කතු වැකිය

උදා වු නව වසරේ බුද්ධිිය මෙහෙයවමු

හෙළදිව ඊ පුවත් සංග්‍රහය නව මුහුණුවරකින් ඔබ අත පත් කරන්නේ උදා වූ 2024 වසරට පා නැගූ ඔබ හැමට සුබ අලුත් අවුරුද්දක් වේවා යි ඉත සිතින් පතමිනි. සකල ලක්වාසී, ලෝක වාසී හැමට වාසනාවන්ත නව වසරක් වේවා!!

හෙළදිව ඔබ අතට පත් කරන්නේ ඇසට හසු කරන්නේ ඉතා යහපත් අපේක්ෂා ඇතිව යි. අද ලොව වඩාත් ම අධි වේගයෙන් දියුණුව කරා ඉගිල යන්නේ තොරතුරු තාක්ෂණය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අතින් බලන කළ ලොව වඩාත් ම සීඝ්‍ර වෙනස්වීම් කරා ගමන් කරන්නා වූ ක්ෂේත්‍රය තොරතුරු තාක්ෂණය යි. එය සියලු අංශය අභිබවා අතික්‍රමණය කරන්නේ සියලු පැතිකඩ තුළ සිය බලය උන්මාදනීය අයුරින් පතුරුවමිනි. කෙටියෙන් කිවහොත් මේ අයුරින් ලොව සොලවන ලද අන් කිසිදු ක්ෂේත්‍රයක් නැතැ යි කිවහොත් එය නිබොරුවකි.

නේකාකාර අපේක්ෂා ඇතිව අද වන විට සමාජ මාධ්‍ය ජාලා අති විශාල සංඛ්‍යාවක් ලෝකය පුරා පැතිර ඇත. මානව සමාජය උඩු යටිකුරු කරන්නට තොරතුරු සන්නිවේදනයට හැකිව ඇත. ඉදින් එවන් පසුබිමක් මත හෙළදිව ඊ පුවත් සංග්‍රහයට මුහුණ දීමට සිදුව ඇත්තේ අභියෝග බොහෝ සංඛ්‍යාවක් අතරේ සැරිසරමින් අපේ අපේක්ෂාවන් මුදුන් පත් කර ගන්නට යි.

අද මුළු ලොව ම එකම ගම්මානයක් බවට පත්ව ඇති හෙයින් අපේ සියලු දෑ ආරක්ෂා කරගෙන ජගත් සමාජයේ පවතින අලුත් අලුත් දෑවලින් අපට සුදුසු ඇවැසි යහපත් දේ උකහා ගෙන හෙළදිව් හෙවත් ලක්වැසි මතු පරපුර ඥානනය කිරීමයි. හෙට ලොව ජය ගන්නට ඇවැසි ශක්තිය ඔවුනට එන්නත් කිරීම යි. මෙහිදී අප ඉතා සිහි බුද්ධියෙන් කළ යුතු තෝරා බේරා ගැනීම් බොහෝ ය.

හෙළදිව ඊ පුවත් සංග්‍රහය හෙවත් විද්‍යුත් පුවත් සඟරාව ඔස්සේ ජනතාව වෙත දෙස් විදෙස් ‌තොරතුරු සන්නිවේදනයේ දී අප අපට ම හිමි අනන්‍යතාවයන් සුරකමින් අප සතු වගකීම් ඉටු කරන්නට, නිබඳව ම සැදී පැහැදී සිටින්නෙමු. මෙය තවත් එක් සමාජ මාධ්‍යජාල වෙබ් අඩවියක් නොවේ ය යන්න අප ඉතා සතුටින් මෙන් ම ගාම්භීරත්වයෙන් ද පවසන්නෙමු.

සමාජ, ආර්ථික, දේශපාලන, මෙන් ම සාහිත්‍ය කලාව පිළිබඳව අපේ දැක්මක් ඇති වග ද කියන්නෙමු.

අපට දේශපාලන දැක්මක් ඇත. ඒත් එය පවතින මජර දේශපාලනය නම් නොවන බව ඉතා පැහැදිලිව පවසන්නෙමු. අප කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් හෝ කල්ලි කණ්ඩායම් හෝ සමඟ කිසිදු ආකාරයක බැඳීමක් නැත. ඔවුන් සියල්ලන් ම සුද්දන්ගෙන් රට නිදහස් (ඊනියා) කර ගත් පසු ගෙවී ගිය කාලය පුරා රටේ උන්නතියට යම් යම් දේ කළ බව හැබෑවක් වූවත් අද රටක් වශයෙන් මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වයට ඔවුන් කොයි කවුරුත් වගකිව යුතු බව අප දරනා මතය යි. එනිසා ම අපට ඔවුන් කොයි කවුරුත් එක ය. එකම අච්චුවේ නිර්මිත මජර දේශපාලනඥයන් ය.

ලොව කිසිවකු කළු ම කළු හෝ සුදු ම සුදු පුද්ගලයෝ නොවෙති. ඒ හැම දෙනා කෙරෙහි ම යහගුණ මෙන් ම නුගුණ ද ඇත්තේ ය. එය හෙළදිව පුවත් සංග්‍රහයේ අප සතුව ද අඩු වැඩි වශයෙන් නැත්තේ නොවේ.

හැබැයි අප මේ කුමන දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් සමඟ කටයුතු කරන්නේ ඔවුන් ගේ මත වලට ද හෙළදිව ඉඩ කඩක් ඇති බව සඳහන් කරමිනි.

මේ බිම අප උපන් අපේ මාතෘ භූමිය යි. ඉදින් මව්බිමට ආදරේ ඇති අප කොයි කවුරුත් මේ පුණ්‍ය භූමිය වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට සියලු වාද බේද නොසලකා, එක් සිත් ව, එකට එක්ව වෙහෙස වී වැඩ කරමු. නැත්නම් අපේ අනාගත පරපුර අපගේ සොහොන් කොත්වලත් පොල්පිති පහරින් සලකන වග සටහන් කරමු. මල් උයනක් වඩාත් හැඩ වෙන්නේ එක එක පාටින් එක එක සුපිෂ්පිත පුෂ්පයන්ගෙන් සුසැදි නම් නොවේ ද?