උණුසුම් පුවත්දේශපාලන

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හා මහජන එක්සත් පෙරමුණේ ස්ථාවරය

සහෝදර පක්ෂ සමඟ ශක්තිමත් කඳවුරක් ගොඩනඟනවා - දිනේෂ්

2022 දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්වීමෙන් පසු, රජය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාට, රට වැටුණු ආර්ථික, සමාජ හා දේශපාලන කඩා වැටීමෙන්  ගොඩගැනීමට, රජයේ කොටස්කරුවන් ලෙස මහජන එක්සත් පෙරමුණේ අප රටත් ජනතාවත් වෙනුවෙන් සහාය දීමට  කටයුතු කළේ යැ යි මහජන එක්සත් පෙරමුණේ මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.එහි මෙසේ ද දැක්වේ.

''රට යළි ගොඩනැගීමේ කාර්යයේදී මහත් දුෂ්කරතා රාශියක් මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සහෝදර පක්ෂ සමග එම සභාග රජයේ කොටස්කරුවන් ලෙස මහජන එක්සත් පෙරමුණ ඉතා සහයෝගයෙන් වැඩ කළේය.

එහිදී රට වැටුණු තත්ත්වයෙන් ගොඩගැනීමට සම්පූර්ණ සහයෝගය හා දායකත්වය මිස එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිදු පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමඟ හෝ මහජන එක්සත් පෙරමුණ කිසිදු දේශපාලන ගිවිසුමකට එළඹ සිටියේ නැත.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා එම සභාග රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රට යථා තත්ත්වයට පත් කිරීමට උපරිම කැපවීමෙන් සක්‍රීය විය.

එම කාලය තුළ, රට වැටුණු ප්‍රපාතයෙන් ගොඩගෙන රට ස්ථාවරයකට ගෙන එමින් සිටි අතර, එය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුවද පියවර රාශියකින් ප්‍රගතියක් ලබාදීමට හා ලබාගැනීමට හැකිවූ බව දේශපාලන භේදයකින් තොරව රටේ සියලු දෙනා  පිළිගනියි.

පසුව එළඹි ජනාධිපතිවරණයේදී අප සහය දුන් ස්වාධීන අපේක්ෂක හිටපු ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා පරාජයට පත් විය"

''ඉදිරියේ ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණයට සාර්ථකව මුහුණදීමටත්, මැතිවරණ හා අනෙකුත් බරපතල කාර්යයන් සඳහා මහජන එක්සත් පෙරමුණ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් කටයුතු කරමින් ඉදිරි පියවරයන් සැලසුම් කරමින් සිටී.

ඉදිරි මහ මැතිවරණයට මහජන එක්සත් පෙරමුණ සහෝදර පක්ෂ රැසක් සමග ශක්තිමත් කඳුවුරක් ගොඩනැගෙනු ඇත" යි ද එහි දැක්වේ.