අද දවස ලෝක බෞද්ධ දනන්ට අති සුවිශේෂී දිනකි. බොදු වංශ කථාවේ ඉතා වැදගත් ෙඑතිහාසික සිද්ධි ගණනාවක් මේ ඉල් පුන් පෝදා සිදුවී ඇත. මතු ලොව පහළ වන මෙතේ බුදුන් වහන්සේ ඒ සඳහා විවරණ ලද්දේ අද වන් දිනක යි.
සැට නමකින් සැදුම්ලත් මහ රහතන් වහන්සේලා ලෝ සත හට හිත සුව පිණිස ධර්මප්‍රචාරය උදෙසා ගම් දනව් ඔස්සේ වැඩමවා වදාළේ ද මේ ඉල්පුන් පෝදා දවසක ය.
උරුවෙල් දනව් හි හුන් තුන්බෑ ජටිල, මානය බිඳ, පරදා ඔවුන් දමනය කරන්නට බුදුන් වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩ වදාළේ ද මෙවන් දොහක ය.
පසුවස් පවාරණය කිරීම ද සිදුවන්නේ මෙපුන් පෝදා ය. චීවර මාසයේ අවසන් පොහොය වීමත් කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනයත් ඉල් පෝදාට යෙදී ඇත්තේ ය.
දකුණත් අගසව් මහා සැරියුත් මහ රහතන් වහන්සේ පරිනිර්වාණය සිදුවූයේ ද මෙවන් ඉල් පුර පුන්පෝදාකබව සම්බදු සසුන් ඉතිහාස කෙත්හි දැක්වේ.