උණුසුම් පුවත්කාලීනසංස්කෘතිකසාහිත්‍යය හා කලාව

උදා වූ 2025 නව වසර සැම සත් හට වාසනාවන්ත සුබ හවුරුද්දක් වේවා!!

අලුත් අවුරුද්දේ අලුතින් සිතමු ද?

අප උපන් දා සිට මාස දොළහකට වරක්, නව අවුරුද්දක් උදාවේ. බොහෝ දෙනා කිරිබත් උයා පිහා කා බී සතුටු වෙති. බාල ළමෝ කෙළි දෙළෙන් වසරේ ප්‍රථම දිනය සමරති. භද්‍ර යෞවන වියෝ පසුවූවෝ අනාගත සුබ සිහින සැබෑ කර ගන්නා දිනයට, ළඟ‌ාවෙති. බොහෝ දෙමාපියෝ තම දරුවන් තවත් වසරකින් ඉදිරියට යනු බලා සැනසෙති. මේ සියල්ල හරහා, හඹා යන තවත් බොහෝ දෙන‌ාගේ සෝ සුසුම් වාතලයේ ම රැඳී පවතින්නේ, ජීවිතයේ යථාර්ථය ඉස්මතු කරමිනි. කාලයට විරාමයක් නැත. කාලයට නතු වන අපි වරෙක සිනාසෙමු. වරෙක හඬා වැටෙමු. ජීවිතය ජීවත් කරවන කාලය, අපට අලුතෙන් හිතන්නට ඉඩ හසර ලබා දෙයි.

2025 වසරේ ජනවාරි මාසයට  පා තැබූ අපි ආපසු 2024 බලා සිටිමු. ඔබ දකින්නේ මොනවා ද? ඔබ සතුටු වූ වාර ගණනට වඩා, ඔබ දුක් වූ වාර ගණන වැඩි විය හැකි ය. නැතහොත්, හැඩුවේ නැතත් ඔබේ සිත ඔද්දල් වූ වාර ගණන මතක ද? ඔබ කී දෙනකුට වචනයෙන් හෝ සිතින් බැණ වැදී තිබේ ද? ඔබට කී දෙනෙක් දොස් පවරා තිබේ ද? ඔබ කී වරක් රැවටී තිබේ ද? ඔබ යම්කිසිවකු රවටන්නට උත්සාහ කර තිබේ ද? ඔබ කාට හෝ රැවටී තිබේ ද? ඔබට හිමි වූ දේ මෙන් ම, අහිමි වූ දේ බොහෝ විය හැක. ඔබට නින්දා කළ අය අතර, ඔබට ප්‍රශංසා කළ අය ද සිටිය හැක. ප්‍රියයන් සමීප කර ගනනට ඔබ උත්සාහ කරන්නට ඇත. උත්සාහ නොකළ ද අප්‍රියයන් හා ඔබට සමීප වන්නට ඇත. ප්‍රියයන් සමීප වී අප්‍රියන් ලෙස වෙන්වන්නට ද ඇත.
හැරී බලන්න.....
ඔබ සිතා මතා හෝ අත්වැරදීමකින් හෝ කෙනකුට සිදු කළ පාඩුවක් තිබේ ද? අපි ජීවිතය දකිමින් සිටින්නෙමු. අපි ජීවිතය දකින්නට ආපහු හැරිය යුතුම ය. ඔබට ජීවිතය එපා වූ අවස්ථා තිබුණා විය හැක. ඔබ රෝගී වූ අවස්ථා තිබෙන්නට ඇත. ඔබ අදහන දහමට, "ඔබ සමීප වන්නට ඇත. දෙවියන්  බුදුන් සිහිකිරීම ඔබට සහනයක් වන්නට ද ඇත.
දැන් අපි ඉදිරියට හැරෙමු.
නව වසරක පළමු මාසය යි මේ. පළමු දිනයයි අද. ඔබ පසු කරමින් ආ වසර , ඔබ කියැ වූ හොඳ ම පොතයැ යි සිතන්න. පොතක් කියවා රස විඳීනවා පමණක් නොව, අප ඉන් බොහෝ පාඩම් ද උගනිමු. ගත වූ සෑම වසරක් ම ඔබ කියැ වූ හොඳ ම පොත වන්නේ නම්, පා තබන්නා වූ මේ නව වසර ඔබ විසින් ලියනු ලබන රසවත් ම පොත කර ගැනීමේ හැකියාව ද ඔබට තිබේ.
අපි අලුතෙන් හිතමු.
මේ වස‌රේ දී ද ඔබ ඉදිරියේ ප්‍රශ්න ඇති නොවේ ය කියා කිව හැකි ද? පිළිතුර ද ඒ අසල ම තිබේ. අපි අලුතින් හිතමු. කාරුණික බව ශ්‍රව්‍යාබාධින්ට ඇසෙන, අන්ධයිනට පෙනෙන භාෂාවක් බව ලේඛක වාර්ක් විචේන් පවසා තිබේ. මේ වසරේ දී අපි වඩ වඩාත් කාරුණික වෙමු. ආහාරයට වඩා කෙනකුට ඇගැයීම හා සෙනෙහස ඇවැසිබව තෙරේසා මව්තුමිය වරක කීවා ය. හැකියාව දුටු තැන අගයමු. අපට ගරු නොකරන්නාට ද සිතින් සෙනෙහස දක්වමු.
අලුත් අවුරුද්දේ අප බලාපොරොත්තු නොවන යහපත් හා අයහපත් දේ සිදුවිය හැක. සියල්ලට පසු නොබා මුහුණ දීමට සිතට ගනිමු. අස්ථාන චෝදනා හමුවේ වුවද ඔබට සිනාසිය හැකි නම් ජයග්‍රහණයේ මාවත ඔබ ඉදිරියේ විවර වී තිබේ. කනස්සල්ලෙන් මිදීමට වැඩ කරන්න. වාහනයක් පදවන කාලයට වඩා ඇවිදින්න. රවන්නට කාලය ගන්නවාට වඩා හදවතින් ම සිනානීමට කාලය ගන්න. අඩුවෙන් කතා කොට වැඩියෙන් සිතන්න. අඩුවෙන් වැය කොට වැඩියෙන් ඉතුරු කරන්න. මේ අවවාද එක්තරා පොතක ජයග්‍රහණයේ මඟ සඳහා උපදෙස් ලෙස දක්වා තිබුණි. එහි අපට සිතන්නට බොහෝ දේ තිබේ.
ඔබ ඉතා කාර්යබහුල කෙනකු විය හැක. නැතහොත් තනි වූ කෙනකු විය හැක.
හොඳ හුස්මක් ගන්න. අද පටන් අලුතෙන් සිතන්නට හිතට ගන්න. හෙට දවසට දිරියෙන් හා සවියෙන් මුහුණ දෙමි යි තමාට ම කියා ගන්න.
අලුත් ව්‍යාපාරයක් අරඹන්නට, පොතක් ලියන්නට, විභාගයකට පෙනී සිටින්නට නැතහොක් වැඩදායි යමක් කරන්නට උත්සාහ කරමු.
දහමට නැඹුරු වෙමු. සාමය වපුරමු. නවමු දෙනෙතින් හෙට ලෝකය දෙස බලමු. අලුත් වසරක ප්‍රථම මාසයේ පළමු වැනි දිනය වන අද පටන් ඔබට අර්ථවත් දිවිමඟකට දොරගුලු විවර වන්නේ එවිට බව හොඳින් හිතට ගත්තොත්.......
පහුගිය හවුරුද්දේ සිදු වූ බොහෝ දේ නොවුණා නම්.... යනුවෙන් හෝ සිදු නොවූ දේ සිදු වුණා නම් හෝ යනුවෙන් පසුතැවිලි නොවී, සිදුවන, සිදු නොවන නෑම අවස්ථාවකට, සිදුවීමකට, මුහුණ දිය හැකි, උපේක්ෂාවෙන් සැහැල්ලු විය හැකි, මානසික ශක්තියක් ගොඩනඟා ගැනීමෙන් අපට අලුත් අවුරුද්දේ අලුත් විය හැකි ය. අපි එකිනෙකාට සුබ පතා ගත යුත්තේ එවන් වූ මානසික ශක්තියකින් යුතුව ය.
ඔබත් මාත් එසේ කළ හොත්,
ඔබත් දිනුම්!
මමත් දිනුම්!
රටත් දිනුම්!!!
ලොවක් දිනුම්!!!
    ජයශ්‍රී!!!
- ලක්ෂ්මී ශ්‍රියාකාන්ති  -