ඉසිවර කවියාණෝ
හෙළදිව පාඨකයින්ට අද අපේ කවි මිණි වැල් පිටුවෙන් හඳුන්වා දෙන්නේ මේ රටේ මෙන්ම විදෙස් හි ද ප්‍රචලිත නාමයක්. හේ සුවිශේෂී වන්නේ මන්දැ යි කියන්නට මා උත්සුක වෙන්නේ නෑ, මොකද එහෙම කරනවා නම් මා එය ඔබට මෙන් ම ඔහුට ද කරනා අපහාසයක්වේවි.
ඔහු හෙළදිව් හි දනන් ගේ රෝගී වූ හදවත් මේ වන විට විසිපන් දහසකට වඩා මරු කටෙන් ගලවා ගෙන සුවපත් කරන ලද ඉසිවරයෙකි. සුවිශේෂී ඉසිවරයෙකි. ඒ හැම හදවතක් ම සිය දෝතට ගෙන කරුණාවෙන් දයාවෙන් නහවා මෙත් සිතින් යළි හදවතට නියමිත ස්ථානයේ ම බොහොම පරෙස්සමට තබා යළි ජීවිය පිඹින හේ ඉසිවරයකු වන්නට පෙර මොහොමක් හෝ භාවනානුයෝගීව සිටිනවා ඇතැ යි මට සිතේ. විශ්මිත අයුරුන් මේ සා ජීවිත සංඛ්‍යාවක් ගොඩදාන්නට නැත්නම් සුවපත් කරන්නට මේ මිනිසා මේ සා හැකියාවක් ලද්දේ කෙසේ ද යන්න පවා අපට අදහාගත නොහැක්කේ ම ය.
ඉදින් අපි කියවමු, රස විඳිමු, ඉසිවර කවි සිත්තම් දෙක !!!
මළඉර බහිනා හැන්දෑයාමේ ඉබ්බත්කටුවේ තනි වීලා
මියගිය ඔබගේ සුවඳ සොයමි මම දුරාතීතයට ඉව අල්ලා
දෙදහස් හත්සිය වසරක් ඔබ්බෙහි මිහිදන්වූ ඔබ සිහි වීලා
අමුතුම හැඟුමක් සිතෙහි ජනිත වෙයි කියනු නොහැකි විස්තර කරලා
නොදියුණු යැයි නූගත් යැයි නොසිතේ එතරම් ඇත පිළිවෙල සදලා
අපූරුවට තැනු සොහොන් බිමකි මෙය ඉඩකඩ නිසිලෙස පිරිමහලා
භූමිය අඩුවක් නොමැති එදා ඇයි සොහොන් බිමක් මේ ලෙස තනලා
අභිචාරී විධි මෙසේ කළේ කිම කවුරු කෙසේ දනිතිද කිකලා
ඔබ ඇදැහූයේ කුමක්වුවත් යම් දර්ශනයක් තිබු බව හැඟිලා
මගේ මනස දුර අතීතයට යයි මුළු ඉතිහාසය පසු කරලා
මරණින් මතු දිවියක් ඇදැහූ බව හැඟෙයි බලන විටදී සිතලා
එදා සොහොන්වූ ඔබ යළි ඉපැදී සිටීද අද ජීවත් වීලා
මෙතෙක් සිතූ ලෙස අමු සොහොනක නොව දරසෑයක ඔබ ඇත දවලා
රැගෙන තිබේ දරසෑයෙන් නිසි ලෙස සිරුරේ අළු ටික වෙන් කරලා
ඉතා අනගි කැටයම් ඇති අබරණ හට්ටි මුට්ටි සමගින් සදලා
දෙදහස් හත්සිය වසරකටත් පෙර හරි පුදුමයි මිහිදන් කෙරිලා
ඉතා සුමට සමමිතික මැටි බඳුන් නැත කිසිතැන ගොරහැඩි කරලා
විමතිය දනවයි ඔබගේ සුහුරුව අබරණවල ඇති ගැබ් වීලා
ඉබ්බන්කටුවේ හැන්දෑ අහසේ පාළු අඳුර වෙත නෙත් යොමලා
ඔබේ සියුම් සිත් සිතිවිලි ඇතිදැයි සොයනෙමි එහි එන පාවීලා
අතීතයට යන මගේ මනස ඇත එදා සොහොන ළඟ ඉපැදීලා
වටපිට අමුතුයි උලමා හඬලයි වාතය ශෝකාකූල වෙලා
ඔබදෝ නොදැනේ මාදෝ නොදැනේ සොහොන තුළට යන්නේ ඇදිලා
යට ගල් පියනේ වට ගල් සයනේ සොහොනක් අවසානේ සැදිලා
විමසන්නට මට බොහෝ කරුණු ඇත දැනුම නොදැනුමට පැරදීලා
සොයාගන්න කිසි පොතක පතක නැත දැනුමැත්තෙකු නැත හමුවීලා
එදා පැතූ ලෙස ඔබ අද ඇත්නම් කොතැනක හෝ යළි ඉපැදීලා
කියාදෙන්න මට ඔබ එනවාදෝ සියුම් සිරුරකින් පාවීලා
