උණුසුම් පුවත්දේශපාලන

උතුරේ, දකුණේ, නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු

ලංකා ගුරු සේවා සංගමයේ උතුරු පළාත් සමුළුවේ දී අනුර කියයි

අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන රටක්. උතුර දකුණ බේදයක් නැතිව පුරවැසියන්ට හොඳ ආහාර වේලක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. දරුවන්ට රැකියාවක් නැහැ. අපේ කාන්තාවන් විශාල ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවෙලා. අපේ රටට ගත්ත ණය ගෙවා ගන්න බැරි ආර්ථිකයක හිරවෙලා, කිසිදු  ආයෝජකයෙක් එන්නේ නැති රටක් බවට පත්වෙලා. අලුත් ණයක් අරගන්න බැරිතරමට ලෝකය තුළ විශ්වාසය බිඳ වැටිලා. මේ රට ගොඩනගන්න අපට අවශ්‍යයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රටට සිදුවී තිබෙන්නේ මොකක්ද? මේ රට ගොඩනගන්නේ කොහොමද කියලා කතා කරන්න.

අපේ රටේ ඇතිවී තිබෙන මෙම අර්බුදය ස්වභාවික විපතක ප්‍රශ්නයක්ද? මහා ගංවතුරක්, සුළි කුණාටුවක්, සුනාමියක් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්ද? නැහැ මෙය අපේ රට දීර්ඝ කාලයක් පාලනය කරන ලද කණ්ඩායම් විසින් ඇති කරන ලද ප්‍රශ්නයක්. විශේෂයෙන් අපේ රට අනුගමනය කරන ලද දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත්, මේ අර්බුදය ඇතිකර තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ දේශපාලන සංස්කෘතියත්, ආර්ථික ප්‍රතිපත්තියත් වෙනස් වෙන්න ඕනෑ. අපි දන්නවා මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව. උතුරේ ජනතාව ජනාධිපතිවරණයකට උනන්දු නොවෙන බව අපි දැක තිබෙනවා. අපේ රටට ජනාධිපතිවරයෙක් තෝරන එක, කොළඹ නායකයෙක් පත්කරගන්නා සිංහල ජනතාවගේ වැඩක් වගේ අදහසක් තිබෙනවා. අපේ රටේ තෝරන ලද ජනාධිපතිවරුන් අනුගමනය කළ ප්‍රතිපත්ති උතුරටත් දකුණටත් විනාශකාරී ලෙස බලපා තිබෙනවා. ඒ නිසා රටට නායකයන් තෝරා ගැනීමේදී උතුරේ ජනතාවගේ සක්‍රීය මැදිහත්වීම අවශ්‍යයි කියා අපි සිතනවා.

අපි ඔබව හමුවෙන්න ආවේ, ඔබලාට 13 ප්ලස් දෙන්නම්, ෆෙඩරල් දෙන්නම්, ඔබ අපට ඡන්දෙ දෙන්න කියා ඉල්ලන්න නොවෙයි. අපි ඔබ හමුවෙන්න ආවේ මේ රට කඩා වැටී තිබෙන විපත්තියෙන් ගොඩගන්නේ කොහොමද කියා කතා කරන්න. දීර්ඝ කාලයක් අපේ නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට අපේ රට ගොඩගන්න පුළුවන්ද කියා කතා කරන්න. අපි හැමදෙනාටම කියන්නේ අපේ රටට අලුත් පාරක් ඕනෑ කියලා. ඒ නිසා අපි ආවේ අලුත් පාරක් සොයා බැලීම ගැන කතා කරන්න. අපේ රට වෙනස් කරන්න නම්, මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය මොකක්ද? ඉතාමත් විනාශකාරී පොලිටිකල් කල්චර් එකක් තමයි මේ රටේ තියෙන්නේ. වංචාවෙන් දූෂණයෙන් පිරී තිබෙනවා. භාණ්ඩාගාරයට එන මහජනයාගේ ධනය ඇමතිවරුන්ගේ ගිණුම්වලට, කූට ව්‍යාපාරිකයන්ගේ ගිණුම්වලට හරවා තිබෙනවා. භාණ්ඩාගාරයට ආපු ධනය දේශපාලකයන් නාස්ති කරනවා, සොරකම් කරනවා.

ඔබ දන්නවා බාල බෙහෙත් චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරගතකරලා. රටේ ජනාධිපතිවරයාට මහ බැංකුව මංකොල්ල කෑම පිළිබඳව චෝදනාවක් තිබෙනවා. වර්තමාන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කෑ ගහලා කිව්වා ජනාධිපතිවරයා බැංකු හොරෙක් කියලා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කෑගහලා කිව්වා මහින්ද රාජපක්ෂ හොරෙක් කියලා. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද?

අපේ රටේ උතුරේ ජනතාවත්, දකුණේ ජනතාවත් මේ දූෂිතයන්ගේ ග්‍රහණයට අසුවී ඉන්නවා. මේ දූෂිතයන් උතුරෙත් දකුණෙත් අපේ දරුවන්ගේ අනාගතය විනාශ කරමින් ඉන්නවා. අපේ රට ගොඩනගන්න මේ දූෂණය නතර කළ යුතුයි. අපි ජාතික ජන බලවේගය ඒ වැඬේ කරන බවට ඔබට සහතික වෙනවා. මහජනයාගේ ධනය නාස්තිකරන දේශපාලනය නතර කරන්න ඕන නැද්ද? අපේ රටේ කිසිදු මූල්‍ය රෙගුලාසියකට අනුව ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල් ගෙවන්න බැහැ. පාර්ලිමේන්තුවෙන් අමාත්‍යවරයාට අවශ්‍ය වෙන මුදල්, ප්‍රතිපාදනය කොට දෙනවා. හැබැයි, ඇමතිවරුන්ගේ ගෙවල්වල වතුර බිල්, ලයිට් බිල් ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. සමහර ඇමතිවරුන්ගේ මාසික ලයිට් බිල එක්ලක්ෂ තිස්දාහයි. ගෙවන්නේ මහජනතාවගේ ධනයෙන්. වැසිකිළි කැසිකිළි පහසුකම් දෙන්නේ මහජනයාගේ ධනයෙන්. ඇමතිවරයාට, බිරිඳට, ඔහුගේ දරුවන්ට මහජනතාවගේ ධනයෙන් වාහන ලබාදෙනවා. මේ නාස්තිකාර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද?