ඇමති සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව  කොළඹ දිසා අධිකරණයේ දී අපහාස නඩුවක් පවරා ඇත.

ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා සහ ස්වාධීන රූපවාහිනිය නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇත.

හිටපු ආණ්ඩුකාරවරයා හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින, වංචනිකයෙකු, දුෂිතයෙකු යැයි ද 2025 ජනවාරි 9 දින පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර ඇත. අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් ලබාගෙන ඉඩම් විකුණා ඇතැයි ද, ජාවාරම්කරුවන් සමඟ අක්කර 5,482 ක් අල්ලාගෙන ඇතැයි ද, අඹ පැල සොරකම් කර ඇතැයි ද වශයෙන් අමාත්‍යවරයා චෝදනා 15 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබුණි.

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශ සහ පාඨ අසත්‍ය බවත් එම වචන, ප්‍රකාශන හා පාඨ අපහාසාත්මක බවත්, වක්‍රොක්තියෙන් එල්ල කළ චෝදනා ද සත්‍යයෙන් තොර බවත්, එම ප්‍රකාශ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශනය හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන ඔස්සේ ද ප්‍රචාරය කර තිබු බව ද පෙත්සම්කාර කීර්ති තෙන්නකෝන් මහතා සිය පෙත්සමෙන් දක්වා ඇත.

තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රු. මිලියන 100 ක මුදල් ද, නඩු පවරන දිනයේ සිට තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය දක්වා එම මුදල සඳහා වූ නෛතික පොලිය ද අයකර දෙන ලෙස  හේ අධිකරණයෙන් ඉල්ලා ඇත.