උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

උතුරකරේ ‘ශිවසේනා’ තවත් ත්‍රස්තවාදී සංවිධානයක් වේවි ද?

ජගත් ගේ සතියේ සටහන  -  71

මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් ගේ ආණ්ඩුවල කැබිනට් ඇමතිවරුන් වශයෙන් කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ෆ්‍රනාන්දු යන දෙදෙනාට  අධිකරණය විසින් දඬුවම් පැමිණවීමත් සමඟ එම ආණ්ඩුවල සිටි බොහෝ දේශපාලනඥයින් මහත් සේ භීතියට පත්ව සිටින බව වාර්තා වෙනවා.

 

 

ඔවුන් මෙසේ බියට පත්වී සිටින්නේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු ඇමතිවරයකු හෝ මන්ත්‍රීවරයකු හෝ මීට පෙර දූෂණ චෝදනා යටතේ සිර දඦුවම් විඳ නැති නිසයි.

2015 ජනාධිපතිවරණ ඡන්දයේ දී මහින්ද රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් 2014 සැප්තැම්බර් 31 දා සිට 2014 දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළ කැරම් බෝඩ් 14000 ක් සහ දාම් බෝඩ් 11000 ක් සතොස ආයතනය මඟින් මිල දී ගෙන ඒවා ක්‍රීඩා සංගම් හා ප්‍රජා සංවිධාන අතර බෙදාදීමෙන් රජයට රුපියල් මිලියන 53 ක අලාභයක් සිදු කළ බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එවකට ක්‍රීඩා ඇමතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ ට හා සතොස ආයතනයේ සභාපතිව සිටි නලීන් ෆ්‍රනාන්දු ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණා.

මේ අතර නලීන් ෆ්‍රනාන්දු මහතා 2022 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වෙළඳ හා වානිජ ඇමති වශයෙන් පත්කරනු ලැබුවා.

මොවුන් දෙදෙනාට විරුද්ධව ඉහත චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරණු ලැබුවේ 2019 යහපාලන ආණ්ඩුව යටතේ යි.

වසර හයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව පසුගිය 29 වැනිදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිතව වසර 20 ක සිරඳඬුවමක් හා රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද නියම කරමින්. නලීන් ෆ්‍රනාන්දුට බරපතළ වැඩ සහිතව වසර 25 ක සිරදඬුවම් හා රුපියල් ලක්ෂ හතරක දඩමුදලක් ද නියම කෙරුණේ නඟා තිබූ චෝදනා හයට ම ඔවුන් දෙදෙනා වරදකරුවන් වීම නිසයි. එම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව ද නඩු තීන්දුවේ දැක්වෙනවා.

පිටු 84 කින් යුත් මෙම නඩු තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විශාල ලෙස බංකොලොත්භාවයට පත්වී ඇත්තේ ජනතාව විසින් ම පත්කරන ලද දේශපාලනඥයින් සහ රජයේ උසස් නිලධාරීන් ගේ දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් බව යි.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ඥාතීන් සහ හිටපු උසස් රජයේ නිලධාරීන් 20 කට අධික පිරිසක් විවිධ දූෂණ චෝදනා මත ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.

මෙම පිරිසෙන් කිහිප දෙනකු පසුගිය දිනවල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ප්‍රශ්න කොට ඇති අතර තවත් දේශපාලනඥයින් හා රජයේ නිලධාරීන් ගණනාවකට ප්‍රකාශ ලබාදීම සඳහා ඉදිරි දිනවල පැමිණෙන ලෙස කොමිෂන් සභාව විසින් දැනුම්දී ඇති බව ද වාර්තා වෙනවා.

මේ අතර මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ලිපිගොනු 50 ක් පමණ නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යවා තිබෙනවා.

එම විමර්ශනවලට අදාළ සැකකරුවන් සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ඒ අතර හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යන අයගේ නම් ද ඇතුළත් වන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙයට අමතරව පසුගිය සතියේ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කරනු ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ෆ්‍රනාන්දු යන දෙදෙනාට විරුද්ධව තවත් නඩුවක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි මහතා ද එම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.

මේ අතර දූෂණ චෝදනා එල්ල වීමට ඉ‌ඩ ඇතැ යි නම් සඳහන් වී ඇති හිටපු මැති ඇමතිවරුන් හා නිලධාරීන් හොර රහසේ ම විදේශ රටවලට පළායෑමේ සූදානමක් ඇති බව බුද්ධි අංශ රජයට වාර්තා කොට ඇති බව ද පැවසෙනවා.

කෙසේ වුවද මේ මාසය ඇතුළත හිටපු මැති ඇමතිවරුන් හා නිලධාරීන් ගණනාවකට එරෙහිය අධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇතැ යි ද වාර්තා වෙනවා. 

⋆⋆⋆    ⋆⋆⋆  ⋆⋆⋆  ⋆⋆⋆

ශ්‍රී ලංකායේ පසුගිය 6 වැනිදා පැවති  පළාත් පාලන මැතිවරණයේ දී තේරී පත් වූ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නම් කරන ලද සභිකයින් කැඳවා පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම අද (02) සිදු කිරීමට නියමිතයි.

එහෙත් මෙවර ඡන්දයෙන් පළාත් පාලන ආයතන වලට පත්වී සිටින සභිකයින් ගේ නම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට පෙරේදා (31) අවසන් වන තුරුත් ගැසට් මඟින් ප්‍රකාශට පත්කොට තිබුණේ නැහැ. 

එයට හේතුව බොහෝ පළාත් පාලන ආයතන වලට අතිරේක ලැයිස්තුවලින් පත් කරන සභිකයින් ගේ නම් දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් වල නායකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත එවීම ප්‍රමාද කිරීම නිසා බව යි දැනගන්නට තිබෙන්නේ.

පළාත් පාලන ආයතන 178 ක අතිරේක ලැයිස්තුවෙන්  පත් කරන සභිකයින් ගේ නම් කොමිෂන් සභාව වෙත ලැබී නැතැයි එහි අධ්‍යක්ෂ ජෙනරාල් සමව් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා.

මේ තත්වය යටතේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පළාත් පාලන ආයතන 161 ක සභික ලැයිස්තු ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීම සඳහා ඉකුත් 30 වැනි දා රජයේ මුද්‍රණාලයට යැවූ බව ද ඔහු ප්‍රකාශ කළා.

දැනට නම් ලැයිස්තු ලැබී ඇති පළාත් පාලන ආයතන 161 පිහිටුවීම අද (02) පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සිදු කරනු ඇති.

සභිකයින් ගේ නම් ලැයිස්තු එවීම ප්‍රමාද කොට ඇති පළාත් පාලන ආයතන 178 ස්ථාපිත කිරීම සඳහා පළාත් පාලන අමාත්‍යාවරයා විසින් පසුව දිනයක් නියම කරනු ඇතැ යි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මේ අතර ජාතික ජන බලවේගයට වැඩි බලයක් නැති පළාත් පාලන ආයතන වල බලය ලබා ගැනීම සඳහා ආණ්ඩුවත් විපක්ෂයත් දැඩි උත්සාහයක යෙදී සිටිනවා.

බොහෝ පළාත් පාලන ආයතනවල ජාතික ජන බලවේගය කොට්ඨාස වැඩි සංඛ්‍යාවක් ජයගෙන ඇතත් විපක්ෂයේ සෙසු පක්ෂවල සභික සංඛ්‍යාව එයට වඩා වැඩි බැවින් විපක්ෂය එක්වී ඒවායේ බලය ඇල්ලීමට සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාවයකට පැමිණ තිබෙනවා යැ යි එම පක්ෂ තුනේ ප්‍රධාන නායකයින් අතර පසුගිය සතියේ ඇති කරගෙන තිබෙන එකඟතාවයක් අනුවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය මැතිවරණ වලදී පක්ෂය හැර ගිය හිටපු මැති ඇමතිවරුන් හා ප්‍රාදේශීය නායකයින් යළි පක්ෂයට එක්කර ගැනීමට තීරණය කොට තිබෙනවා.

අච පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් පසු මේ පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන බවත් පක්ෂය හැරගොස් හිටපු මැති ඇමතිවරුන් රාශියක් යළි පක්ෂයට එක්වීමට කැමැත්ත පළකොට ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

මේ හැර පසුගිය කාලයේ පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කළ වමේ පක්ෂ ද යළි එකතු කරගැනීම සඳහා එම පක්ෂ නායකයින් සමඟ ළඟදීම සාකච්ඡා කිරීමට ද පොදුජන පෙරමුණ තීරණය කොට තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ද නව පක්ෂයක් ලෙස ඉදිරියේ දී කටයුතු කිරීමට තීරණය කොට තිබෙනවා.

පක්ෂය තුළ තරුණයින්ට තැන දෙමින් පුළුල් ප්‍රතිසංවිධානයක් කිරීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 29 වනදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කොමිටියක් ද පත්කළා.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇති මෙම කොමිටියට පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරාළ සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක උප සභාපති නවීන් දිසානායක උප නායක අකිල විරාජ් කාරියවසම් සහ හරීන් ෆ්‍රනාන්දු, රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර යන මහත්ම මහත්මින් ඇතුළත්.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසුවේ කණ්ඩායම් එකතු කරගෙන 'එක්සත් ජාතික පෙරමුණ' ලෙස ඉදිරියේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.  මේ අයුරින් 2002, 2010 හා 2015 මහ මැතිවරණවල දී එක්සත් ජාතික පෙරමුණ ලෙස තරග කොට ජය ගැනීමට හැකි වූ බව ද ඔහු ප්‍රකාශ කළා.

⋆⋆⋆   ⋆⋆⋆  ⋆⋆⋆  ⋆⋆⋆

උතුරේ ශිවසේනා නමින් නිර්මාංශික  අලුත් සංවිධානයක්

ඉන්දියාවේ අන්තවාදී හින්දු සංවිධානයක් වන 'ශිවසේනා'  සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරේ සංවිධානය වෙමින් පවතින බවත් ඔවුන් ප්‍රසිද්ධියේ ම අන්තවාදී ක්‍රියා ආරම්භ කොට ඇති බවත් උතුරේ ආරංචි මාර්ග පවසනවා.

සුප්‍රසිද්ධ අන්තර්ජාතික කෝපි අලවිසල් ජාලයට අයත් 'බැරිස්ට' කෝපි අලෙවි හලක් පසුගියදා යාපනයේ නල්ලූර් හි දී විවෘත කළා. එහෙත් මෙම 'ශිවසේනා' සංවිධානයේ පිරිසක් එහි ගොස් වහාම බැරිස්ටා අලෙවි සල වසා දමන ලෙස එහි කළමනාකාරිත්වයට තර්ජනය කොට තිබෙනවා. මෙම පිරිස පවසා ඇත්තේ මෙම අලෙවි සලේ කුකුල් මස් අලෙවි කරන නිසා එය නිර්මාංශික හින්දු ආගමට පටහැනි බැවින් අලෙවිසල වසා දමන ලෙස යි.

පසුව එහි කළමනාකාරිත්වය නිර්මාංශික ආහාර පමණක් අලෙවි කරන බවට පොරොන්දු වීම නිසා ආපසු හැරී ගොස් තිබෙනවා.

ශිව සේනා තවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වේවි ද?

 මෙතෙක් කල් යාපනය අර්ධද්වීපයේ ජනතාවට නෑම මස් වර්ගයක් මිලදී ගැනීමට හැකියාව තිබුණා. මෙසේ ශිවසේනා සංවිධානය කරන බලපෑම් පිළිබඳව ජනතාව දැඩි අප්‍රසාදයෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.

ශිවසේනා සංවිධානයේ මෙම කටයුතු අනාගතයේ උතුරේ තවත් ත්‍රස්තවාදයක් ඇති වීමට මුලපිරීමක් විය හැකි බවත් දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

      - ජගත් -