ජාවා බාලි දූපත් අභ්‍යන්තර ජලාශ ගංගා කොමියුනිස්ට්වාදීන් ගේ රුධිරයෙන් රත් පැහැ විය.

1920 දී ඉන්දුනීසියාවේ සමාජ ප්රජාතන්ත්රවාදී සංගමය ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය බවට පත් කරන ලදී. යටත් විජිත පාලකයන් වූ ඕලන්ද ජාතීන් විසින් 1928 දී කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනු ලැබීය. 1927 දී ඔවුහු සුකර්ණෝ ගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ දේශීය ධනපති ජනතා පක්ෂයට සහයෝගය ලබා දුන්හ. ඒ අතර කොමියුනිස්ට් පක්ෂය රහසිගතව ගොඩනැගුණි.

දෙවන ලෝක යුද්ධයේ දී ඉන්දුනීසියාව, පළමුව ජපනුන්ගේ යටත් විජිතයක් බවට පත්විය. අනතුරුව ජපනුන් පරාජයට පත්වීමත් සමග සුකර්ණෝ විසින් 1945 අගෝස්තු 17 දා ස්වාධිපත්‍ය ප්‍රකාශයට පත් කරනු ලැබී ය. එහෙත් ඕලන්දය සුකර්නෝගේ රජය නොපිළිගත් අතර ඔවුහු ජපනුන් පරාජය කරන මූවාවෙන් බ්‍රිතාන්‍ය ආධාර ඇතිව ඉන්දුනීසියාවට ගොඩ බටහ. එහිදී සුකර්නෝ හා ඕලන්ද හමුදා අතර යුද්ධයක් ඇවිළිණි. නැවත 1947 මාර්තුවලදී දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ යටතේ ඕලන්දය, ඕලන්දයට හිමිව පැවති ඉන්දුනීසියානු ප්‍රදේශ ඔවුන්ටම පවරා දුන්නේ ය. නමුත් මේ ගිවිසුම මගින් ඉන්දුනීසියාව නව යටත් විජිතවාදයට ගොදුරු විය. ඒ අනුව ඕලන්දය විසින් ඉන්දුනීසියාව වෙත දිගින් දිගටම බලපෑම් ඇතිකර ඔවුන්ට වාසිදායක යම් යම් ප්‍රතිපත්ති නිර්මාණය කර ගනු ලැබී ය. අනතුරුව 1948 දී අත්සන් කෙරුණු තවත් ගිවිසුමකින් ඕලන්දයට රටෙන් කොටසක් දීමට සිදු විය.
ඒ අතර දෙකඩ වූ කොමියුනිස්ට් පක්ෂය නැවත මුසෝ ගේ නායකත්වයෙන් රටේ වැඩ කිරීමට පටන් ගත් නමුත් 1948 සැප්තැම්බරයේ ඇති වූ කුමන්ත්රණයකින් කොමියුනිස්ට් පක්ෂය මර්දනය කර විශාල ඝාතනයන් ද සිදුකෙරුණි. සුකර්නෝ ද අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් නැවත වාරයක් 1949 දී ඉන්දුනීසියාව නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕලන්දයට සිදුවිය. ඒ වන විට වාමාංශික පක්ෂ තහනම් කොට තිබුණි.
1956 දී තවත් ජනතා (ජනප්‍රිය) පෙරමුණක් ගොඩනගන ලදී. මීට ජනතා පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය අයත් විය. 1961 මැතිවරණයෙන් මොවුහු බලයට පත් වූහ. මෙම කාලය තුළ කොමියුනිස්ට් පක්ෂය ඉතා වේගයෙන් ඉන්දුනීසියාව තුළ වර්ධනය වූයේ ය. පක්ෂ සාමාජිකත්වය ලක්ෂ ගණනින් ඉහළ ගියේ ය.
සෝවියට් කොමියුනිස්ට් පක්ෂයට පසු ලෝකයේ මෙතෙක් බිහි වූ විශාලතම කොමියුනිස්ට් පක්ෂය ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය යි.
Indonesian Communist Party (PKI) නමින් විරුදාවලත් එම පක්ෂයේ 1950 වන විට 3000 පමණ අභ්‍යන්තර කාඩර්වරුන් සිටියහ. පක්ෂයේ තරුණ නායකයින් වූ නුෂුත්තරා අයඩිත්, ලුක්මාන්, සුදිස්මාන් හා නියෝතෝ සහෝදරවරුන්ගේ දැඩි දේශපාලන කැපවීම් මත සහ ඉන්දුනීසියාව තුළ ගොඩනැගෙමින් පැවති සමාජ ආර්ථික දේශපාලන කාරණා නිසා 1954 වන විට පක්ෂ සාමාජිකත්වය 1,65000 දක්වා වර්ධනය කර ගැනීමට සමත් විය.
එම පක්ෂය 1960 දී එරට සුකර්ණෝ ප්රමුඛ වාමාංශික සභාගය සමග ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දුනිසියානු කොමියුනිස්ට් පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය මිලියන 3.5 ක් දක්වා ඉහළ ගියේ ය.
ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දුන් විවිධ සමාජ සංවිධාන රාශියක් තුබුණි. ඒ අතුරින් BTI ගොවි පෙරමුණ ලක්ෂ අසූවක පමණ සාමාජිකත්වය හිමිකාරිත්වයක් සතු වූයේ ය. විවිධ වෘත්තීය සමිති සාමාජිකත්වය ලක්ෂ තිහක් පමණ විය.
කොමියුනිස්ට් පක්ෂය ලක්ෂ 25 ක පමණ යොවුන් සාමාජිකත්වයෙකින් සැදුම් ලද්දේ ය.
ගේර්වානි වනිතා බලකායේ ක්‍රියාකාරී කාන්තා සාමාජිකත්වය ලක්ෂ 6 කි.
2022 ලංකාවේ අරගලය මෙන් ඇත්ත තත්ත්වය පිළිබඳව මුළුමණින්ම හෙළිදරව් නොකෙරුණු,නොවූ හමුදා කුමන්ත්රණයකින් සුහර්තෝ 1965 දී සුකර්ණෝ ගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවට එරෙහිව රහසිගත වැඩ සටහනක් දියත් කරන්නට සැලසුම් සකස් කෙරුණි.
සැප්තැම්බර් 30 ව්‍යාපාරය (G30S) නමින් මිලිටරි කුමන්ත්‍රණයක් ඒ ඔස්සේ සංවිධානය කරනු ලැබී ය. එය කොමියුනිස්ට් පක්ෂයට එරෙහි සාපරාධී කැරැල්ලක් ලෙස පසුව උපක්රමිකව පරිවර්තනය කරන්නට කුමන්ත්‍රණ කරුවෝ උපාය උපක්‍රම යෙදූ හ.
එවකට හමුදා නිලයෙහි දෙවැනි නිලධාරියා වශයෙන් සිටි සුහර්තෝ එහිදී හමුදා බලය උපයෝගී කරගනිමින් වාමාංශික විරෝධී බලවේග වර්ධනය කිරීමේ කටයුත්ත ආරම්භ කළේ ය.
ඒවන විටත් කොමියුනිස්ට් පක්ෂයට ලැදි හමුදාපතිවරයා ඇතුළු හමුදාවේ උසස් නිලධාරීන් හය දෙනෙකු අභිරහස් ලෙස මරා ජාකාර්තා හි පාළු ළිඳකට දමා තිබුණි.
ඊළඟ වසරෙහි සුකර්ණෝ බලෙන් විශ්‍රාම ගැන්වීම සඳහා සුහර්තෝ විසින් කටයුතු මෙහෙයවන ලදි. නිවාස අඩස්සියේ තබන ලද සුකර්ණෝ 1970 දී මිය ගියේ ය.
මේ මහා මිනිස් සංහාරයට නායකත්වය දෙනු ලැබුවේ ජනරාල් සුහර්තෝ ඇතුළු ඉන්දුනීසියානු අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් ය.
එවන විට වාමාංශික නායක සුකර්ණෝ ජනපති පදවිය හෙබවූ ආණ්ඩුවේ, කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් රජයේ අමාත්‍ය ධූර දැරී ය.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමෙන් ආරම්භ වූ ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂ සංහාරය පසුව පහළ සාමාජිකත්වය ඝාතනය දක්වා පැතිර ගියේ ය.
ජාවා බාලි දූපත් අභ්‍යන්තර ජලාශ ගංගා කොමියුනිස්ට්වාදීන් ගේ රුධිරයෙන් රත් පැහැ විය.
ජකාර්තා හා සුරභයා නගරවල හිස් ගසා මරන ලද කොමියුනිස්ට්වාදින් ගේ හිස්ගෙඩි පුරවා ගත් කරත්ත වීදි සංචාරය කළේ සෙසු ජනතාව කෙරෙහි කොමියුනිස්ට් වීමේ මර බිය ඇති කිරීමට ය.
සුහර්තෝගේ පාලන සමයෙහි සිදු වූ මිනිස් ඝාතන සංඛ්‍යාව ලක්ෂ පහේ සිට මිලියනය දක්වා වේ. විශේෂයෙන් 1965 – 1966 දී සිදු වූ මිනිස් ඝාතන ප්‍රමාණය 78,000 සිට ලක්ෂය දක්වා වූ බව පැවසේ.
එමගින් මුළු මහත් ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය ම පාහේ සමූළ ඝාතනයට ලක් වුණි. අයිදිත්, ලුක්මන් වැනි කොමියුනිස්ට් පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක්, ඝාතනයට ලක්වූ මෙම සිදුවීමත් සමග ඉන්දුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය බරපතල විනාශයකට ගොදුරු විය.
කිසිම විරෝධතාවක් නොමැතිව සය වසරක් සුහාර්තෝ ජනාධිපති පදවියේ ක්‍රියාකළේ ය. ඔහුට විරුද්ධ වුවහොත් ජීවත්වීමේ අයිතිය අහිමි වන බව සැවොම දැන සිටියහ.
මේ සටහන මේ මෑත යුගයේ ආසියානු රටක කොමියුනිස්ට් පක්ෂයක්, සන්නද්ධ අරගලයකින් තොරව, දේශපාලනික වශයෙන් බලය අත්පත් කර ගැනීමේ, ඓතිහාසික න්‍යායාත්මක වරද හා ඛේදවාචකය, නැවතත් ඇති නොවීම පිණිස ඉතිහාසය මතක් කර දීමකි. ( අන්තර්ජාලය හා පොතපත ඇසුරිනි.)
- අශෝක ප්‍රියන්ත -
2024 මැයි 17 වැනි දා