ආර්ථිකඋණුසුම් පුවත්සතියේ සටහන

එජාප සජබ එකතු විය යුතුම ලු?

ජගත් ගේ සතියේ සටහන  -  52

 

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පවත්වා මාස 4 කට පසු සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පළමු වරට පසුගිය බ්‍රහස්පතින්දා (16) රැස්වුණා. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සෑම මසක ම තුන්වැනි බ්‍රහස්පතින්දා රැස්විය යුතු බවට පසුගිය සතියේ පැවති පක්ෂයේ කළමනාකරණ කමිටුව ගත් තීරණයක් අනුව යි.

මෙම රැස්වීමේ ප්‍රධාන මාතෘකාව වුණේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී ඉදිරි පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා කිරීම යි.

මෙහිදී අදහස් දැක්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් එකහෙළා ම පවසා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කළ යුතු බවට බිම් මට්ටමේ පාක්ෂිකයින් ඉල්ලා සිටින බවයි.

''අප පිට පළාත්වල යන විට පාක්ෂිකයින් කෙසේ හෝ පක්ෂ දෙක එකතු විය යුතු බව පවසනවා. ඒ ඉල්ලීම මඟ හැරීමට දැන් අපට හැකියාවක් නැහැ" සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙහි දී පවසා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී කටයුතු කළ යුතු ආකාරය හා ඒ පිළිබඳව එම පක්ෂය සමඟ සාකච්ඡා කිරීම සඳහා මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කොට ඇති අතර තිස්ස අත්තනායක, කබීර් හෂීම්, මුජිබර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයින්. හර්ෂණ රාජකරුණා මහතා මෙම පත්කොට තිබෙන්නේ අනාගතයේ දී ඔහු පක්ෂයේ ඉදිරි පෙළ නායකයකු වශයෙන් ගෙන ඒමට බව බවයි සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ නායකයකු අප සමඟ පැවසුවේ.

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවීම හා අලුතෙන් ආසන සංවිධායකයින් පත් කිරීම හැන ද මෙහිදී සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කළා.

කෘත්‍යාධිකාරි රැස්වීම අවසානයේ රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණි සජිත් ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ප්‍රබල විපක්ෂ සන්ධානයක් ගොඩනැඟීම සඳහා එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සෙසු පක්ෂ සමඟ ද සාකච්ඡා කරන බව ඔහු කියා සිටියා.

පසුගිය සති දෙකේ පැවති සමූපකාර සමිතිවලට නියෝජිතයින් පත්කර ගැනීමේ ඡන්ද විමසීම්  වලදී හෝමාගම, කැලණිය, මහර, අඟුණුකොළ පෑලැස්ස, දිවිතුර - වැලිවිටිය හා බේරුවල සමූපකාර සමීතිවල බලය සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් විසින් හිමිකර ගනු ලැබුවා. මෙම ජයග්‍රහණ සමගි ජන බලවේගයේ හා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් තුළ උත්තේජනයක් ඇති කිරීමට හේතුවී තිබෙනවා.

මේ තත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් පක්ෂ දෙක එකතු විය යුතු බවට එකහඬින් ප්‍රකාශ කරන බවයි  දැන ගන්නට තිබෙන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ද සමගි ජන බලවේගය හා සාකච්ඡා කිරීමට දැඩි සූදානමකින් පසුවෙනවා. එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය හා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මේ වන විටත් සමගි ජන බලවේගය සමඟ නිල නොවන සාකච්ඡා අරඹා තිබෙන බව ද වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙරේදා මාධ්‍යවේදීන් සමඟ පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා මේ සතියේ ආරම්භ කරන බවයි.

පක්ෂ දෙකට ම සම්බන්ධ නැති ස්ථානයක දී අපි සාකච්ඡා පවත්වනවා. මුල් අදියරේ දී පක්ෂ නායකත්වය හා ඡන්ද ලකුණ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. ඒත් අප බලාපොරොත්තු වන්නේ 'ටැලිපෝනය' ලකුණ යටතේ තරග කිරීමට යැ යි ද මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈

සජිත් ගේ ප්‍රශ්න ඇහිල්ල නිසා 

පසුගිය ආණ්ඩුව කාලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනයක දී ම සභාවේ කටයුතු ආරම්භයේ දී ස්ථාවර නියෝග 27/ 2 යටතේ පක්ෂ නායකයින්ට ලැබී ඇති වරප්‍රසාද පාවිච්චි කරමින් ප්‍රශ්න අසනු ලැබුවා. මේ නිසා පාර්ලිමේන්තුව රැස් වූ සෑම දිනක ම පළමු පැය හෝ පැය එකහමාර ගත වුණේ විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රශ්න සඳහා යි.

27/2 යටතේ ඉඩ සලසා ඇත්තේ පක්ෂ නායකයින්ට රටේ උද්ගතව ඇති හදිසි තත්වයක් පිළිබඳව හෝ ජාතික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව ප්‍රශ්න ඇසීමට යි.

එහෙත් විපක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා 27/ 2 ස්ථාවර නියෝග යටතේ ඇසුවේ පාසල් සිසුන්ට පාවහන් හා රෙදි ලබාදීම, රථ වාහන තදබදය ආදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන අන්දමේ සාමාන්‍ය ප්‍රශ්න වීම නිසා එය බොහෝ මන්ත්‍රීවරුන් ගේ නොසතුටට හේතු වී තිබුණා.

පාර්ලිමේන්තු රැස්වීමේ කතා කිරීමට විපක්ෂයට වෙන් කෙරෙන කාලයෙන් පැයකට අධික කාලයක් විපක්ෂ නායකයා ලබා ගැනීම නිසා විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ලැබුණේ විනාඩි පහක් හෝ හයක් වැනි සුළු කාලයක්. සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තුළ දී මේ ගැන දැඩි විරෝධයක් තිබුණත් පක්ෂ නායකයා නිසා ඔහුට ඒ බව ඔවුන් ප්‍රකාශ කළේ නැහැ.

මේ ගැන මාධ්‍ය මගින් ද විවේචන එල්ල වීමෙන් පසු මෙවර පාර්ලිමේන්තු රැස්වීම්වල දී එම ප්‍රශ්න ඇසීම සජිත් ප්‍රේමදාස මහතා නතර කොට තිබෙනවා.

එහෙත් දැන් ඔහු ඒ වෙනුවට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුර විපක්ෂ නායක කාර්යාලයේ සිට ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට පටන්ගෙන තිබෙනවා. 

මේ අතර රටට සහ ජනතාවට බලපාන පොදු ප්‍රශ්නවල දී පාර්ලිමේන්තුව තුළ හඬ නැඟීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සහභාගි කරගෙන පොදු විපක්ෂයක් වශයෙන් කටයුතු කිරීමට යන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈මාධ්‍යය Vs මාධ්‍යය

පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් 'ඔන්ලයින් සේෆ්ටි ඇක්ට්' යටතේ යූ ටියුබ් හා වෙබ් සයිට්වලට එරෙහිව දැන් නඩු පැවරීම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ හිරු මාධ්‍ය ජාලය හිමි ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනය විසින් දසත නිවුස්  යූටියුබ් නාලිකාව පවත්වා ගෙන යන 'නිවුස් සෙන්ටර්' ආයතනයට එරෙහිව පසුගිය සතියේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගත්තා.

හිරු නාලිකාය හා දැනට මරණ දඬුවමට නියම වී බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා පිළිබඳ ප්‍රවෘත්ති පළ කිරීම ජනවාරි 23 දා දක්වා තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දී තිබුණා.

නියෝජ්‍ය ඇමති නලීන් හේවගේ මහතා දුමින්ද සිල්වා හා හිරු නාලිකාව පිළිබඳව කළ අපහාසාත්මක ප්‍රකාශයක් දසත පුවත් යූටියුබ් නාලිකාව විසින් විකාශනය කිරීමට විරුද්ධවයි මෙම වාරන නියෝගය ලබාගෙන තිබෙන්නේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත තාව පිළිබඳ පනතේ 24 (2) වගන්තිය යටතේ තමයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්‌තේ.

මාධ්‍ය නාලිකාවක් තවත් මාධ්‍ය නාිකාවකට එරෙහිව මේ පනත යටතේ නඩු පවරා තිබෙන්නේ පළමු වරට වීම විශේෂත්වයක්.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පසුගිය ආණ්ඩුව ඉදිරිපත් කළ අවස්ථාවේ බොහෝ දේශපාලන පක්ෂ හා මාධ්‍ය නාලිකා ද එයට විරුද්ධව නැඟී සිටියා. හිරු නාලිකාව ද මෙම පනතට විරුද්ධව විවිධ දේශපාලන පක්ෂ හා සංවිධානවල 'වොයිෂ් කට්' යොදා ගෙන ප්‍රචාර ගෙන ගියත් අද ඔවුන් ද එම පනත යොදා ගැනීම දෛවයේ සරඳමක් බවයි විචාරකයින් පවසන්නේ.

මේ අතර යූටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යන රංගන ශිල්පී සුදන්ත තිලකසිරිට එරෙහිව අධිකරණයට අපහාස කිරීඹ සම්බන්ධයෙන් පෙරේදා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා.

ඔහු විසින් පවත්වා ගෙන යන යූටියුබ් නාලිකාවේ විකාශනය කළ වැඩසටහනක් මඟින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කොට ඇති බවට අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙන්නේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් විසින් බවයි වාර්තා වෙන්නේ.

මේ අතර මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංඟුණු වැවේ ධම්මරතන හිමියන්ට අපහාස වන අන්දමේ පුවත් පළ කිරීම පිළිබඳව තවත් යූටියුබ්කරුවකුට එරෙහිව පවරා ඇති නඩුවක් අනුරාධපුර අධිකරණයේ මේ වන විට විභාග වෙමින් පවතිනවා.

මාධ්‍ය නීති නොදන්නා බොහෝ සමාජ මාධ්‍යකරුවන් තමන්ගේ යූටියුබ් හා වෙබ් අඩවි මඟින් පුද්ගලයින්ගේ චරිත ඝාතනය වන අන්දමේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන බැවින් මෙවැනි අසත්‍ය ප්‍රකාශ පළ කරන සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා දැන් කාලය එළැඹ ඇති බවත් මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීණ මාධ්‍යවේදීන් පවසනවා.

≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈

පසුගිය ආණ්ඩු සමයේ විදුලිය ගාස්තු 40% කින් පමණ විශාල ලෙස ඉහළ දැමීම මහජනයාට දරාගත නොහැකි වුණා.

මේ නිසා පසුගිය මැතිවරණවල දී ජාතික ජන බලවේගය පැවසුවේ තම ආණ්ඩුවක් යටතේ විදුලි බිල 30% කින් අඩු කරන බවයි.

එහෙත් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් විදුලි ගාස්තු අඩු කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා විදුලි බිල කඩිනමින් අඩුකළ නොහැකි බව පසුගිය 09 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

විදුලි බිල කඩිනමින් අඩුකළ නොහැකියි ඇමති කියයි

එහෙත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙරේදා (17) නිවේදනය කළේ විදුලි බිල එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% අඩු කරනා බවයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළ අන්දමට ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ විදුල් බිල 20% කින් ද, හෝටල් සඳහා 31% විදුලි බිල අඩු වෙනවා.

එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය එදින ම නිවේදනයක් නිකුත් කරමින් නව විදුලි ගාස්තු ක්‍රියාත්මක කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව බව ප්‍රකාශ කළා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා ඇති ආයතනයක් බැවින් එහි තීරණ ක්‍රියාත්මක කළ යුතු බවයි විදුලි ගාස්තු පිළිබඳ විශේෂඥයින් පවසන්නේ.

එහෙත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශය යටතේ පවතින එකක් බැවින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ තත්වය යටතේ විදුලි ගාස්තු අඩු කිරීම තවත් කල්යෑමට ඉඩ ඇති බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ.

≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈

නිශ්ශංක ඉල්ලා අස්වේ!?

පසුගිය සතියේ අප හෙළි කළ අන්දමට අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මේ මස අගදී එම ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැ යි අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසනවා.

මේ නිසා ඔහුට විරුද්ධව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සිටි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකිරීමට තීරණය කොට ඇති බව ද වාර්තා වෙනවා.

පසුගිය සතියේ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කොට ඇති අතර තමා තනතුරෙන් ඉල්ලා අස්වෙන බව ඔහු ජනාධිපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග පවසනවා.

 - ජගත් -