උණුසුම් පුවත්සෞඛ්‍යය

එපා එපා ඕනැ ම නෑ (මොකක්ද මේ ලෙඩේ)

හිත ලෙඩ කරන බොරු භූතයෝ (මනෝ ව්‍යාධි)

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ ව්‍යාධි ඒකකයේ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් (MBBS MD Psychiatry - Psychiatrist) මහතා සමඟ කෙරෙන සාකච්ඡා මාලාවක තවත් කොටසකි මේ.

විශ්වවිද්‍යාල දෙකක ඉගෙන ගන්න දියණියක ගෙත් පුතකුත් පියකු වීමට තරම් නිර්මල වාසනාවන්ත වුණේ ඇත්තට ම බිරිය ගෙ කැපවීම් හින්ද කියල යි ඔහු නිතර ම කල්පනා කරන්නෙ. ලොකු දෑවැද්දක් එක්ක නිර්මල, නීතා ගෙ අතිනත් අරන් අද වෙන කොට හවුරුදු විසි අටකට කිට්ටු යි. දුවයි පුතයි අතරෙ පරතරේ හවුරුදු දෙකකට පොඩ්ඩක් වැඩියි.

නිර්මල රජයේ ආයතනයක විධායක තත්ත්වයේ රැකියාවක් කරතත් බිරිය නීතා රස්සාවක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නෙ ඊට අවශ්‍ය සුදුසුකම් නැතිවම නෙවෙයි. ඕනැවටත් වැඩියෙන් සුදුසුකම් තියාගෙන.

            නිර්මල ගෙ ගම දකුණු ලකේ අග නගරෙ. නීතා නං ගෙන්දගං පොළොවෙ උපන්නත් ඇගේ අම්මා තාත්තත් බෙන්තර ගඟෙන් එගොඩ. ඈ අම්ම තාත්තලගෙ ගම් පළාතට ගිහින් තියෙන්නෙ බොහොම කලාතුරකින් නිසා දෙමාපියන් ගෙ ගම් දෙකේ විස්තරයක් ඒ හැටියට කියන්න දන්නෙ නෑ. හැබැයි කවුරු හරි එක්ක වංහුං කතා කරන කොට නං කියන්නෙ 'මමත් ඉතින් බෙන්තර ගඟෙන් එහා පැත්තෙ තමා' කියල යි.

            කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිර්මල ළඟ දි දොහක ගමේ ගියේ පවුලේ ඥාතියකු ගෙ අවමඟුල් උත්සවේකට. එදා ඔහුට පුංචි කාලෙ, තරුණ කාලෙ, එකට හැදී වැඩුණු සෑහෙන නෑදෑ පිරිසක් වගේ ම, යාළු යෙහෙළි පිරිසකුත් මුලිච්චි වුණා. වෙනදට ගමේ ගියාට වඩා වැඩි සතුටක් සංතෝෂයක් එදා ඔහු තුළ ඇති වුණා. ඒකට ප්‍රධාන ම හේතුව වෙන මොකක්කත් නෙවෙයි, නිර්මල ගෙ පළමු පෙම්වතිය, ඔව්! පළමු පෙම්වතිය වූ දයානි ගෙ රූපෙ හවුරුදු බෝ ගණනකට පසුව දකින්න ලැබීම ය කීවොත් ඇති වැරැද්දක් නෑ... ඒ රූපෙත් තමන් ගෙ රූපෙත් දැන් බොහෝ වෙනස්වී ඇතත්  එසමයේ දැක්ක සුන්දර පෙනුම යම් තරමකට වෙනස්වෙලා ඇතත් ඇගේ බැල්මෙ හැසිරීමෙ වෙනසක් නැතැ යි නිර්මල ගෙ හිත කොඳුර කොඳුරා කීවෙ.

ඈ දැක්ක ගමන් නිර්මල ගෙ පංචස් කන්ද ම උණු වූවා වගේ හැඟීමක් දැනුණා. ඇගේ ඇස් දෙකේ එදා වගේ ම කාන්තිය බේරෙනවා වගෙයි ඔහුට හිත කීවෙ. නි්ර්මල තරබාරු ශරීරයකට අද වෙන විට උරුමය කීවත් ඇත්තට ම දයානි ගෙ නං බැරල් එකක් වගේ බෙල්ල යි කඳ යි බඩ යි  අනෙක් බොහෝ ගෑනුන්ගෙ වගේ ආරා නෙරා නැති වගක් තමා නිර්මල දැක්කෙ.

            දයානි දුටුව සැණින් ඉස්සෙල්ලා ම ඔහුට ඇතිවුණු හැඟීම් විස්තර කරන්න අමාරුයි. ඔහු හිතුවෙ තමා මහා නරුමයෙක් කියා. ඉස්කෝලෙ යන කාලෙ ඇති වුණු ආදර සම්බන්දෙට පොල්ල හරස් කළේ දයානි ගෙ අම්මා... ඒකට මුල් ම හේතුව නිර්මල ල ගෙ පවුල්වල උදවිය ඔවුන් ගෙ මේසෙකට පුටුවකට ගන්න බැරි ය කියන කාරණාව. මාපියන් නිර්මලට අකමැති ය කියා හරස් වුණාට මොකද ඔහු ත් එක්ක ඇරඹූ ඇසුර මොන විදිහකින්වත් කඩා දාන්න, බිඳ දාන්න, නතර කර දාන්න තරම් හිතක් තිබුණේ නෑ... දයානිට.

දයානි ගෙ අම්මා කැත්තට පොල්ල වගේ හිටන් නිර්මල ට, අපහාස උපහාස වලින් දමල ගැහුවෙ, ඔහු ගෙ මා පියන් ගෙ කුල පරම්පරාව හින්ද හැර, වෙන මොන කෙංගෙඩියක් වත් හින්ද නෙවෙයි. හැබැයි ඒ කුල පරම්පරාව එහෙම වුණා කියල, ඔහු ගෙ මාපියන් එක්ක බැලුවහම දයානිල ගෙ අම්මල තාත්තල, පුස්සො කියල කියන්න තරම් වටිනව. ඒ ඒ උදවිය ගෙ තියෙන මනුස්සකම එක්ක බැලුවොතින් විතරක් නෙවේ. සල්ලිය බාගෙ අතිනුත් වස්තුව වාන්දුව අතිනුත්, අරන් බැලුවොත් ඒ අය බොහොම ඉහළින් ඉන්නෙ.

            මේ කෙල්ලත් එක්ක තියෙන පයුරුපාසම නවත්තන්න බැරි ම තැන, නිර්මලගෙ තාත්තා කළේ පුතාව කොළඹ රටේ ලොකු ඉස්කෝලෙකට ඇතුළු කරල, නෑගෙදරක නතර කරපු එක යි. ඒ නෑ ගෙදර උදවිය මහා ලොකු ව්‍යාපාරිකයො. නිර්මල කොළඹ ගිහින් සෑහෙන කාලයක් යන කං, දයානිව අමතක කරන්න බැරුව හිතින් සෑහෙන්න දුක් වින්ද. වේදනා වින්ද. පස්සෙ පස්සෙ දයානි ව හිතෙන් අයින් කර ගන්න පුළුවන් වුණේ, නෑදැ ගෙදර කෙල්ලො දෙන්න අතරෙ තරගයක් ඇති වෙච්ච හින්ද. ගෙදර ඉස්සරහ කාමරේ ඉන්න කොල්ල අල්ල ගන්න, අක්ක නගෝ තරග කරන්න වුණේ නිර්මල ගෙ හැඩරුව  වගේ ම ඔහුගේ තිබුණු යහපත් ගතිගුණ හින්ද.

            කොළඹ ලොකු කොලීජියකින් උසස් පෙළ ඉහළින් ම සමත් වුණු නිර්මල, කොළඹ සරසවියෙන් කරපින්න ගත්තු උපාධියෙන්, රස්සාවක් ලබා ගත්තෙත් නතරවෙලා ඉන්න ගෙදර නෑයාට තියෙන, දේශපාලන සම්බන්ධකම් හින්ද. හවුරුදු අටක් විතර ගිය තැන මිනිහ රස්සාව කරන දෙපාර්තමේන්තුවේ, ඉණිමගේ ඉහළ ම පෙත්තට නැග්ගෙත් අර නෑයගෙ පිහිටෙන්. නිර්මල කෙරෙහි බලාපොරොත්තු තියන් හිටියෙ, ඒ ගෙදර ගෑනු ළමයි දෙන්න විතරක් නෙවේ. අම්ම තාත්තත් හීන දැක්කෙ දූවරුන් දෙන්නගෙන් එකියක් නිර්මලගෙ කරේ එල්ලන්න. කොහොම කොහොම හරි ඒ හීනෙ හැබෑ කරගන්න, ඔවුන් සමත්කම් පෑවා. ඒ පවුලෙ බාල දියණියට වැඩි මනාපයක් නිර්මල ගෙ හිතෙත් පැළපදියම් වෙලා තිබිච්ච හින්ද. 

            ඔය අතරේ දියණිය ගෙ කල වයස යන්න කලින් ඈට පෙළවහක් තීන්දු කරන්න, දයානි ගෙ අම්මයි තාත්තයි පරක්කු වුණේ නෑ. සෑහෙන වත්කමක් ඇති පවුලකින් ගෙන ආ යෝජනාවකට, ඔවුන් ඈ කැමති කර ගත්තෙ, දන්න සියලු උප්පරවැට්ටි යොදා යොදල. ලොකු හෝටලේක පැවති දයානිගෙ විවා මංගල්ලෙ, ගරු ගාම්භීර උත්සවයක් වුණා. අවුරුදු ගාණක් ගෙවුණත් දයානිට දරු පැටියකුගෙ, හුරතලේ නං බලන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. බීමත් ව හතර ගාතෙන් හැමදාම ගෙදර එන දයානිගෙ සැමියා, ඈට හැමදාමත් දුන්නෙ දුකක් කරදරයක් මිස සතුටක් නං නෙවි. අන්තිමට ඔහු බීමෙන් ම නැති වුණේ, දයානිට සදහටම දුක උරුම කරමින්. එදා මෙදා තුර ගෙවී ගිය කාලය හවුරුදු දහයකට වැඩි මිසක්ව අඩු නෑ. දයානි සියල්ල වෙන්නෙ හොඳටයි කියා හිත හදන් හිටිද්දි තමා, ගමේ පාසල් මිතුරකුගෙ අවමඟුලට සහභාගි වෙන්න ආ නිර්මල මුලිච්චි වුණේ. නිර්මලට වගේ ම දයානිටත් ඔවුන් ගේ තුරුණු වියේ මතක සටහන්, එකින් එක මතක තිරෙන් එළියට පැන්නෙ දෙන්නට ම නොදැනුවත්ව.

            ඉස්සෙල්ලා නිර්මල බෝම බයාදු ලීලාවෙන් ඈ වෙත බැල්මක් හෙළුවා. දයානී ඔහු දිහා බැලුවෙ අසරණ බවක් පාමින්. හැදුණු වැඩුණු දියණියක හා පුතකු ඔහුට සිටින වග ඈ දැන හිටියා. ඒ තොරතුරු ඈ අහුල ගත්තෙ මිතුරු මිතුරියන් ගෙන්. ඒත් ඉතින් උස් මහත් වුණු දරුවන් දෙන්නකු ඉන්න තාත්තා කෙනෙක් වුණත්, ඔහු දැක්කහම ඈ කෙසේ නම් ඉවත බලන්න ද? හවුරුදු විසි ගණනකට ඉස්සර තමන් හා අදරෙන් පෙමින් වෙළී, මිමුණූ බොහෝ දේ මේ දැන් ඇගේ මතක පොතෙන් දිග හැරෙද්දී දෙයියනේ ඉතින්.....

            ඇගේ හිතේ පෙරළි කරන අතීත සිද්ධි නිර්මල ගෙ ඇස් ඉදිරියෙ දිස්වෙන්න පටන් ගත්තෙ, හීනෙකින්වත් නො හිතපු විදිහට. ඉතින් ඈ එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න ඕනැ ය කියන අදහස ඔහුට හංගන් ඉන්න පුළුවන් වුණේ නෑ, ඔහු හෙමි හෙමින් තම ප්‍රථම ප්‍රේමය පුද කළ ඈ වෙත, ඇදුණෙ කාන්දමක් වගේ.

            ඔහු අභියස ඈ හුන්නේ බිම බලා ගෙන කකුලක මාපටැඟිල්ලකින් පොළොව හාර හාරා. ඔහු ගොතගසමින් ඇගේ නම කීවා. ඒත් ඒ හඬ කටින් පිටවුණේ නෑ වගෙයි. දෙතුන් පාරක් දයානි කියා කීවාට පසුවයි ඒ අකුරු තුන වාතලයට මුසු වුණේ.

            ඔහු ගේ ඇමතීම ඈට ඇහුණෙ කොහේදෝ සිට ඇසෙන්නා වූ ආමන්ත්‍රණයක් සෙයකින්. කඳුළු පිරුණු දෙනෙතින් දයානී, ඔහු දිහා බැලුවෙ හවුරුදු බොහෝ ගණනකට පෙර බැලූ විදිහට ම. ඒ බැල්මත් එක්ක නිර්මල ගෙ පපුව හෝස් ගාල පත්තු වුණා. මුලින් සිරුර පුරා විදුලි සරක් දුවන්න වගෙ යි ඔහුට දැනුණෙ. සැණෙකින් ඒ විදුලි සර ගතත් සිතත්, දවා හළු කරන්නා වගෙයි සිය සිරුර වෙළා පැතිරෙන විලාසයක් දැනෙත්ම, නිර්මලට තමන් ඈට පිටුපා පලායෑම කිසි ලෙසකින් වත්, සමාවක් ලද හැකි වරදක් නොවේදැ යි ඔහු තමන් වෙතම වරද පටවා ගනිමින් යළිත් ඈ වෙත නෙත් රැඳෙව්වා. ඒ බැල්මට ඔහුට හසුවූයේ ඉතා ඕනෑකමින් තමා දිහා බලා ඉන්න දයානිගෙ ඇස්. දෙන්නගෙ ඇස් දෙන්නට හොරෙන් මොනවදෝ කතා කරනව වගේ.

            “මට ආරංචි වුණා. ඒත් මං කොහොම ද ඔයාට මූණ දෙන්නෙ කියන ගැටලුව හින්ද යි මං නො ආවෙ.... ඒත් ඉතින් මොනවා කරන්න ද? වෙන්න තියෙන දේවල් තමා ඒ ඔක්කොම.” ඔහු ඈ දිහා බලා ගෙන ඒ වචන ටික පිට කළේ, කඩින් කඩ. එදා වූ හමුව යළි පරණ සබඳතාවය අලුත් කර ගන්නට, දෙන්නට ම ඕනෑ කරන වග දයානි ගෙ වචනවලින් ඔහු හොඳින් තේරුම් ගත්තා. දෙන්න ගෙ ජංගම දුරකතන අංක, දෙන්න අතරෙ හුවමාරු වුණේ ඒ හින්ද වෙන්නැති. ඊට පස්සෙ නිර්මල කීප වංගියක් ගමේ ආවෙ කාට කාටත් හොර රහසින්.

            තම පැරණි පෙම්වතිය අද වැන්දඹුවක් වී සිටීම ගැන, නිර්මල දොස් පවර ගත්තෙ තමන්ට ම. ඇත්තට ම මං මොන ප්‍රශ්න තිබුණත්, ඈ මා අත්හැරියෙ නෑ. ඇගේ ගෙදරින් කොච්චර ප්‍රශ්න ආවත් අපේ ඇසුර නවත්තන්න, දයානි කොහොමටවත් කැමති වුණේ නෑ... මමයි අපේ ආශ්‍රය කඩා බිඳ දැම්මෙ. මම කසාද බඳින තුරු ඈ මා අපේක්ෂාවෙන් උන්නා. එහෙම තමාට ම දොස් නඟා ගත්තු නිර්මල, දයානි ගෙ ඇසුර යළි වගා කර ගත්තා. දෙන්නට ම ඒ උවමනාව තිබුණු බව යි පෙනුණෙ.

            කොහොම කොහොම හරි දෙන්නා ගාල්ලෙ විවිධ තැන්වල දි හමුවී, ආදරෙන් පෙමින් වෙළී මාස කීපයක් තිස්සෙ, දහ දොළොස් වතාවක් විතර ප්‍රේමාලාපයෙ යෙදුණ. දවසක් දයානිට නිර්මල යෝජනා කළේ, ලිංගිකව එක්වෙමු කියා යි. සමහර විට ඇගේ ලිංගික අවශ්‍යතාවය ඔහු තේරුම් අරන් ද කියන්න දන්නෙ නෑ, ඈ සිය පළමු පෙම්වතා ගෙ ඒ යෝජනාවට අකමැත්තක් පෙන්නුවෙත් නෑ.

            දෙන්නාට ම ඒ උවමනාව තදින් තිබුණා වගෙ යි හරියට. ඉතින් දෙන්නා පිය නැඟුවෙ ඉහළ මට්ටමේ සංචාරක හෝටලේකට. ඒ හෝටලේ කාමරයකට ගිය නිර්මලයි, දයානියි උනුන් එකිනෙකා වැළඳගෙන පැයකට වැඩි  කාලයක් ගෙවෙන්න ඇති. ලිංගික ව එක්වීමේ අවශ්‍යතාවය දයානිට ඇති වග, වටහා ගන්න නිර්මල මැනවින් තේරුම් ගත්තා. ඔහුගෙ ඕනැකමත් හොඳින් ඈට දැනුණා. ඔවුන් අනඟ රංගනයේ යෙදෙන්නට ලක ලෑස්ති වෙද්දි,  පුතත් දීග දෙන වයසෙ පසුවන දියණියත් නිර්මලගෙ හිතට කොහේදෝ සිට රිංගුවා. දරුවන් දෙන්නා ගේ මූණු ඔහු මනසේ සැරිසරන්නට වෙත් ම, දයානි එක්ක පැවැත්වීමට සැරහුණු සම්භෝග අවශ්‍යතාවය, ඔහුගෙන් පහවුණේ හිරු දැක්ක පිනි බිඳක් වගේ. සිය සිරුර මුළුමණින් ම පාහේ අප්‍රාණික වන වගක් නිර්මලට දැනෙන්න පටන් ගත්තා.

            දයානිට ඔහු ගේ මේ හැසිරීම අදහා ගන්න බැරි තරම්. තමන් හා ලිංගික ඇසුරකට ඇරයුම් කළේ ඔහු යි. ඒත් ඕනෑම දේකට මූණ දෙන්න සූදානමින්, ඒ කටයුත්තට සැරහුණු ඈට සිය පළමු පෙම්වතා ගේ හැසිරීමේ, ක්ෂණික වෙනස්කම ඈට හිතා ගන්න බැරි කරම්. ඔහු ගේ ක්‍රියාශීලී බව පහවී හටගත්තු, අප්‍රාණික භාවය ඈට කොහෙත් මහිතා ගන්න බැ.

            “ඇයි නිර්මල.... මොකද?” ඈ ඔහුගෙන් විමසුවේ විශ්මය දනවන වුවනින්. ඒ වුවනෙහි කිසියම් දුකක් කනගාටුවක් වගේ ම වේදනාවකුත් ගැබ්වෙලා.

            නිර්මලට ඈ නැඟූ පැනයට පිළිතුරු නැහැ. තාමත් පුතණුවනුත් දියණියත්, ඔහුගේ මනැසේ රැඳී සිටින්නෙ තාත්තා මැදිකර ගත්තු ගමන්... තාත්තගෙ මූණ දෙපැත්තෙන් කොල්ලයිථ කෙල්ලයි දෙකම්මුල් තද කරන්... ඊළඟට ඔහු ගේ ඉදිරිපිටට හිනා කටක් පුරෝ ගත්තු ගමන් එන බිරිය ගෙ පැහැපත් සුන්දර වත කමල දිස්වෙන්නෙ, උතුරා යන සෙනෙහෙන් ආදරෙන් දිදුලමින් වගේ. ඇගේ වුවනෙන් ගිලිහෙන කාන්තිය, ඔහු පත් කළේ අවුල් ජාලයකට....  ස්වකීය පළමු පෙම්වතා දිහා දයානි බලා ඉන්න අයුරු ඔහුට පේන්නෙ නැතිව වගේ. ඈ අනිමිසලෝචයෙන් එක දිගට විනාඩි ගණනාවක් බලා හිට දිගු හුස්මක් පිට කළා. ඇගේ ඒ හුස්මත් එක්ක ඔහුට සිදු වූයේ කුමක්දැ යි යන්න ඔහුතමාගෙන් ම ප්‍රශ්න කළා,

            සිය දරු දෙන්නත් බිරියත් මනැසේ කරක් ගහද්දී, ඔහුට තව දුරටත් දයානී හා රැඳී සිටීමට නො හැකි ස්වභාවයක් දැනුණ. ඔහු සයනයෙන් මෑත් වී හිස සලමින් කීප විටක්, කාමරයේ ඒ පැත්තට මේ පැත්තට, සක්මනේ නිරත වන හැටි ඈ බලා සිටින්නේ ඇස් දෙක නළලෙ තියන්. ඈ කීප වංගියක් ම ඔහු ඇමතුවත් හේ කිසිවක් නො බිණ, නාන කාමරයට රිංගා මූණකට දොවා ගෙන, ලකලෑස්ති වී සමාවන්න දයානි සමාවන්න ය යි, සෝබරව පවසා ඈත් කැටිව, හෝටලෙන් නික්මුණේ වෙන කිසිවක් නො පවස. ඈ මොටර් රියෙන් බස්සවා ඔහු කොළඹ පැත්තට හැරී, රිය පැදවූයේ හිතට නැඟෙන සිතිවිලි ගොන්නක් එක්ක පොර බද බදා.

            ඒ හිතිවිලි අතර තමා තම දරු දෙන්නටත්, බිරියටත් ද්‍රෝහී වූවා නෙවේද යන්නත්, බිරියට මුසා බස් පවසා ආ ගමන ගැනත් සිහියට නංවා ගත්තා. ඒ දැඩි කලකිරීමකින් වගේ ම වේදනාවකින්. දැන් දැන් ඔහුට තමා කෙරෙහි ම ඇති වන්නේ කේන්තියක්. ගෙදර ආ ඔහු බිරිය විසින් පිළිගත්තේ බොහොම සෙනෙහෙයෙන්. ඈ ඔහු ඇමතුවේ බෝ දයාර්ද්‍රව. ඇගේ ඇමතීම ඔහුට ගෙන දුන්නේ තව තවත් වේදනාවක්, දුකක්.  බිරියට මුහුණ දීමට නිර්මලට හැකියාවක් නැතිව වගේ. ඔහු කිසියම් ගැටලුවකට මැදිවී ඇතැ යි බිරිය වටහා ගත්තෙ සැමියාගේ හැසිරීම් කෙරෙහි ඈ සතු අත්දැකීම් අනන්ත අප්‍රමාණ නිසා.

            එතැන් පටන් නිර්මලට වරින් වර මේ සිද්ධිය මතකයට නැඟෙන්න පටන් ගත්තෙ, තමා කෙරෙහි ම ලොකු කලකිරීමක් එක්ක. එතකොට ඔහුට දරා ගන්න බැරි තරමේ කෝපයක් ඇති වෙනවා. කිසිවකු පෙන්නන්න බැහැ. දයානි ගේ හමුවෙන් හටගත් සිද්ධි, එකින් එක මනසේ රඟ දෙනවා. අන්තිමට ඔහුට ඈ කෙරෙහි උපන්නෙත් කේන්තියක්. විටෙක ඒ කේන්තිය යටපත් වී ඈ කෙරෙහි අනුකම්පාවක් මුසු වූ හැඟීම් මාලාවක් නිර්මලගේ හිතේ පැළපදියම් වෙනවා. මාසයක් දෙකක් ගතවෙන විට නිර්මලට දරුවන් දෙන්නා හෝ, බිරිය හෝ විතරක් නෙවෙයි කාර්යාලයේ සෙසු ලොකු පුංචි නිලධාරීන් පවා පේන්න බැරි තත්ත්වයක් ඇති වුණා. විටෙක දරුවන් දෙන්නා කෙරෙහි ඔහු තුළ පවතින ආදරය ස්නේහය, වැඩිවෙද්දී දයානි කෙරෙහි කෝපයක් මතු වෙනවා. අම්මා තාත්තා නිසා තමාට දයානි අහිමි වූ බවත්, ඒ හින්දා වෙනත් පුද්ගලයකු හා විවාහ වීමට ඈට සිද්ධවී කනවැන්දුන් කතක් වීමට සිද්ධ වෙච්චි බවත්, සිහියට නැඟෙත්ම ඈ වෙත යළි කරුණාවේ දයාවේ හැඟීම් බුරුතු පිටින් මතුවෙනවා. ඒත් එක්කම බිරිය හිතට කඩා වදිනවා. ඇගේ නිවසේ සිට පාසල් යද්දී අක්ක නගෝ දෙන්නා, තමා වෙනුවෙන් ඇති කර ගත්තු ගැටුම්, හිතේ ඇඳෙන කොට නිර්මලට බිරිය කෙරෙහි ඇති වෙන්නෙ ලොකු ආදරයක්. බිරියගෙ ආදරයට ස්නේහයට, ස්වාමි භක්තියට තමා ද්‍රෝහීවූවා නොවේද යන හැඟීම්, ප්‍රබලව මතුවෙද්දි ඔහු මානසිකව විඳින පීඩාව දරා ගන්න බැරි තරම්. ඔහුට තමා කරන්නේ කියන්නේ කුමක්දැ යි යන්නවත් තේරුම් ගැනීමත් අපහසු වුණා. කායිකව මෙන්ම මානසිකව ද, ඔහු නිතරම වින්දෙ ලොකු පීඩාවක්. එය දැන් දැන් ඔහුට දරා ගන්න හරිම අපහසුයි.

            අන්තිමට මේ පීඩාවෙන් මිදෙන්න කිසිවකුට නො දැනෙන පරිද්දෙන්, හුදකලාව ම ගොස් මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න ඔහු කල්පනා කළා . වෛද්‍යවරයා ඔහු කී කතාවට සාවධානව කන් දුන්නා. ඔහු විශාදයෙන් පෙළෙන බව ස්වකීය අත්දැකීම්වලින් වටහා ගත්තු, මනෝ වෛද්‍ය විශේෂඥවරයා මාස ගණනාවකට සරිලන සේ, ඖෂධ නියම කළේ මාසිකව පැමිණීමට ද උපදෙස් දෙමින්. මේ තත්ත්වයෙන් මිදී, යළි ස්වකීය දෛනික වැඩ රාජකාරි නිසි රිසි සේ කරමින්, සාර්ථකව විවා දිවිය නිර්මල ගත කරන්නෙ මනෝ වෛද්‍ය උපදෙස් ද අඩුවක් නැතිව පිළිපැද්ද හින්දා.‍

  තව කොටසක් ලබන සතියේ.....
   - උපුටා ගැනීම - හිත ලෙඩ කරන බොරු භූතයෝ (මනෝ විද්‍යාව) කෘතියෙනි

- සුගතපාල මැන්දිස් -