ලෝක චණ්ඩියා ශ්‍රී ලංකාවට කියයි
ඇමරිකානු ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන යුද නෞකාවේ සිට දිවි ගලවා ගත් පිරිසත් මේවන විට ශ්‍රී ලංකාව භාරයේ පසුවන දෙවන ඉරාන නෞකාවේ 'IRIS Booshehr' හි කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නොදෙන්නැ යි ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව පෙනේ.. රොයිටර් පුවත් සේවය විසින් නිරීක්ෂණය කරන ලද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර රහස්‍ය ලේඛනයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ඉකුත් බදාදා ගාල්ල වරායට නාවික සැතපුම් 19 ක් පමණ දුරින් ඉන්දීය සාගරයේ දී ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් 'IRIS Dena' නම් ඉරාන යුද නෞකාව මුළුමණින් ම විනාශ විය.. මෙම ප්‍රහාරයෙන් නාවිකයන් සියයකට ආසන්න ගණනක් මියයන ලදි. එය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් එල්ල කරන ලද මෙවැනි ආකාරයේ පළමු ප්‍රහාරය ලෙස සැලකේ. 'IRIS Dena' නෞකාව ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයකට සහභාගී වී නැවත ඉරානය බලා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ පානදුරයට ආසන්න මුහුදු සීමාවේ අතරමංව පැවති 'IRIS Booshehr' නම් ඉරාන සහායක නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 208 දෙනෙකු ශ්‍රී ලංකා බලධාරීන් විසින් කොළඹට රැගෙන විත් නෞකාව ත්‍රීකුණාමලය වරායට ගෙන යන ලදි.
