පොතක් ගැන යමක්
ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩලයේ අනුමැතිය ලද “එකමත් එක කාලෙක ජපන් රටේ“ ජපන් ජන කතා එකතුවකි.
“එකමත් එක කාලෙක ජපන් රටේ“ ජපන් ජන කතා එකතුව.
ලේඛිකාවන් හතර දෙනකු ගේ පරිවර්තන කාර්යයක්
රෝමි සේනාරත්න උදාරා ඉරෝෂිණී ද සිල්වා සමන්තිකා ලොකුගමගේ සදමාලි අමරසිරි ගුණවර්ධන
සමයවර්ධන ප්‍රකාශනයක්
මෙම කතා අනුවාදය කර ඇත්තේ ඔරිගාමි කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේලා පුරෝගාමීව කටයුතු කරන රෝමි සේනාරත්න, කැළණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනාංශයේ ජපන් භාෂාව සඳහා කටයුතු කරන ආචාර්ය උදාරා ඉරෝෂිණී ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්කෘතික සහ ප්‍රාසාංගික කලා අධ්‍යයනාංශයේ ජපන් භාෂාව ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ආචාර්ය සමන්තිකා ලොකුගමගේ, මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ජපන් භාෂා ආචාරිනී සදමාලි අමරසිරි ගුණවර්ධන යන ලේඛිකාවන් විසිනි.
පෙරවදන ප්‍රවීණ සිනමාවේ දී ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් ද, පසු වදන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් ලියා ඇති අතර අපූරු කතන්දර අපගේ ජනකතා මෙන් හදවතට සමීප බවක් සහ උපදේශාත්මක බවක් උසුලයි.
කප්පාගේ වැසි යාදින්න, හකුමයිජේ හෙවත් සුදු සහල් මාලිගාව, මී පැණි මුට්ටිය වහ වුණ හැටි සහ එකට එක, මුහුදේ වතුර ලුණු රසවුණ හැටි, කවුද උසම?, වැඩිහිටි කන්ද, සීයාගේ කම්මුලේ ගෙඩිය, කඟුයා කුමරිය, කරණවෑමි නරියා, එක පවුලක තුන්දෙනෙක්, තෙංගුගේ මාහා කබාය, මොමොතරෝ, අරුම පුදුම ලී පතුරු තුන, හොරාගෙත් හොරා, බෝසත් පිළිම වහන්සේට බට තොප්පි යන අපූරු විශ්වාස, ඇදහිලි, විවිධ උපක්‍රම ලියවී ඇති ජන කතා දහසයකින් (16) සමන්විත ය.
මෙහි “කප්පා“ මනඃකල්පිත සත්වයෙක් වූව ද එම සත්වයා මගින් ඉදිරිපත් කරනු ලබන ජපන් ජන කතාව තුළ කප්පා තම ජීවිතයේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට දරන උත්සාහය සහ ඒ සඳහා කප්පාගේ සිතුවිලි අතර ඇති වූ ඒකායන අධිශ්ඨානය යන කරුණු දෙක ඉදිරිපත් වේ. කප්පා තම ජීවිතය පරදුවට තබා කරනු ලැබූ දැඩි ඉල්ලීම සහ යැදීම මෙන්ම ගැමියන් ද තමන්ගේ මනස ඒ හා ඒකාත්මික වීම නිසා අවසානයේ එහි ප්‍රතිඵලය වශයෙන් දෙවියන් එයට සවන් දුන් බවක් ජනයාගේ විශ්වාසයයි.
“හකුමයිජෝ හෙවත් සුදු සහල් මාලිගාව" උපක්‍රමශීලිත්වය උරිමව උපයෝගීකොට ගත් කතාවකි. අධිරාජ්‍ය ක්‍රමය පරදවා නැගී සිටින හමුදා නායකයින් දිනෙන් දින සිය ශක්තිය වර්ධනය කරගන්නට සමත්වූ අතර එක් රාජධානියක රදළ නායකතුමාගේ මාලිගාව තිබුණු කන්දේ ඉහළම මුදුනේ බොහෝම සුන්දර පරිසයකය. වෙනත් කපටි රදළ නායකයෙක් උපාය මාර්ගයෙන් මෙම රාජධානිය යටත් කර ගැනීමට උත්සුක වීම සහ එම අවස්ථාවේ දී අවහිර කළ ජල මාර්‍ග හේතුවෙන් තමන්ගේ ජනතාව පත්වෙන අසීරුතාව තීව්‍ර වන්නට ප්‍රථම සටන් කිරීමට සැලසුම් කිරීමේ දී, තම අශ්ව ඉස්තාලයේ සේවකයෙක්ගෙන් ඉදිරිපත් වූ අදහස ක්‍රියාත්මක කළ නිසා තම රාජධානිය බේරාගැනීමට හැකිවීම පෙන්වා දෙයි. රජ කෙනෙක් වූව ද සාමාන්‍ය ජනතාවගෙන් කෙනෙකුගේ අදහස ගරුකිරීම යන කරුණ සහ අද කාලයට අනුව නම් මහජන අදහස් විමසීම යන කරුණයි.
“ඉක්ක්‍යු සං“ සහ මී පැණි මුට්ටිය උපහාස රසයත් මුසුවූ කතාන්දරයකි. ඉක්ක්‍යු සං ගේ උපක්‍රමශීලි බව සහ තීක්ෂණ බුද්ධිය මැනවින් පෙන්වා දී ඇති අතර, වැඩිහිටි අය ක්‍රියාත්මක වීමේ දී දරුවන් රැවටීමට බොරු නොකිය යුතු බව හොඳින පැහැදිලි කර ඇත.
ලොකු හාමුදුරුවෝ ඉක්ක්‍යූ සං ට නොදී වැළඳූ මී පැණි මුට්ටිය පිළිබඳව විමසීමේදී එය ඖෂධයක් බවත් වැඩිහිටියන්ට වඩා සුදුසු බවත් පොඩි ළමයින්ට වහ වන බවත් පවසන ලද බැවින් ඖෂධයක් වුණත් මී පැණි මුට්ටිය රස බැවින් සියල්ල අනිත් අය සමඟ අවසන් කළ ඉක්ක්‍යු සං මී පැණි කෑමට හේතුවක් සදා උපක්‍රමශීලී ව සියලුදෙනා ම දඬුවමෙන් මුදවා ගෙන ලොකුහාමුදුරුවන්ව නිරුත්තර කරන ලදී.
සොබාදහමේ විවිධාකාර නිමැවුම් පිළිබඳව ගෙතුනු ජනකතා ලොව විවිධ රටවලින් අසන්නට හැකි අතර ජපන් ජනප්‍රවාදයේ ද එවැනි රසවත් කතා බොහෝමයක් දැක ගත හැක.
“ඉචිරෝ“ සහ “ජිරෝ“ අයියා සහ මල්ලී වන අතර මල්ලී බොහොම කරුණාවන්තයි. අයියා නම් මුදල් ඉපයීම සහ ආත්මාර්ථය කරපින්නා ගත් කෙනෙක්. ඒ නිසාම මේ පොහොසත් අයියාට හිටියේ ආර්ථික මට්ටමෙන් පහළ මට්ටමේ සිටි මල්ලි කෙනෙක්. එක් අවුරුද්දකට ජිරෝ (මල්ලි) තමන් සතු භෝග ගම්වැසියන්ට බෙදා දුන් නිසා අවුරුද්දට කෑම හදන්න හාල් ඉතිරි වුණේ නෑ. අයියා දුන්නෙත් නෑ.
ජපාන ජාතිකයින් අතර ජනප්‍රිය රස කැවිලි වර්ගයක් වන “මංජු“ ගුළි අසුකි ඇට වලින් සදා ගන්නා කැවිලි වර්ගයකි. මෙය අවුරුදු කාලයට හදන සුවිශේෂී කැවිලි වර්ගයක් වන අතර මල්ලිගේ ආර්ථික තත්වය මෙයට හරස් විය.
නමුත් දුකෙන් ඇවිදගෙන යන මල්ලිට සීයා කෙනෙක් දුන් මුගිමංජු ගුලිය සීයා පැවසූ පරිදි දේවාලයේ අඟුටුමිට්ටොන්ට දි කුරහන් ගලක් ඉල්ලාගෙන එම විස්මකර්ම කුරහන් ගලෙන් එයා පොහොසත් විය. මෙම පොහොසත් වීමට හේතුව සොයාගත් අයියා කුරහන් ගල හොරෙන් අරගෙන බෝට්ටුවෙන් පැනලා යද්දී මෙහි සාස්තරය නිවැදිව නොදන්නා කමින් ලැබීම නවතාගන්න බැරි වීම හේතුකොටගෙන ලුනු ඉල්ලූ පසු ලුනු නිර්මාණය වීම නවතන්න බැරිව සැදුනු ලුනු පිරුණු බෝට්ටුව කුරහන් ගලයි, අයියයි, මුහුදට වැටීම නිසා මුහුදු වතුර ලුනු රස වූ බව කියැවෙන රසවත් කතාවකි.
ප්‍රබන්ධකරණය බොහෝ ජන කතාවල ස්වභාවය යි. නමුත් එයින් ලබාදිය හැකි ආදර්ශය ඊට වඩා උසස්. දැඩි කෑදර කම නිසා අත්පත්කර ගැනීමත් සහ හරියට නොදැන යමක් ක්‍රියාත්මක කිරීමට යාම නිසා මුහුණපාන ගැටලුවත් යන කරුණු දෙකම මගින් විමසා නොබලා කටයුතු කිරීමේ ආදීනව පෙන්වයි.
කවියෝ මෙන්ම කතන්දර කියන්නෝ ද සියලුම වස්තූන් ට කතාව කවිය තුළ පණ ලබාදෙයි. නිදි කිර කිරා ඉන්න කඳු වලටත් පැනනැගුණ ප්‍රශ්ණය නිසා උස බලන්නට සූදානම් වීම සහ කුරුල්ලෝ විසින් මෙම ආරංචි පැතිරවීම ත් ස්වභාව සෟන්දර්යය කොපමණ රසවත් දැයි මනසින් මවාගත හැකිය.
රසවත්ම කොටස වන්නේ උස මැනීමේ අවස්ථාවයි. කඳු ඇවිදන් ගිහින් උස මැන්නා. සුරුගා ෆුජි උසම කන්ද වුණා, කගා රටේ හකු කන්ද උස කිරීමට අනිත් කඳු තමන් පළඳවා ගෙන ආ සෙරෙප්පු ගලවා කන්ද උඩින් තිබබ වුණත් සුරුගා ෆුජිට සම වුණේ නෑ. අදටත් හකු කන්ද නගින අය සිරිතක් ලෙස තමන්ගේ සෙරෙප්පු කන්ද මුදුනේ තබා එනවා ලු.
මෙවන් රසවත් ජපන් ජනකතා සිංහලට අනුවාදය කර ඉදිරිපත් කර ඇති ඕනෑම වයසක කෙනෙකුට කියවා රසවිඳිය හැකි සහ ඉතා සොඳුරු චිත්‍ර වලින් නිමවූ පිටකවරක් හිමි හුරුබුහුටි පුස්තකයකි. මෙය සමයවර්ධන ප්‍රකාශනයක් ලෙස නිකුත්වී ඇත.